2019 ජනවාරි 26 වන සෙනසුරාදා

මහ පාරට ආ වට්ටක්කා ගොවීන්ගේ කෝපය....

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 159

පසුගිය අඟහරුවාදා නොච්චියාගමදී වට්ටක්කා ගොවියෝ මහමගට බැස්සෝය. අනුරපුරය පුත්තලම මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ කළ නොච්චියාගම ගොවියෝ වට්ටක්කා ගෝනි මහමගටද ගෙනවිත් තිබිණි. මෙම විරෝධතාවයට හේතුව ලෙස කියවුණේ ගොවීන්ගෙන් වට්ටක්කා මිලදී ගැනීම වෙනුවට රජයේ නිලධාරීන් අතරමැදියන්ගෙන් වට්ටක්කා තොග මිලදී ගැනීමයි. රජය විසින් එක් ගොවියකුගෙන් වට්ටක්කා කිලෝ 1500ක් මිලදී ගන්නා බව පැවසුවද අතරමැදියන්ගෙන් වට්ටක්කා කිලෝ දහදහස දොළොස් දහස බැගින් තොග මිලදී ගෙන ඇති බව මෙහිදී චෝදනා එල්ලවිය. අප විසින් ඔබ හමුවේ ගොනුකරන්නට බලාපොරොත්තු වන වට්ටක්කා ගොවියාගේ ඉරණම් කතාවේ නිමිත්ත මෙයයි.

පසුගිය සතියේ මුල නොච්චියාගම හා විලච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි පැවති අනුරාධපුර දිස්ත්‍රික්කයේ වට්ටක්කා මිලදී ගැනීමේ වැඩසටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා වට්ටක්කා ගොවියාිට පොරොන්දුවක් දී තිබිණි. ඒ නම් ගොවියාව සූරාකන අතරමැදියන්ට තමන් සිටින තාක්කල් ඉඩ ලබා නොදෙන බවයි. තවද නොචිචියාගම හා විලච්ච්ය ප‍්‍රදේශවල වට්ටක්කා වගාකළ එක් ගොවියකුගෙන් කිලෝ 1500ක් කිලෝවක් රුපියල් තිහ බැගින් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා රජයට මිලදී ගැනීමේ කටයුතු සිදුකරන බව අමාත්‍යාවරයා පවසා තිබේ. මේ වෙනුවෙන් රජය රුපියල් කෝටියක මුදලක් වෙන්කර ඇති බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.

මෙම වැඩපිළිවෙළ නියමිත පරිදි ක්‍රියාත්මක නොවන බව නොච්චියාගම වට්ටක්කා ගොවින්ගේ විරෝධයේදී පෙන්වා දී තිබේ. එහෙත් වට්ටක්කා කිලෝවක් රුපියල් තිහකට මිලදී ගැනීමට රජය ගත් තීරණය අගයන ගොවීන් වෙළෙඳපොළේ වට්ටක්කා මිල ඉහළයාම ගැන සිටින්නේ ප්‍රසාදයකිනි. ඔවුන්ගේ ගැටලුව වී ඇත්තේ නිලධාරීන් අතරමැදියන්ගෙන් මිලදී ගැනීම නිසා තමන් වගාකළ වට්ටක්කා තොග  විකිණීමට දින ගණන් තිස්සේ මහමඟ දෙපස රැඳී සිටිමින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවීමයි.

මෙය වට්ටක්කා ගොවීන් මුහුණු දෙන එකම හෝ ප්‍රබලතම ගැටලුව නොවේ. වට්ටක්කා ගොවියා අතරමැදියන් නිසා පීඩාවට පත්වූයේ අද ඊයේද නොවේ. පසුගිය වසරේදී වට්ටක්කා කිලෝවක මිල රුපියල් පහ දක්වා පහත වැටිණි. ගොවීන්ට මිලක් නැත්තටම නැතිවිය. ගොවියෝ වට්ටක්කා දන්සල් පවා දුන්හ. ඇතැම් සුපිරි වෙළෙඳසල්වල බඩු මිලදී ගැනීමේදී වට්ටක්කා නොමිලේ දෙනු ලැබීය. එයට හේතුව අධික අස්වැන්න මෙන්ම අතරමැදියන්ගේ බලපෑමයි.

