2019 ජනවාරි 26 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයට පිටපොට ගහන අය

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 52

ජනාධිපතිවරණ අපේක්ෂක සූදානම ලාංකීය දේශපාලන කතිකාවතේ කාලීන තේමාවයි. ගෙවුණු දෙසතියේ මෙම තේමාව තීව්‍ර වී නැගුණේ ප්‍රධාන හේතු කාරණා කිහිපයක් නිසාවෙනි. 

මේ කතාවේ ආසන්නම නිමිත්ත ගෝඨාභය රාජපක්ෂ මහතාය. පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානයේ මීළඟ ජනාධිපතිවරණ  අපේක්ෂකයා ලෙස කලක පටන් ඔහුගේ නම කියැවෙමින් තිබිණි. එහෙත් එය ස්ථිර නොවූ නිල නොවන මට්ටමේ කතාවකි. එම කතාව හේතුකොට ගෙන පසුගිය කාලයේ ඇතිවූ උණුසුම්  දේශපාලන සංවාද බොහෝය. ඔක්තෝබර් 26 බල පෙරළියෙන් පසු ගෝඨාභය නම් තේමාව දේශපාලන කරළියේ තරමක් පසුගාමී විය. කෙසේ වුවද  ගෝඨාභය රාජපක්ෂ මූලික කොටගෙන ගෙන ගිය සමාජ දේශපාලන ව්‍යාපාර මෙම කාලය තුළ ක්‍රමිකව ඉදිරියට ඇදුණි. එළිය සහ  වියත් මග ඒ අතරින් කිහිපයකි. පසුගිය දා වියත්මග සංවාදයේ දී සුවිශේෂී දෙයක් සිදුවිය.

“මං හිතන්නේ මේ අවුරුද්ද ඉතාමත්ම වැදගත් අවුරුද්දක්. අපි දන්නවා මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් තියෙන්නට ඕනා. මම නම් මේකට ලෑස්තියි ඔබත් ලෑස්ති නම්"

2019 වසරේ පළමු වියත්මග වැඩසටහනට සහභාගී වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා

කළ මෙම ප්‍රකාශය මෙතෙක් 2020 ජනාධිපති අපේක්ෂව පිළිබඳ දේශපාලන සංවාදයේ වැදගත් සලකුණකි. එය අපේ කතාවේ නිමිත්තයි. ඒ ප්‍රකාශයට පසුව සිදුවූ සිද්ධි දාමයකි. පළමුව  විමසා බලමු.

බැසිල් රාජපක්ෂ මහතා කඩවත පැවති ජන හමුවකදී පවසා තිබුණේ  මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයකු බිහිවන බවයි. ඒ අතර චමල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ මෙසේ ප්‍රකාශ කර තිබේ.

 “සුදුසු නම් මමත් සූදානම් කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වේ ජනතාව සූදානම් නම් තමන්ද සූදානම් කියලා"

 තවදුරටත් මේ ප්‍රකාශ සමඟ පොහොට්ටුවේ බොහෝ දෙනා කීවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තීරණය කරණු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවයි. රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍යයට කියා තිබුණේ එතුමන් ද ජනතාව ද සූදානම් නම් තමන් ද ඒ වෙනුවෙන් දෑතම ඔසවන බවයි. මේ අතර කුමාර වෙල්ගම මහතාගේ ප්‍රකාශයකට අවධානය යොමුකිරීම වටී. මන්ද වෙල්ගම සාධකයේ හැසිරීම ගෙවී ගිය කාලේ වෙනස්ම මුහුණුවරක් ගෙන තිබීමය. ඔහුට අනුව මහින්ද රාජපක්ෂ මහතාම නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිය. නාමයෝජනා බාරදිය හැකිය.

