2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

මහජන මුදල් ගිලින ශ්‍රී ලංකන් බහිරවයා

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුවේ නවතම වාර්තාව පසුගිය 24දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. කෝප් කමිටුවේ සභාපති වශයෙන් යළිත් තෝරා පත්කරගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මෙම වාර්තාව සභාගත කරමින් රාජ්‍ය ආයතන රාශියක අවිධිමත් කළමනාකරණය හා මූල්‍ය දූෂණ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කළේය.

අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව ලෙස හඳුන්වා ඇති මෙම වාර්තාව මගින් ඇතැම් පොදු ව්‍යාපාර මහජන මුදල් කාබාසිනියා කරන අන්දම හොඳ හැටි පැහැදිලි කර තිබේ.

පසුගිය කාලයේ අපේ රටේ කෝප් කමිටු වාර්තා මගින් හුවාදැක්වූ වැදගත් කරුණු පිළිබඳ වගකිවයුත්තන් එතරම් උනන්දුවක් දැක්වූ බවක් දැකගත නොහැකි විය. කෝප් වාර්තා කුණුකූඩයට ගිය බවටද චෝදනා එල්ල විය. එය එසේ නම් එම විමර්ශන කටයුතු සඳහා වැයකළ මහජන මුදලද තවත් අපතේ යාමක් බවට සැකයක් නැත.

නමුත් වර්තමාන යහපාලන රජය යටතේ කෝප් කමිටු වාර්තාවලින් අනාවරණය කරන කරුණු පිළිබඳ නිවැරදිව අප්‍රමාදව කටයුතු කර, ජනතා මුදල් නාස්තිය අවම කර, වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගනු ඇතැයි යන්න තවමත් ජනතාව තුළ යන්තම් හෝ විශ්වාසයක් පවතී. එම අපේක්ෂාව කඩනොවනු ඇත යන්න කාගේත් බලාපොරොත්තුව වේ. මෙවර කෝප් කමිටුව වාර්තා කළ ආයතන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හැසිරීම පිළිබඳ කාගේත් අවධානය යොමුවිය යුතුය.

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම පිළිබඳ විමර්ශනය 2017 සැප්තැම්බර් මස 06 දින සහ 20 වැනි දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් අවසන් වරට පවත්වා ඇති අතර එහිදී මෙම ආයතනයේ සිදුව ඇතිබවට අනාවරණය වී ඇති දූෂණ වංචා සහ අවිධිමත් ක්‍රියා පිළිබඳ විස්තරාත්මකව වාර්තා කර ඇත.

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වාර්ෂිකව විශාල වශයෙන් අලාභ ලබන ආයතනයක් ලෙස දීර්ඝ කාලයක සිට ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෙහි අලාභය පියවීම සඳහා විටින්විට භාණ්ඩාගාරය මැදිහත් වී මුදල් ප්‍රතිපාදන ලබාදෙනමුත් ඒවා නිසිආකාර ලෙස කළමනාකරණය කර යම් පමණකට හෝ යහපත් තත්ත්වයක් ඇතිකර ගැනීමට පියවර ගෙන නොමැති බව වාර්තාවේ නිරීක්ෂණ අනුව පෙනේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසන්න මාස 9 තුළ රුපියල් කෝටි 4000ක පමණ පාඩුවක් ලබා ඇතිබව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පසුගිය 24දා පාර්ලිමේන්තුවේදී පවසා ඇත. ඒ පිළිබඳ හෙතෙම සිය බලවත් අප්‍රසාදය පළ කළේය. සමාගම රුපියල් කෝටි 6036ක් 2014 සිට 2016 දක්වා පාඩු ලබා ඇති බවද මන්ත්‍රීවරයා අනාවරණය කර තිබේ. අදාළ වසරවල ලබා ඇති පාඩු මෙසේය.

2014     –    3236
2015     –    1600
2016     –    1200
එකතුව           6036
ආයතනය මෙතරම් පාඩු ලබද්දී, එහි මිලියනයකට (ලක්ෂ 10) වඩා වැඩි වැටුප් ලබන නිලධාරීන් 190ක් සිටින බවද විගණන වාර්තා මගින් අනාවරණය වී තිබේ. එම නිලධාරීන් පිළිබඳ, ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, වයස් ප්‍රමාණ හා ඔවුන්ගේ රාජකාරි මොනවාද යන්න පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස 2016.02.12 දින පැවැති කාරක සභාවේදී නිර්දේශ කර තිබුණද එම විස්තර නොඑවීම පිළිබඳ කාරක සභාවේ නොසතුටද පළවී තිබේ. එසේ වුවද සභාපතිවරයාගේ 2017.09.14 දිනැති ලිපිය පරිදි අවුරුද්දකුත් මාස 7කට පසු ඉල්ලා ඇති ලේඛන කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබුණද තවමත් ඒ පිළිබඳ නිරීක්ෂණ එළිදක්වා නොමැත.