එනම් නිෂ්පාදන වැඩිවන කාලවලදී අතරමැදියන් ගොවීන්ගෙන් නිෂ්පාදන මිලදී නොගෙන සිටිමින් වෙළෙඳපොළ මිල වැඩිකර ගැනීමට දරන උත්සාහයයි. මේ කාරණාව තවදුරටත් පැහැදිලි වන්නේ ගොවීන් මිල අඩු යැයි මැසිවිලි නගන කාලවල පවා රටේ ඇතැම් පළාත්වල වෙළෙඳපොළවල එළවළු පළතුරු වර්ග සැලකිය යුතු තරම් දකින්නට නොතිබීම හරහාය. ඒ අනුව හැරිසන් ඇමතිවරයා කියූ කතාව සාධාරණය. අතරමැදියන් විසින් අසරණ ගොවීන් සූරාකෑමට ලක්කරයි. එවන් අවස්ථාවල ‍මෙරට ආණ්ඩුව ගන්නා සාම්ප්‍රදායික පියවරක් ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශ යටතේ තිබෙන ආයතනවලට අදාළ එළවළු වර්ග සාපේක්ෂ වැඩි මිලකට මිලදී ගැනීම නියම කරයි. එයින් වෙළඳපොළ ඒකාධිකාරය බිඳ දමා ගොවියා හොඳ මිලක් ලබාදීම එහි අරමුණයි. ඒ නමුත් එය තාවකාලික පිළියමකි.

අනුරපුරය දිස්ත්‍රික්කයට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේද වැඩි වශයෙන් වට්ටක්කා වගා කෙරේ. මාරාව, සියඹලාණ්ඩුව, වැල්ලවාය, බුත්තල, තණමල්විල ආදී ප්‍රදේශවල වට්ටක්කා ගොවියෝ අතරමැදියන් විසින් ඇතිකරන අවුලට මුහුණපාති. වට්ටක්කා ගොවිතැන සම්බන්ධ අර්බුදය අවම වශයෙන් වසරකට දෙවතාවක්වත් කතා කිරීමට මාධ්‍යයට සිදුවේ. බොහෝ විට එයට හේතුව මිල පහළ යාමය. සාමාන්‍යයෙන් පෙබරවාරි මාර්තු සහ අප්‍රේල් මාස එළවළු සීසන් එක ලෙසින් හඳුන්වයි. ඒ කාලයේදී මහ කන්නයේ අස්වනු නෙළීම සිදුවේ. ඒ මෙන්ම යල කන්නයේ අස්වනු නෙළන කා‍ලේදීත් මෙලෙස මිල පහළ බසී. අගෝස්තු, සැප්තැම්බර් යන මාස දෙක යල කන්නයට අයත් වේ.

මෙම අර්බුදයේදී සැබෑවටම සිදුවිය යුත්තේ පසු අස්වැන්න පර්යේෂණ ආයතන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදියේ මැදිහත් වීමකි. ගොවීන්ට වගා කටයුතු සැලැස්මක් ලබාදීම සිදුකළ යුතුවේ. ලංකාවේ තියෙන්නේ යැපුම් කෘෂිකර්මාන්තයකි. ඊට ඵලදායි රාජ්‍ය මැදිහත්වීමක් නැත. එක් එක් බෝගය රට තුළ කොතරම් ප්‍රමාණයක් වගා කරනවද යන්න පිළිබඳ නිශ්චිත සංඛ්‍යා‍ලේඛන තිබේදැයි සැකය. එසේ තිබේනම් අධික අස්වැන්නක් ලැබීමේ අර්බුදය නිර්මාණ නොවන පරිදි සැලසුම් දියත් කිරීමට ඔවුනට හැකිය. අප මෙම කාරණා සිහිපත් කරන්නේ වට්ටක්කා පිළිබද අර්බුදය ඉදිරි මාසය වනවිට තීව්‍ර වීම ඉඩ ඇති බව දන්නා නිසාවෙනි.

පසුගිය වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත්වීම මත හදබිම අධිකාරිය චීනයට එළවළු පළතුරු අපනයනය කරන ගිවිසුමකට සූදානම් විය. එම අපනයනට අදාළ එළවළු අතර වට්ටක්කාද විය. අද වනවිට එම වැඩසටහන පිළිබඳ හාවක් හූවක් නැත. ආණ්ඩුව මාරුවුවද මැති ඇමතිවරු මාරුවුවද ගොවියාගේ ගැටලු නිවාරණය නොවන සෙයකි. අවසානයේදී සඳහන් කළ යුත්තේ වසරකට දෙතුන් විඩක් සුසුම් හෙළන වට්ටක්කා ගොවියාගේ ප්‍රශ්ණ වස බෝතලයකින් විසඳා ගැනීමට ඉඩ නොතබා නිසි විසඳුමක් ලබාදීම බලධාරීන්ගේ යුතුකම බවයි.

I චමිඳු නිසල්
පසුබිම් වර්තා හා සේයාරුව I 
නොච්චියාගම ජී.ඒ.පී. කුමාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00