කෙසේ නමුත් මෙම ප්‍රකාශ සියල්ලට අනුව පෙනී යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධවත් පොදු එකඟතාවක් නොමැති බවයි. එහෙත් ඔහු අපේක්ෂා කරන පාර්ලිමේන්තු කණ්ඩායමක් පොහොට්ටුව තුළ ක්‍රියාත්මක වෙයි. දැන් ඔවුහු ප්‍රබල වෙමින් සිටිති. ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධ වේදිකාවේ ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ සිය මතය ප්‍රකාශ කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා විසින් අවසාන  තීරණය  ගන්නා නමුත් ගෝඨාභයවාදීන් ප්‍රබල බලපෑම් කණඩායමක් වනු ඇත. මේවන විටත් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පැහැදිලි ගොනුවීමක් සමාජ ජාල මාධ්‍යයේ පවා දක්න ලැබේ. 

මේ සියල්ල අතරේ නිර්මාණය වූ පොහොට්ටුව ශ්‍රී.ල.නි.ප. නව ඇයි හොඳයිය අපට මතක කළ නොහැක. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට සහභාගී නොවේ යැයි තවම පවසා නැත. එමෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කර ඇත්තේ මෛත්‍රී ජනපති ඊළඟ ජනාධිපතිවරණයට තරග කරන බවයි. එය ඔවුන් කලක පටන් පැවසූ නමුත් නව හිතවත්කම ඇතිවීමෙන් පසුවත් තවදුරටත් එම මතයේ එලබ සිටීම දේශපාලන උබතෝකෝටිකයක් නිර්මාණය කර තිබේ. තවත් දේශපාලනික කාරණාවක් මතු කළ යුතුය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම සටනින් ඉවත්වන්නේ නම් ඔහු හිස් අතින් නොයන බවයි. ඔහුව ඉවත්කර තැබීමට නම් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ දේශපාලන අනාගතය සම්බන්ධව ගිවිසුමකට එළඹීම අවැසිවනු ඇත. එය මෙරට දේශපාලන භාවිතයයි.

තමන් ජනාධිපතිවරණයකට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය මේ සියල්ල අතරේ අභියෝගාත්මකව පවසයි. එහෙත් ඔවුන්ට ද මේ දක්වා නිල පිළිගැනීමක් සහිත අපේක්ෂයෙක් නැත.  මේ මොහොතේ පවත්වන ජනාධිපතිවරණයක් තමන්ට වාසිවනු ඇති බව එ.ජා.ප.ය විශ්වාස  කරයි . ඊට හේතුව සුළු ජාතික ඡන්ද පදනමයි.  එය කෙසේ වෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන සංවාදය තුළදී එජාපය තුළ ද ඒකමතික බවක් නැත. සජිත් ප්‍රේමදාස මහතා වටා පිරිසක් ගොනුවී සිටින නමුත් එජාප අධිකාරි බලය දරන සුපිරි පංතිය ඊට අනුකූල තාවක් නොදක්වයි.  එහෙත් ජනාධිපතිවරණය අරමුණ කරගනිමින් සජිත් ප්‍රේමදාස මහතා මූලික කොටගෙන  ද විවිධ ප්‍රචාරක වැඩසටහන් මේවන විට සිදුවෙමින් පවතී.

 මේ සමඟ පසුගිය දේශපාලන අර්බුදය සමයේ සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශ සැකෙවින් සලකාබැලීම වටී. විටක ඔහු කීවේ පක්ෂය විසින් පවරන ඕනෑම වගකීමක් භාරගැනීමට තමන් සූදානම් බවයි. ඕනෑම අභියෝගකට ද සූදානම් බවත් තවත් වරකදී ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණි. ඔහු විසින් කරන ලද මෙවන් අදහසක් ගෙනදෙන ප්‍රකාශ බොහොමයක් පසුගිය සමයේ මාධ්‍ය වාර්තා අතර විය. මේ සියල්ලෙන්ම ඔහුගේ අපේක්ෂා අවධාරණය වෙයි. තවද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුව කණ්ඩායමේ  දිලීප් වෙදආරච්චි වැනි අය ප්‍රසිද්ධ වේදිකාවේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස යැයි කියා තිබේ. එජාපයේ බිම් මට්ටමේ පිබිදීමක් ද මේ සමඟ දක්නට ඇත.