විමර්ශනයේදී අනාවරණය වී ඇති තවත් වැදගත් කරැණක් වන්නේ ආයතනයේ මූල්‍ය තත්ත්වය ඉතාමත්ම පහළ වැටී ඇති අතර 2016.02.12 දින කෝප් කමිටුව ඉදිරියට පැමිණෙන විටදී ආයතනයේ තිබූ දුර්වල තත්ත්වය මේ වනවිට තවත් පහළට වැටී ඇති බවය. එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා මේ වනවිට ආයතනයේ කොටස්වලින් සියයට 49ක් විදේශීය පාර්ශ්වයකට ලබාදීමට රජය සාකච්ඡා සිදුකරමින් සිටින බව සභාපතිවරයා කමිටුවට ප්‍රකාශ කර ඇත. ආයතනයට අතිරේක ප්‍රාග්ධනයක් ලෙස රුපියල් මිලියන 150ක් ලබාදෙන ලෙස 2015 දී රජයට යෝජනා කළද එය ලැබී නැති බවද ඔහු පවසා තිබේ. එසේම ආයතනය ප්‍රතිසංවිධානය කිරීමේ සැලසුමක් සකස් කර ඇති බවද පැවසූ අතර එම ප්‍රතිසංවිධාන සැලසුම 2017 අගෝස්තු මස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවද අනාවරණය කෙරුණි. එම සැලසුම කමිටුව වෙතද ඉදිරිපත් කර තිබේ.

තවද, 2013 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියක් පවා ලබා නොගෙන ගුවන්යානා 8ක් මිලදී ගැනීමට අදාළ සංදේශයට එවකට සිටි මුදල් ඇමැතිවරයා අත්සන් කර ඇති අතර ඒ පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය පවා ආයතනයට පවරා නැති බවද හෙළිවී ඇත. එසේම ඒ පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පවා ලබා නොගෙන ඇමැතිවරයාගේ තනි තීරණයට කටයුතු කර ඇති බවද අනාවරණය වී තිබේ.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු සිද්ධියක් වන්නේ A-350 ගුවන්යානා 8න් 4ක කල්බදු ගිවිසුම අවලංගු කිරීම හේතුවෙන් රුපියල් මිලියන 16,924.36ක් වන්දි ලෙස ගෙවීමට සිදුව ඇති නමුදු එම මුදල ගෙවා අවසන් කොට 2017.08.15 දිනෙන් පසුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවය. තවද එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පවා අනුමත කර නැති අතර, එමගින් ඉදිරිපත් කර ඇත්තේ එවකට සිටි මුදල් ඇමැතිවරයාගේ නිරීක්ෂණ පමණක් බවද හෙළිවී ඇත. එසේම එම කැබිනට් පත්‍රිකාව කිසිවකු විසින් අත්සන් කරනු ලැබ නොමැති වීමද විශේෂ වේ.

අදාළ ගිවිසුම් අත්සන් කිරීමේදී වන්දි මුදලක් ගෙවීමට ගුවන් සමාගම එකඟ වී තිබුණද, එහිදී අදාළ මුදල තීරණය කිරීම පිළිබඳ ගැටලු මතුවී තිබුණු බවද සඳහන්ය. අදාළ මුදල තීරණය කිරීමේ පදනම, එය තීරණය කළේ කවුරුන් විසින්ද, තීරණය ගනු ලැබුවේ කෙසේද යන්න එම ගැටලු වෙයි. ඒ පිළිබඳ සභාපති විසින් ඉදිරිපත් කරන ලද කරුණු අනුව, මෙම වන්දිය ගුවන් සමාගම නොව අදාළ ලීසිං සමාගම විසින් ගණනය කරන ලද්දක් බව හෙළිවී ඇත. ඩොලර් මිලියන 90.5ක් ගුවන්යානා 3ක් සඳහා අත්පිට මුදලට ගෙවා ඇති අතර තවත් එක් ගුවන්යානයක් සඳහා ඩොලර් මිලියන 17ක් ගෙවා තිබේ. තැන්පතු වශයෙන් ඩොලර් මිලියන 7.5ක් සමාගම රඳවාගෙන තිබූ බවද හෙළිවී තිබේ.

එසේම A-350 ගුවන්යානා පිළිබඳ අත්සන් කළ ගිවිසුමේ අවසානාත්මක වගන්ති (Termination Clause) අඩංගු නොවීම පිළිබඳවද කෝප් කමිටුව අවධානය යොමුකර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ මෙවැනි මිලදී ගැනීමකදී ගිවිසුමට අවසානාත්මක වගන්තියක් ඇතුළත් නොකරන බවකි. එසේ වුවද මෙවැනි ගිවිසුම් වෙනත් රටවල භාවිත කරන බවද, වන්දි ලෙස සම්පූර්ණ මුදලම ගෙවිය යුතු බවටද වූ සාක්ෂි ඉතා ඉක්මණින් ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති නමුත් එය ඉටුවී නොමැති බවද කෝප් වාර්තාවේ දැක්වේ.

