2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

සේනා දළඹුවාට අලුත් උගුලක්

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

සේනා දළඹු වසංගතය ආරම්භ වී මේ වනවිට මාස කිහිපයක් ගෙවී ගොසිනි. බඩඉරිඟු වගාවෙන් ආරම්භ වූ වසංගතය කොමඩු වගාවටද, කොමඩු වගාවෙන් එළවළු වගාවටද ව්‍යාප්ත වී තිබේ. නුවරඑළිය හා යාපනය යන දිස්ත්‍රික්ක මෙම වසංගයෙන් බේරී සිටි බවට ප්‍රවෘත්ති පළවී තිබුණද, පසුගිය සතිය වනවිට එම දිස්ත්‍රික්ක දෙකෙහිද සේනා දළඹු වසංගතය පැතිරී ගොස් ඇති බවට තොරතුරු හෙළිදරව් වී තිබේ. කෙසේ වෙතත් ගොවිබිම්වල ගොවිමහතුන් තවමත් සේනා දළඹු උවදුර පාලනය වී නොමැති බව පැවසුවද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ එහි බලධාරීන් පවසන්නේ මේ වනවිට සේනා දළඹු උවදුර ක්‍රමයෙන් පහත යමින් පවතින බවය.

සේනා දළඹු උවදුර දෙස බලන විට පෙනී යන්නේ මෙය කෘමි වසංගතයක් බවය. කෙසේ වෙතත් මේ දක්වා අප රටෙහි පැතිරැණු සෑම වසංගතයක්ම මර්දනය කිරීමට අපි සමත් වී ඇත්තෙමු.

රජය මේ වනවිට මෙම සේනා දළඹු වසංගතය මර්දනය කිරීම සඳහා සම්පූර්ණ අවධානය යොමුකර ඇති බවක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා පවා ඊට මැදිහත් වීම තුළින් ඒ බව සනාථ වන අතර, පසුගිය මස 16 වැනිදා සිට ග්‍රාම නිලධාරී මට්ටමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කළ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

තවමත් රටේ කතාබහට ලක්වන මෙම සේනා දළඹු වසංගතය පිළිබඳව දේශය අපි කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවිමහතුන්ගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් විමසීමක් කළෙමු.

ප්‍රසන්න - අනුරාධපුරය

අනුරාධපුරය, ගලෙන්බිඳුණුවැව, කැකිරාව, විලච්චිය කියන ප්‍රදේශවලට සේනා දළඹුවාගෙන් විශාල ලෙස හානි සිදුවුණා. මුලින්ම බඩඉරිඟු වගාවටත් ඊටපස්සෙ පැණිකොමඩු, කුරක්කන් වගාවටත් මෙමගින් හානි පැමිණියා. මේ බඩඉරිඟු අස්වැන්න නෙලන කාලය. ගොවිමහතුන් විශාල පිරිසකගේ ගොවිබිම් විනාශවෙලා තියෙනවා. ඒ වගේම තමයි දෙපාර්තමේන්තුවෙන් මේ උවදුර පාලනය කිරීමට පියවර ගන්නවා කිව්වට තවමත් පියවර ගත්ත බවක් පේන්න නැහැ. ඒ වගේම තමයි ඇතැම් නිලධාරීන් ඇවිත් අපිට දෝෂාරෝපණය කරනවා එක ළඟින් හිටවලා තියෙනවා වැඩියි, නිසි කාලයට තෙල් ගහලා නැහැ කියලා. නමුත් මොවුන් මේකට විසඳුමක් දීමට හොයන්නෙ නැහැ.

බලගල්ල - මහියංගණය

මේ වනවිට මෙම ප්‍රදේශයේ අක්කර 2000ක් විනාශ වෙලා තියෙනවා මෙම සේනා දළඹුවා නිසා. තවමත් මෙය නිසි ලෙස පාලනය වෙලා නැහැ කියලා තමයි අපිට පේන්න තියෙන්නෙ. බෝග වර්ග සියයකට පමණ මේ දළඹුවාට හානි කරන්න පුළුවන් කියලා මේ වනවිට අපිට දැනගන්න ලැබිලා තියෙනවා. මේ සතා වී වගාවට ආවොත් මේ රටේ මිනිස්සු බත් කාලා ඉවරයි. දැනුම්වත් කිරීමේ වැඩසටහන් මොවුන් ක්‍රියාත්මක කරනවා. නමුත් සිදුවිය යුත්තේ මේ දළඹුවා පාලනය කිරීමට කටයුතු කිරීමයි. ඒ නිසා හැකි ඉක්මනින් ඒ සඳහා විසඳුමක් අදාළ බලධාරීන් ගොවීන්ට ලබාදිය යුතුයි.