මේ අතර රාජිත සේනානාරත්න සහ පාඨලී චම්පික රණවක යන දෙපල පිළිබඳ අමතක කළ නොහැක. ඔවුන්ගේ පසුගිය දේශපාලන භාවිතය දෙස බලන විට ජනාධිපති අපේක්ෂක සිහිනය ඔවුන් තුළ තවමත් ශේෂව තිබිය හැකිය. යම් හෙයකින් දේශපාලන අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය  වුවහොත් එහි වාසිය ඔවුන් සතුවීමට ඉඩ තිබේ.

එජාපයේ තවත් සාම්ප්‍රදායික ප්‍රබලයන් සතුව ජනපති සිහිනය තිබේ. විටින් විට ඒ බව ජනතාවට දැනී ඇත. එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වන බවයි. එය ද අපට අමතක කළ නොහැක්කකි. සැබැවින්ම පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂ මෙන්ම එජාපයේ රනිල් වික්‍රමසිංහ සාධකය ද මෙම කතාවේ තීරක බලය දරන්නෝ වෙති. ඉදිරි ජනාධිපතිවරණයේ දී තම දේශපාලන ජීවිතයේ වාසනා නැවත උරගා බැලීමට රනිල් වික්‍රමසිංහ මහතාට ද අවස්ථාවක් ලැබෙන  බව අප අමතක නොකළ යුත්තකි.

දැන් තෙවැන්නකු පිළිබඳ සංවාදයට අපි අවධානය යොමුකරමු. ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් ද ජනාධිපතිවරණ අපේක්ෂකයකු පිළිබද සැලකිය යුතු කතාබක් නැත. ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක විසින් පොදු අපේක්ෂකයකු තෝරා නොගතහොත් ජවිපයේ සහය නියමයෙන් හෝ අනියමින් කාට ලැබේ ද? එය ගැටලුවකි. කෙසේ නමුත් ජවිපය ද 1988 සහ 1999 යන වර්ෂවල පැවති ජනාධිපතිවරණවලදී අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති බව ද අමතක නොකළ යුතුය.   
රොහාන් පල්ලේවත්ත යනු ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස මේ වන විටත් සැලකිය යුතු ප්‍රචාරණයක නියුතුව සිටින පුද්ගලයෙකි. ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඥාතියෙක් වෙයි. මේ දක්වා ඔහු යම්  ජනප්‍රියත්වයක් ලබා සිටියි. කුමන හෝ දේශපාලන පුපුරා යාමක් සිදුවහොත් ඔහුගේ ඡන්ද ප්‍රමාණය ඉහළ දමාගැනීමට ඔහුටද හැකිවනු ඇත. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ද ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව තහවුරු කර තිබේ. ඔහුගේ දේශපාලන භාවිතයට ජනතා විමුක්ති පෙරමුණේ යම් සහයක් ලැබේ යැයි දේශපාලන මත පළවෙමින් තිබේ. කෙසේ වුවද මේ කිසිවක් තහවුරු වී නැත. මෙම අපේක්ෂක ලැයිස්තුවට ද නේෂන් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාලින්ද සෙනෙවිරත්න මහතාගේ නම ද ඈඳී ඇති බව අන්තර්ජාලය ඇසුරෙහි අපට තහවුරු විය.

මේ සියලු කතාබහ ලක් ඉතිහාසයේ 8 වැනි ජනාධිපතිවරණය වෙනුවෙනි. නව ව්‍යවස්ථා කතාව සාර්ථක වුවහොත් ජනාධිපතිවරණක් පැවැත්වේ ද? එය අවසානයේ මතුවන තවත්  එක් පැනයකි. මේ අප හෙළි කළේ දැනට පවතින දේශපාලන තතුය. අවසානයේ අනාගතවාදි පුරෝකතන දීමට අප අදහස් නොකරමු. මන්ද සිතු දේ නොමවී නොසිතු දේම වන අමුතු න්‍යායක් ලක් දේශපාලන ඉතිහාසයේ වේ.

 චමිඳු නිසල්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00