කිරලාගල හෙවත් වෙහෙරබැඳිගල පුරාවිද්‍යා භූමිය පිහිටා ඇත්තේ අනුරාධපුර හොරොව්පතානේ සිට කිලෝමීටර් 6ක් දුරින් මැදවච්චිය පාරේය. වනබද සුන්දර වටපිටාවකට හිමිකම් කියන මෙම පුදබිම අනුරාධපුර යුගයේ දියුණු මට්ටමක පැවතුණු පධානඝර ආරාම සංකීර්ණයක් බව එහි නටබුන්වලින් පැහැදිලි වේ. අප්රකටව පැවති මේ පුරාවිද්‍යා ස්ථානය මෑතකදී රටේම අවධානයට ලක්වූයේ කිරලාගල නටබුන් දාගැබ මත සිට අසංවර තරුණ හාදයන් පිරිසක් ගත් සේයාරූ අන්තර්ජාලයට එක් කිරීමත් සමඟය.
පසුගියදා පිදුරංගල පර්වතය මත සිට ගත් ඡායාරූප තොගයක් නිසා සමාජ මාධ්‍ය මෙන්ම ජනමාධ්‍යයද කලබලයට පත්වූ සිදුවීමට මෙයද සමානය.
බෞද්ධයන්ගේ පූජනීය ස්මාරකයක් වන මෙම දාගැබ කඩාවැටී නටබුන්ව පැවතී තිබූ අතර මෑත අතීතයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර තිබේ. එම දාගැබ මත පාවහන් පැළඳගෙන විවිධ ඉරියව්වලින් තරුණයන් 7 දෙනකුගේ කණ්ඩායමක් ගත් ඡායාරෑප මෙලෙස ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට එක්කර තිබුණි. ඒ සමඟම ඒ පිළිබඳ විරෝධය දක්වන ලියවිලි ෆේස්බුක් හරහා පළ විය. පසුගිය 22දා අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ කිරලාගල කලාප බාර පුරාවිද්‍යා නිලධාරීවරයා හොරොව්පතාන පොලීසියට පැමිණිල්ලක් කරන්නේ එලෙස ගින්න පත්තු වූ පසුවය.
2018 වසරේ ජනවාරි 5දා හෝ ඊට ආසන්න දිනයකදී මෙම පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී ඉපැරණි දාගැබක් මත නැගී ඡායාරූප ගෙන සමාජ වෙබ්අඩවි වෙත මුදාහැර ඇති බවත්, එම සැකකරුවන් පිළිබඳව සොයා බැලුවද ඒ සම්බන්ධයෙන් කිසිවක් සොයාගැනීමට නොහැකි වී ඇති බවත් පුරාවිද්‍යා නිලධාරීන් කළ පැමිණිල්ලේ සඳහන්ය.
හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඔවුන් ත්‍රිකුණාමලය සහ අම්පාර ප්‍රදේශයේ තරුණයන් බවට හඳුනාගෙන ඇත. ඒ අතර තරුණයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් පිටත් කර ඇති බවද වාර්තා විය.
හොරොව්පතාන සහකාර පොලිස් අධිකාරී සේනක බී. ජයසිංහගේ උපදෙස් අනුව ඉදිරි පරීක්ෂණ සිදුකෙරේ.
පුරාවිද්‍යා ස්මාරකයක් මත නැගී ඡායාරූප ගැනීම නිසා එයට භෞතික හානියක් සිදුනොවූ බව සැබෑය. එමෙන්ම මෙම දාගැබ වැඳුම් පිඳුම්වලට ලක් නොවන නටබුන් ගඩොල් ස්මාරකයක් බවත් ඇත්තය. නමුත් එලෙස අසංවර ලෙස ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම පිටුපස තිබෙන්නේ බුදුදහමට බෞද්ධ සංස්කෘතියට නිගා කිරීමක් බව පෙනේ.
"සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා මට නියෝග කරලා තියෙන්නේ මේ සිද්ධිය ගැන වහාම සොයා බලලා උපරිම නීතිමය පියවර ගන්න කියලා." පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල සඳහන් කරයි. පොලිස් මූලස්ථානයට පැමිණි බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියෝද මේ පිළිබඳව පැමිණිල්ලක් කළහ.
"සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා, පැරැණි දාගැබක නැඟගෙන සිටින තරුණ පිරිසකගේ පින්තූර කිහිපයක්. මේක පසුගිය දිනවල සිදුවූ පිදුරංගල සිද්ධියට සමාන බව අපට පේනවා. කුමන ජාතියක පිරිසක් වුණත් මේ රටේ උරුමයට ගරුකළ යුතුයි. විමර්ශනයක් කරලා මේ පිරිස අත්අඩංගුවට ගන්න කියලා විශේෂ ඉල්ලීමක් කළා." සිරි ජිනානන්ද හිමියෝ පැවසූහ.
පොලීසිය සිසුන් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින අතර ෆේස්බුක් ජාලයේ නම් මේ සිසුන් හඳුනාගෙන ඔවුන්ගේ තොරතුරුද ප්‍රචාරය කරමින් තිබෙනු පෙනේ. ඒ අතර සිද්ධියට අදාළ සිසුන්ගේ ෆේස්බුක් පිටු අප පරීක්ෂා කළද මේ වනවිට එම ඡායාරූප ඔවුන් විසින් තම ගිණුම්වලින් ඉවත් කරගෙන තිබේ.
මෙම සිද්ධියට සැකපිට අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අවසන් වසරේ උපාධි අපේක්ෂකයන් අට දෙනෙක් අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී හොරොව්පතාන පොලීසිය විසින් 23දා සවස අත්අඩංගුවට ගත්හ. ඔවුහු කල්මුණේ, ගම්පොල, කුලියාපිටිය, හොරොව්පතාන, පුත්තලම, එරාවුර්, ඔඩ්ඩමාවඩ්චි යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. තමන් මෙම ඡායාරූප ගත්තේ හොරොව්පතානේ පදිංචි මිතුරාගේ නිවසට ගිය අවස්ථාවකදී බවත් එය එතරම් බරපතළ කරුණක් ලෙස තමාට නොදැනුණු බවත් සැකකරුවන් පොලීසියට ප්‍රකාශ කර තිබේ. එය වැරැද්දක් බව දැනුණේනම් ඡායාරූප එලෙස සමාජජාලා වෙබ් අඩවිවලට මුදා නොහරින බවද ඔවුන් පවසා තිබේ. අත්අඩංගුවට ගත් මෙම සිසුන් හත්දෙනා පෙබරවාරි 5දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ අල්විස් පසුගියදා නියෝග කළේය.
කිරලාගල යනු පධාතඝර මූලික කරගත් ආරාමයකි. මෙවැනි පඨානඝර ආරාම රිටිගල, අරන්කැලේ, බුදුගල, මානාකන්ද වැනි ස්ථාන කිහිපයක පමණක් දැකගත හැකිය. මේ නිසා පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් මේ නටබුන් භූමියට ලැබේ. කෙසේ වුවත් කිරලාගල අවට දක්නට ලැබෙන්නේ අන්‍ය ලබ්ධිකයන් පදිංචි ඔවුන් වගාකළ ඉඩම්ය. කලකට පෙර අක්කර 60ක පැතිර තිබූ පුරාවිද්‍යා භූමිය අද වනවිට අක්කර 12කට සීමාවී ඇත්තේ ඔවුන් ඉඩම් අල්ලාගැනීම නිසා බව ප්‍රදේශවාසීහු පවසති. පොතුවිල් මුහුදු මහා විහාරයේ මෙන්ම කෑගල්ල දෙවනගල විහාරයේද ඉඩම් මෙලෙස අන්‍ය ලබ්ධිකයන් විසින් ප්‍රසිද්ධියේ අත්පත් කරගෙන තිබුණද ඒවාට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් නැත.
මේ අතර ෆේස්බුක් ජාලයේ ලියැවිල්ලකින් කියැවුණේ මෙතරම් වැදගත් පුරාවිද්‍යා භූමියක් ආරක්ෂාවට පත්කර සිටින මුරකරුවාද බෞද්ධාගම ගැන අවබෝධයක් නැති අන්‍ය ලබ්ධිකයෙක් බවයි.
කිරලාගල ස්වභාවික ගල්තලාවක් ආශ්‍රය කරගනිමින් නිර්මාණය කර ඇති ආරාම සංකීර්ණයකි. මෙහි නටබුන් ගොඩනැගිලි අතර කැපීපෙනෙන්නේ පොකුණුය. ප්‍රධාන ගොඩනැගිල්ල අසල ගල්තලාව ආශ්‍රිතව නිර්මාණය කර ඇති කුට්ටම් පොකුණ හා ඡන්ථාඝරය ආසන්නයේ ඇති පොකුණ ප්‍රධානය. මේවාට ජලය ලබාගෙන ඇත්තේ වර්ෂාවෙනි. දැඩි වියළි බව මඟහැරීමට මෙම පොකුණු ඉවහල් වේ. ස්වභාවික පොකුණුද මෙහි දැකගත හැකිය.
ප්‍රධාන පොකුණ හඳුන්වන්නේ බන්දා පොකුණ වශයෙනි. එය රිටිගල පිහිටි පොකුණ මෙන් ඉතා විශාල පොකුණකි. කළුගල් පුවරු අල්ලා සැකසූ ඉවුරුවලින් යුක්ත එය දිගින් අඩි 150කි. පළලින් අඩි 75කි. ගැඹුර අඩි 28කි. එයට පිවිසීමට සිව්පසින් පඩිපේළි හතරකි. එයට නුදුරින් පිහිටි අනෙක් පොකුණ පළලින් අඩි 21ක්ද, දිගින් අඩි 91ක්ද වේ.
බෝධිඝර, පඨිමාඝර (පිළිමගෙය), ආසනඝර, ඡන්තාඝර (උණුපැන් ගෙය), ථූපඝර, පඨාතඝර ආදී ගොඩනැගිලි මෙහි පිහිටා තිබේ. භාවනායෝගී භික්ෂූන්ට සක්මන් කිරීමට තැනූ සක්මන් මළු ද ඒ අතර වේ. මෙහි දාගැබ අසලින් ක්‍රි.ව. 3-4 සියවස්වලට අයත් සෙල්ලිපි දෙකක් ද හමුවී තිබේ. ආරාමයට කුඹුරුවල අස්වැන්න හා වැව්වල ආදායම පරිත්‍යාග කිරීම් ගැන ඒවායේ සඳහන්ය.
ක්‍රි.ව. 3-4 සියවස්වල ඇරඹි කිරලාගල ආරාමය 7-9 සියවස් වනවිට පාංශුකූලික භික්ෂූන් වාසය කරන ප්‍රදේශයේ ප්‍රකට ආරාමයක්ව පැවතී තිබේ. එහි භාවනායෝගී භික්ෂූන් සිය ගණනක් වාසය කළ බව අද දක්නට ලැබෙන නටබුන්වලින් පෙනේ. කිරලාගලින් පෙනෙන්නේ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථානවලට අත්ව ඇති කනගාටුදායක ඉරණම නැගෙනහිරට යාබද පුරාණ ආරාමවලටත් අත්වෙමින් තිබෙන බව නොවේද?
මේක මුස්ලිම් අන්තවාදයක්
රත්මලාන ධර්ම පර් යේෂණාලයේ අධ්යක්ෂ හෑගොඩ විපස්සී හිමි
"මේක ඉතා විශාල භූමියක පැතිරුණු පුණ්‍ය භූමියක්. ඉපැරැණි බෞද්ධ ආරාමයක්. අනුරාධපුරයේ කුට්ටම් පොකුණට සමාන කුට්ටම් පොකුණක්ද එහි නටබුන් අතර පිහිටා තිබෙනවා. අවුරැදු 8කට පමණ පෙරදී කිරලාගලට නුදුරු භූමියක් හෑගොඩ අස්සජී නායක හාමුදුරුවන් ලබාගෙන විහාරයක් තැනීමට කටයුතු ආරම්භ කළත් මුස්ලිම් අන්තවාදීන්ගේ බලපෑම නිසා එය නැවැත්වීමට සිදුවුණා. ඒ ගැන දැන් නඩුවක් තිබෙනවා. මේ අය කිරලාගල අවට තමන්ගේ ක්ෂේමභූමියක් කරගෙන සිටිනවා. එදා ඉඳන් මේ අගතිය සිදුවුණත් අපේ රටේ මිනිසුන්ට ඒක නොපෙනීම තමයි ගැටලුව. මේක පොඩි ආරම්භයක් පමණයි. මේ වගේ අන්තවාදී දේවල් ලත්තැනම ලොප් කළ යුතු බව මගේ හැඟීමයි."
කුසුම්සිරි විජයවර්ධන
සේයාරු I අන්තර්ජාලයෙනි