එස්.එස්. වැලිගමගේ - උද්‍යාන බෝග පර් යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ

අද වනවිට සේනා දළඹුවා මර්දනය කළ හැකි විශේෂ වෛරස් කාණ්ඩයක් අමෙරිකාවෙන් මේ රටට ආනයනය කරලා එය ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මීට අමතරව කුරෙන්ජයටිස් නැමැති මෙරටින් සොයාගත් බැක්ටීරියාවක්ද සේනා දළඹුවන් මර්දනය සඳහා යොදාගැනීමේ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම මෙරට විද්‍යාත්මක ක්‍රමයක් ලෙස සේනා දළඹුවාට හානි කරන කෘමීන් හතර දෙනෙක්ද හඳුනාගෙන එම කෘමීන් ක්ෂේත්‍රයට හඳුන්වාදීම සඳහා පර් යේෂණ ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ සේනා දළඹුවා එක රටකින් ඉවත් කළද, නැවත යළි පැමිණීමේ අවදානමක් තිබෙනවා. සුළඟත් සමඟ තමයි මොවුන්ගේ බෝවීමේ ප්‍රවණාතාවයක් දක්නට ලැබෙන්නෙ. බඩඉරිඟු ගසට තමයි මෙම දළඹුවාගෙන් විශාල ලෙස හානි සිදුවන්නෙ. කෙසේ වෙතත් මේ දළඹුවාගෙන් සිදුවන හානිය නැවැත්වීම සඳහා අපි මේ වනවිට ගොවිමහතුන් දැනුම්වත් කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

බතලගොඩ වී පර්යේෂණායතනයේ  කීට විද්‍යාඥ ප්‍රසන්ති චන්ද්‍රසේන මහත්මිය

මේකෙ තියෙන දරුණුකම නිසා ඉක්මනින් ව්‍යාප්ත වෙයි කියා හිතුවත් ගොඩක් දුරට මේක පැතිරැණේ නැහැ. අපි ක්ෂේත්‍ර කිහිපයක පර්යේෂණ   සිදුකරලා තාවකාලිකව නිර්දේශ දුන් නිසා මේ ව්‍යාප්තිය සෑහෙන්න දුරට පාලනය වෙලා තියෙනවා. හැමෝම ඒ ගැන අවධානයෙන් ඉන්න ඕන. කෘෂිකර්ම අමාත්‍යංශය නිර්දේශ කළ පාලන ක්‍රමවලට අනිවාර්යයෙන්ම යා යුතුයි. පළිබෝධකයන්ගේ ව්‍යාප්තිය දැනට පාලනය වෙලා තිබුණත් අවදානම තවම තියෙනවා. සුළු වශයෙන් වුණත් සත්තු හිටියොත් ස්ථිරව පාලනය වෙන්නෙ නැහැ. ගිරිබාවේ, කැකිරාව, තමුත්තේගම ආශ්‍රිතවත් පර් ‍යේෂණ වගාභූමිවල දැනුම්වත් කිරීම් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ පිළිබඳව දිනපතා දැනුවත් කිරීම්ද සිදුකරමින් පවතිනවා.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන්

සේනා දළඹුවාගෙන් කෘෂිභෝග වගාවට එල්ල වූ බලපෑම් මේ වනවිට පහව යමින් තිබෙනවා. වගා ආරක්ෂිත පියවරක් ලෙස තාවකාලිකව බඩඉරිඟු වගාව නතර කිරීමට ගත් පියවර සහ ඒ පිළිබඳව එක්ව ගත් විවිධ පියවර නිසා මේ වනවිට බලපෑම අඩුවෙමින් තිබෙනවා. බඩඉරිඟු වගාවට සියයට 50ක පමණ බලපෑමක් එල්ලවෙලා තිබුණා. දැන් එය ක්‍රමයෙන් පහව ගොස් තියෙනවා. ඒ වගේම ඉදිරියේදී අපි අස්වනු හානිය ගණනය කිරීම අරඹලා හානි වූ බඩඉරිඟු වගා සඳහා වන්දි ගෙවීමක් සිදුකරනවා.

මේ අතර සේනා දළඹුවා මර්දනය සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ යටතේ මෙය මර්දනය සඳහා ග්‍රීසිය, අප්‍රිකානු රටවල් සහ අමෙරිකා එක්සත් ජනපදය විසින් දැනට භාවිත කරන පෙරමෝන් උගුල හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

පෙරමෝන් උගුල Bucket සහ Delta යනුවෙන් හැඩ දෙකකින් යුක්ත වන අතර, එම උගුලේ අභ්‍යන්තරයේ රඳවන පෙරමෝන් රසායනිකය වෙත සේනා දළඹුවාගේ පරිණත අවස්ථාව වන සලබයන්ගේ පිරිමි සතුන් ආකර්ෂණය වෙයි. එමෙන්ම එහි රඳවා ඇති ජලයට වැටී ඔවුහු විනාශ වෙති. මෙම පෙරමෝන් උගුල කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හඳුන්වා දුන් අතර ඔවුන් පවසා සිටියේ අක්කරයක පමණ බිම් ප්‍රමාණයකට මෙවැනි උගුල් 04ක් හෝ 05ක් ප්‍රමාණවත් බවයි.

I සටහන :- හසිත් අංජන 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00