2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

විකුණන්න හදන ප්‍රාථමික අධ්‍යාපනය

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

- පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා

පසුගියදාක විභාග කොමසාරිස්වරයා පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් දේශීය විෂය නිර්දේශය රජයේ අනුමැතියෙන් තොරව පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල්වල උගන්වන බවත් එසේ ඉගැන්විය හැකි බවත් ප්‍රකාශ කොට තිබේ. හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මම දකින්නේ එවන් අනුමැතියක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දී ඇත්නම් නිදහස් අධ්‍යාපනය මුළුමනින්ම අහෝසිවන බවයි. එවිට අධ්‍යාපනය සම්පූර්ණයෙන් ලාභ ලබන පෞද්ගලික ව්‍යාපාරයක් බවට පරිවර්තනය වේ. වත්මන් රජය නිදහස් අධ්‍යාපනය සුරකින බව කියන්නේ නම් දේශීය විෂය නිර්දේශ ඕනෑම ව්‍යාපාරික ආයතනයකට ඉගැන්විය හැකිද යන්න පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයක් කළ යුතුය.

1961 උපකෘත පාඨශාලා පනත අනුව අවුරුදු පහත් දාහතරත් අතර දරුවන්ට අධ්‍යාපන ලබාදීමට සඳහා කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට පාඨශාලාවක් ඇරඹිය නොහැකිය. මෙය මෙම පනතේ විසිපහ (ඇ) වගන්තියෙන් කියැවේ. වයස අවුරුදු දාහතරට වඩා වැඩි ළමයකුට කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් ඉගැන්වීම් කරයිද ඊටද අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් විශේෂ අවසරයක් ලබාගත යුතුවේ. මෙම නීතිමය විධිවිධානයට අනුව ලංකාවේ ඉපදෙන හැදෙන වැඩෙන සෑම දරුවෙක්ටම අධ්‍යාපන ලබාදීම රජයේ පූර්ණ වගකීමකි. උපදින සෑම දරුවෙකුටම පාසලක් ලබාදීමට නීතියෙන් රජය බැඳී සිටී. මේ සියල්ල සිදුකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයක් මෙන්ම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ද මෙරට තිබේ.

මෙම ප්‍රතිපත්ති අනුව එක ශ්‍රේණියේ සිට පහ දක්වා සියලුම දරුවන්ට අධ්‍යාපන ලබාදිය යුත්තේ මව් භාෂාවෙන්ය. මෙර මව් භාෂාවන් දෙකක් වන අතර ඒ සිංහල සහ දමිළ භාෂාවන් වේ. යුනෙස්කෝ සංවිධානය විසින්ද පිළිගත් අධ්‍යාපන මූලධර්මය වනුයේ දරුවෙකුගේ චින්තනයේ උපත වන මව් භාෂාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබාදිය යුතු බවයි. තෙවන ශ්‍රේණියේ සිට සම්බන්ධීකරණ භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාවද ඉගැන්වීමට ගනී. හය ශ්‍රේණියේ සිට ද්විභාෂා අධ්‍යාපන ලැබීමේ අවස්ථාව උදාවේ.

මෙම ක්‍රමයට අනුව කටයුතු කරන පාසල් එකොළොස් දහසක් පමණ මෙරට තිබේ. එය රජයේ පාසල් පිරිවෙන් හා රජයේ ආධාර ලබන හා නොලබන අනුමත පෞද්ගලික පාසල්වලින් සමන්විත වෙයි. මේ සියල්ල ක්‍රියාත්මක වන්නේ දරුවන්ට සමාන අවස්ථා ලබාදෙමින් නිදහස් අධ්‍යාපන පවත්වාගෙන යන්නටය. මෙයින් පිට තමන්ගේ සිතැඟි පරිදි මුදල් අයකරමින් ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යන්නේ නම් එය නීති විරෝධීය. එහෙත් එවැන්නක් ව්‍යාපාරයක් ලෙස නිත්‍යනුකූල වන අතර එම ආයතනවල දේශීය විෂය නිර්දේශ ඉගැන්විය නොහැකිය.

ව්‍යාපාරිකයන්ට ඇති හොඳම ව්‍යාපාරික අවස්ථාවක් පෞද්ගලිකව දේශීය විෂය නිර්දේශයට අනුව ප්‍රාථමික අධ්‍යාපන ලබාදීමට ඉඩකඩ දීම හරහා උදාවේ. ඉඩ පහසුකම් ඇති තැනක නිවසක් මාසික කුලියට ගෙන ළමා මිතුරු පාසලක් ලෙස හොඳින් පහසුකම් ලබාදී සංවර්ධන කර මෙවන් පාසල් ඇරඹීමට හැකිය. විශ්‍රාමික ගුරුවරුන් විදුහල්පතිවරුන් යොදාගෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක්ද ලබාදෙමින් මෙම පාසල් පවත්වාගත හැකිවේ. එවන් හොඳ තත්ත්වයේ පාසලකට අධික ලාභයක් ලැබීම අවස්ථාව උදාවේ. දැනට පෙරපාසල් පද්ධතිය තුළත් සිදුවන්නේ මෙයයි. මෙරට රජය පූර්ව ළමාවිය අධ්‍යාපන ලබාදෙන්නේ නැත. මේ සියල්ල සැලකීමේදී පෙනී යන්නේ ප්‍රාථමික අධ්‍යාපන පෞද්ගලීකකරණය හරහා එහි ඇති ලාභදායී බව හේතු කොටගෙන ව්‍යාපාරිකයන් දහස් ගණනක් මේ සඳහා යොමුවිය හැකි බවයි.

මේ පිළිබඳ ආණ්ඩුව තීන්දුවක් ගත යුතුය. දේශපාලකයන් නිදහස් අධ්‍යාපන සුරකින්නට ඉදිරිපත් වී සිටින පිරිස් සාකච්ඡා කොට එම තීන්දුවට එළඹිය යුතුය. විසිපස්වන වගන්තිය අහෝසි කිරීම හරහා ව්‍යාපාරිකයන්ට අධික ලාභයක් ලැබෙන පරිදි මෙරට අධ්‍යාපනය තුළ විශාල විප්ලවයක් ඇතිවෙනු ඇත. මට මේ පිළිබඳ ගැටලුවක් නැත. මේ රට නිදහස් අධ්‍යාපනය එපා කියයිනම් අපට ඇත්තේ මහින්ද රාජපක්ෂ විද්‍යාලය මෙන් පාසල් විසිපහක් සියලු දිස්ත්‍රික්කවල ආරම්භ කිරීම පමණි.

කෙසේ නමුත් මේ ඔස්සේ අවසානයේදී සිදුවන්නේ 1961 පෙර පැවති තත්ත්වය යළි නිර්මාණය වීමයි. සෑම දරුවෙක්ටම සමාන්තර අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව අහිමිවෙයි. එදා තිබුණු විෂමතා හේතුවෙන් ගම්බද පාසල්වල පහසුකම් නොමැති විය. ඒ නිසා අතිමහත් බහුතරයකට අධ්‍යාපන නොලැබිණි. එම අධ්‍යාපන ක්‍රමය හරහා විශාල අසමානතා නිර්මාණය වූ නිසා සමාජ සාධාරණත්වය වෙනුවෙන් විවිධ උද්ඝෝෂණ හමුවේ පාසල් සියල්ලේ අධ්‍යාපනය පිළිබඳ වගකීම රජය විසින් ගනු ලැබීය.

►සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා