2019 ජනවාරි 26 වන සෙනසුරාදා

සුව-පිය සැරිය ගුවන් ගිලන් රථ ළඟදීම ලංකාවටත්

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

හදිසි අනතුරු අවස්ථාවකදී දුරකතන ඇමැතුමක් මගින් නොමිලේ ළඟටම ගිලන් රථයක් ලබා ගැනීමේ පහසුකම ලබාදෙන සුවසැරිය සේවාව මේ වනවිට වැඩිම අගැයීමකට ලක්වූ රාජ්‍ය සේවාව බවට පත්ව තිබේ. ආරම්භයේදී නොයෙක් කයි කතන්දර  අසන්නට ලැබුණත් දැන් එය විශිෂ්ට සේවාවක් බව කාගේත් ඒකමතික අදහසයි. මේ නිසාදෝ දැන් රජයේ අවධානය යොමුව ඇත්තෙ රටපුරාම මේ ගිලන් රථ සේවාව ව්‍යාප්තිය  කඩිනම් කිරීමටය. එතැනින් නොනැවතී ලංකාවටද ගුවනින් ක්‍රියාත්මක වන ගුවන් ගිලන් රථ “සුව-පියසැරිය” සේවාවක් ළඟදීම ගෙන එන බවටද දැන් කතාබහ ඇරඹී හමාරය.

අපට මහ අරුමයක් වුවත් ලෝකයේ සෙසු රටවල ඇත්තන්ට නම් ගුවන් ගිලන් රථ සේවාව රජයෙන් ලබාදෙන ප්‍රායෝගික උරුමයකි. ඒ උරුමය පළමු ලෝක යුද සමය තෙක් දිවෙන්නකි. මාරාන්තික තුවාල ලත් යුද භටයන් ප්‍රවාහනය සඳහා ක්‍රියාත්මක වූ මෙය පසුව කොරියානු යුද්ධය සහ වියට්නාම යුද්ධයේදීද භාවිතා විය. පසුව දැන් සෞඛ්‍ය සේවා නිසි ලෙස නොලැබෙන දුරබැහැර ප්‍රදේශ සඳහා නැතිවම බැරි සේවාවක් බවට මෙය පත්ව තිබේ. මාර්ග පහසුකම් පවා නැති දුෂ්කර ස්ථාන කරා පහසුවෙන් සහ ඉක්මණින් වෛද්‍ය උපකාර රැගෙන ළඟාවීමේ හැකියාව නිසා මෙය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්ව ඇත. හෙළිකොප්ටර් බහුලව යොදා ගන්නා අතරම සැහැල්ලු ගුවන් යානා  සී ප්ලේන් මතු නොව ගුවන් ගිලන් රථ බවට වෙස් පෙරැලූ ජෙට් යානාද වෛද්‍යාධාර රැගෙන මෙන්ම රෝගීන් ප්‍රවාහනය සඳහාද රටකින් රටකට යන අවස්ථා දක්නට හැකිය. විශේෂඥ වෛද්‍යවරුන් රුගෙන රටවල් පුරා යන සායනික ගුවන් යානා සේවයක්ද ඇති අතර එයද සැලකිය හැක්කේ මේ කියන “සුව - පියාසර” සේවය යටතටම අයත් හැටියටය. මෙය අන්තර්ජාතිකව සරුසාර ලෙස ක්‍රියාත්මක සේවාවකි. අපේ රට තුළද ගුවන් හමුදා යානාද පෞද්ගලික ආයතන කිහිපයක්ද දැනට ගාස්තුගෙවා සේවා ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබේ. සෞඛ්‍ය සේවයේදී රන් පැය ලෙස හැඳින්වෙන අනතුරක් හදිසි ආබාධයක් සිදුව ගතවන මුල්කාලය රෝගියාගේ දිවි බේරා ගැනීමට අතිශය වැදගත්ය. වෛද්‍ය උපකාර වෙත කඩිනමින් ළඟා විය හැකි රන්පැයේ වටිනාකම නිසැකවම රැකගන්නා විශිෂ්ටතම සේවාව ගුවන් ගිලන් රථයයි.

ලෝකයේ බොහෝ අලුත් දේ ආරම්භ වූ ආකාරයට ගුවන් ගිලන් රථ කරළියට ආවේද යුද්ධය නිසාය. පළමු ලෝක යුද්ධය අවසාන කාලයේදීය. නමුත් එයට පෙර 1870දී ප්‍රංශයේදී වරෙක ගුවන් බැලූනයක් මේ කාර්යය සඳහා යොදාගන තිබුණි. එදා තුවාල ලත් 160 දෙනෙක් බැලුනය මගින් ගෙනගොස් තිබුණි. වසර 1917දී කකුලට වෙඩිවැදුණ තුර්කි සොල්දාදුවෙක් රෝහලකට රැගෙන ගිය ගුවන් ගමන බ්‍රිතාන්‍ය හමුදාවේ යුද ගුවන් ගිලන් රථ සේවයේ  ආරම්භයයි. ගොඩබිමෙන් ගියා නම් මේ ගමනට දින 3ක් ගතවන්නකි. 1920 අවුරුද්ද වනවිට ලෝකය පුරා ගුවන් ගිලන් රථ හෙවත් සුව - පියසැරිය සේවා බහුල වන්නට විය. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අප්‍රිකානු සහ මැදපෙරදිග යුදබිමේදී මේ සේවා නවසිය විසි ගණන්වලදී භාවිත කළහ. තනි ස්ට්‍රෙචරයක් හෙවත් ගිලන් ඔසොවනයක් සහිතව කටයුතු කළ ඒ කාලේ තිබූ Airco DH.9A යානා මගින් ප්‍රංශය 7000කට වැඩි තුවාලකරුවන් පිරිසක් බේරාගන්නට සමත්ව තිබුණි. 1950 සහ 1953 කාලයේ බුරුමයේ සිට තුවාලලත් බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් තිදෙනෙක් ප්‍රවාහනයට අමෙරිකා හමුදා මුල්වරට හෙළිකොප්ටරයක් යොදා ගත්හ. මෑතකදී ඔවුහු නවතම මාදිලියේ UH-60 Black Hawk යානා ඉරාක යුදබිමට වෛද්‍යාධාර ලබාදීමට යොදාගනු ලැබූහ. එහෙත් මුල්මවරට අමෙරිකාවේ මෙම සේවය ඇරැඹූ බවට වාර්තා වී ඇත්තේ 1947 වසරේ J. Walter Schaefer ය. මේ සේවාව අදටත් ක්‍රියාත්මකය. රෝහල් ආශ්‍රිත රාජ්‍ය සේවාවක් ලෙස මෙය ඇරැඹී ඇත්තේ 1972 පමණ මෑතකදීය. නමුත් දැන් ලෝකයේ හොඳම සේවාව ඇත්තේ ඒ රටෙහිය. මේ වනවිට අමෙරිකාවේ පමණක් වසරකට ලක්ෂ 5ක් පමණ ගුවන් ගිලන් රථ සේවා භාවිතා කරන බව වාර්තා වේ.

මුල්වරට සිවිල් පුරවැසියන් උදෙසා ගුවන් ගිලන් රථ යොදා ගැනීම කැනඩාව ඇතුළු ස්කැන්ඩිනේවියා රටවලින්ද ඕස්ට්‍රේලියාවෙන්ද වාර්තාගතය. ගමනාගමනය අති දුෂ්කර ජලදුර්ග ගිරිදුර්ග බහුල නොර්වේ රාජ්‍යයේ මේ සේවා ප්‍රචලිතය. 1920 තරම් ඈතදී තායිලන්තයට ගුවන් ගිලන් රථ ලැබුණු අතර එය ස්වීඩන් ආධාරයකි. Royal Flying Doctor Service හැටියට අදටත් හැඳින්වෙන ගුවන් ගිලන් රථ සේවය ඕස්ට්‍රේලියාවේ දුෂ්කර ප්‍රදේශවල ඇරැඹුණේ 1928 දීය. ඒ අනුව එය ලොව මුල්ම ගුවන් ගිලන් රථ සේවය ලෙස වාර්තාගත වෙයි. අප්‍රිකාවේ සිවිල් ජනයා ප්‍රවාහනයට උපකාරිවන හෙළිකොප්ටර් සේවාව Marie Marvingt විසින් 1934දී අරඹා තිබුණි. යුරෝපය තුළ මෙම සේවය ඇරැඹෙන්නේද බොහෝ කලකට පසුවය. යුගොස්ලාවියාවේ වාහන අනතුරු සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ 1980දී පමණ මුල්ම හෙළිකොප්ටර් ගිලන් රථය ගෙන්වා තිබේ. අපේ අසල්වැසි ඉන්දියාවේ ගුවන් ගිලන් රථ සේවයෙ ඇරැඹුණේද 1955දීය.

හෙළිකොප්ටර් මගින් ඉටුවන ගුවන් ගිලන් රථ සේවාව ඉතා වේගවත්ය. සාමාන්‍යයෙන් ගොඩබිමට සාපේක්ෂව තෙල් මුළුමනින් පුරවා ඇතිවිට සැතපුම් 347ක් දුර නවතම යානා තෙල් අවසන් වනතුරු ගමන් කරයි. තෙල් ප්‍රමාණය සෑහෙන්නේ පැය 1යි මිනිත්තු 50ක කාලයටය. දැනට වාර්තාගත වේගය පැයට සැතපුම් 185කි. එනම් ගොඩබිම වාහනයක වේගය මෙන් හතර ගුණයක වේගයකි. මේවායේ මිල ඩොලර් 12000 සිට 15000 අතර ගණනකි. එනම් රුපියල්වලින් නම් 21,86,760/- සිට 27,33,450/- අතර මූල්‍ය වටිනාකමකි. එංගලන්තය තුළ මූලිකව ආයතන 20ක් මේ පහසුකම සපයයි. ගුවන් ගිලන් රථ සේවාව  වැඩියෙන්ම ක්‍රියාත්මක අමෙරිකාව තුළ 2004 වනවිට හෙළිකොප්ටර යානා 1515ක් භාවිතයේ  තිබූ අතර ලියාපදිංචි සේවා ආයතන 75කට වැඩි ගණනක් තිබුණි. එරට මෙම ක්ෂේත්‍රයේ දියුණුව කෙතරම්ද යත් සේවකයන් 21000ක් පමණ සේවයේ යෙදෙන බව  වාර්තාගතය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00