ගුවන්යානා පිළිබඳ කටයුතු කිරීමේදී ආර්ථික කළමනාකරණය (Economic Management) පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව ඒ සඳහා ඩොලර් මිලියන 75 – 85 අතර සීමාවකින් අවසන් කරන ලෙස නිර්දේශ කර තිබියදී එම සීමාව ඉක්මවා මුදල් වැයකර ඇති බව කමිටුවේ අවධානයට යොමුව තිබිණ. එහිදී අවම මිල අභිබවා ඩොලර් මිලියන 98ක් වැයකිරීම පිළිබඳ කෝප් කමිටුව සමාගමෙන් විමසා තිබේ.

එහිදී සභාපතිවරයා දන්වා ඇත්තේ අමාත්‍ය මණ්ඩලය නියම කළ මිලට අදාළ Aercap නමැති ගුවන් සමාගම අකැමැත්ත දක්වා ඇති අතර ඔවුන් මිලියන 115ක් ඉල්ලා ඇති බවය. කෙසේ වුවද අවසානයේදී ඔවුන් ඉල්ලා ඇති මිලියන 115ක මුදල 98 දක්වා අඩුකර ගැනීමට හැකිවූ බවද සභාපතිවරයා පවසා තිබේ.

එසේ වුවද කෝප් කමිටුව මෙහිදී අනාවරණය කරගෙන ඇත්තේ Aercap සමාගම සමඟ ගාස්තු අඩුකිරීමට සාකච්ඡා කිරීමට තාක්ෂණික අගැයුම් කමිටුවක් පත්කර නොමැති බවය. අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සඳහා කටයුතු කිරීමට ප්‍රධාන විධායක නිලධාරියාට බලය ලබාදී ඇති අතර, අමාත්‍ය කමිටුව විසින් දෙන ලද උපදෙස් පරිදි සාකච්ඡා කරන අවස්ථාවේදී එම ආර්ථික කළමනාකරණ කමිටුව සහභාගි කරවාගෙන නොමැති වගයි. පළමු සාකච්ඡාවට පමණක් අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන ඇති අතර, ඊට පසු සාකච්ඡාවලට සම්බන්ධ කරගෙන නැත. කෙසේ වුවද 2017 වසරේදී එම මුදල ගෙවා ඇති අතර ඒ ගෙවීම අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කරවාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

මෙම ගුවන්යානා ගිවිසුම අවසන් කරන අවස්ථාවේදී නීතිපතිගෙන් විමසා නොමැති අතර එංගලන්තයේ Aviation Legal Experts නැමැති ආයතනයකින් අවසර ගෙන ඇති බවද අනාවරණය වී තිබේ. අමාත්‍යාංශ මට්ටමින් නීතිපති විමසූ අවස්ථාවේදී මේවා මිලදී ගන්නා අවස්ථාවේදී තම උපදෙස් විමසා නොමැති නිසා පසුව තම මතය විමසීම අනවශ්‍ය බව පවසා නීතිපති උපදෙස් දීම ප්‍රතික්ෂේප කර ඇති බවද කමිටුවේදී අනාවරණය වී තිබේ.

මෙම ගිවිසුම අවසන් කිරීමේ සියලුම සාකච්ඡාවලට සහභාගි වී ඇත්තේ එවකට සිටි මුදල් ඇමැතිගේ උපදේශකයකු වූ ආචාර්ය රාජන් සාරා බව හෙළිවී ඇත. මේ සඳහා මුදල් අමාත්‍යාංශය සහ ගුවන් සමාගම පමණක් සහභාගි වූ අතර අදාළ අමාත්‍යාංශය වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහභාගි කරවා නොගැනීම ගැට ලුසහගත බව කෝප් කමිටුව වාර්තා කර ඇත.

ආචාර්ය රාජන් සාරා නැමැත්තා මුදල් අමාත්‍යාංශයේ උපදේශකයකුද, නොඑසේ නම්, මුදල් ඇමැතිගේ උපදේශකයකුද යන්න පිළිබඳ රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ විදේශ ආයෝජන කළමනාකරණ උපදේශකයකු වන අතර, එම තනතුරට අමතරව ඔහු ගරුසේවයක් වශයෙන් කාර්ය සාධන කාර්යක්ෂමතා ඒකකයේ ප්‍රධාන තනතුරේද සේවය කර ඇති බවය.

මෙම ගුවන්යානා මිලදී ගැනීම සහ අනතුරුව ගිවිසුම් අවලංගු කිරීම පිළිබඳ විගණකාධිපතිගෙන් විස්තර වාර්තා දෙකක් ලබාගෙන එම වාර්තා දෙක පදනම් කරගෙන සකස් කළ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට කාරක සභාව නිර්දේශ කර තිබේ.

දැනටමත් විගණකාධිපති දෙපාර්තමේන්තුව යථෝක්ත වාර්තාව පිළියෙළ කර කාරක සභාවට ඉදිරිපත් කර තිබේ. කෝප් කමිටුව මේ පිළිබඳ විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් කර තිබේ.

යසවර්ධන රුද්රිගූ