2019 ජනවාරි 26 වන සෙනසුරාදා

ඇඟට දැනෙන පොලිය වැඩිම රට ලංකාව

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 286

ශ්‍රී ලංකාව ලොව මූර්ත පොලී අනුපාතය ඉහළම රට බව ජාත්‍යන්තර සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ජාත්‍යන්තර බ්ලූම්බර්ග් පුවත් වෙබ් අඩවිය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබූ නවතම වාර්තාව අනුව නිවේදනය කර ඇත්තේ ලොව මූර්ත පොලී අනුපාතය වැඩිම රටවල් අතර මුල්තැන ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවට බවය. මෙම සමීක්ෂණයේදී ලොව පෙර - අපරදිග රටවල් බොහෝමයක පවතින පොලී අනුපාත පිළිබඳ සොයාබලා ඇත. එම කණ්ඩායම මගින් විවිධ නිර්නායක පදනම් කරගෙන එම රාජ්‍යවල අනුමත කර ඇති පොලී අනුපාත පිළිබඳ සමීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී ආණ්ඩු නියම කරන පොලිය සහ ජනතාව අතර භාවිත වන ප්‍රායෝගික පොලී අනුපාත කෙරෙහිද අවධානය යොමුකර තිබේ.

එම රටවල පවතින උද්ධමන අනුපාතිකය සහ ජීවන වියදම නියම කළ පොලී අනුපාතය කෙරෙහි කුමන බලපෑමක් එල්ල කරන්නේද යන්න පිළිබඳ සොයාබලා තිබේ. ඒ අනුව ගණනය කිරීම් සිදුකර ස්වකීය නිරීක්ෂණ ප්‍රකාශයට පත්කර ඇත.

මේ බ්ලුම්බර්ග් පුවත් වෙබ් අඩවිය අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මූර්ත පොලී අනුපාතය සියයට 6.2ක් තරමේ ඉහළ අගයක පවතින බවයි. මෙහිදී ඉහළම මූර්ත පොලිය පවතින රටවල් පහක් පිළිබඳ නිවේදනය කර ඇත. එම රටවල් සහ ඒවායේ මූර්ත පොලී අනුපාත ප්‍රතිශතය මෙසේය.

ශ්‍රී ලංකාව     -    6.2
ඊජිප්තුව     -    4.8
පාකිස්ථානය     -    4.3
ඉන්දියාව     -    4.3
තුර්කිය     -    3.7
 

මේ අනුව දෙවැනි ස්ථානය ගන්නා රටට වඩා අපේ රටේ පොලී අනුපාතය සියයට 1.4කින් වැඩිවීම පිළිබඳව ද විශේෂයෙන් සලකා බැලිය යුතුවේ.

මූල්‍ය පොලී අනුපාතය යනු කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි කරන ආර්ථික විද්‍යා මහාචාර්ය සිරිමල් අබේරත්න මෙසේ පවසයි.

“සාමාන්‍ය පොලී අනුපාතයෙන් උද්ධමන අනුපාතය අඩුකළ විට ලැබෙන්නේ මූර්ත පොලියයි. මෙහිදී සිදුවන්නේ පොලිය සහ උද්ධමන අනුපාතය ගැලපීමක්. මෙයින් ලැබෙන පොලිය තමා සත්‍ය පොලිය වන්නේ. රටක උද්ධමනය කියන්නේ භාණ්ඩ හා සේවා මිල වැඩිවීමේ ප්‍රවණතාවයි. උද්ධමනය වැඩිවීම ජනතාවට හිතකර නැහැ. ඒ මත ජීවන වියදම වැඩිවෙනවා. ජනතාවට ලැබෙන සල්ලි ඉක්මනින් වාෂ්පවීම උද්ධමනය වැඩිවීමේ ප්‍රතිඵලයක්. ඒ නිසා පොලී අනුපාත ගැන සැලකිලිමත් විය යුතුයි.

රටේ පොලී අනුපාතය තීරණය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විවිධ හේතු පදනම් කරගෙන පොලී අනුපාතය තීරණය කරනවා. ඒ පොලී අනුපාතය මත රටේ වාණිජ බැංකු ස්වකීය පොලී අනුපාත තීරණය කරනවා. ණය දෙන පොලිය සහ මුදල් තැන්පතුවලට ගෙවන පොලිය මේ මත තීරණය වෙනවා. ණය ගැනීම් වැඩිවන විට පොලී අනුපාතය  ඒ අනුව වැඩිවෙනවා. ණය පොලිය අසාමාන්‍ය ලෙස ඉහළ දැම්මොත් ණය ගැනීම අඩුවෙනවා.

රටක උද්ධමනය සියයට 10ක් වුවහොත් මුදල්වල වටිනාකම සියයට 10කින් අඩුවෙනවා. මුදලේ ඇති මිලදීගැනීමේ ශක්තිය හෙවත් "ක්‍රය ශක්තිය" පහළ බහිනවා. එවිට ජනතාවට වැඩි මුදලක් වැය කරලා අඩු භාණ්ඩ ප්‍රමාණයක් තමා මිලට ගන්න ලැබෙන්නේ. ජීවන වියදම වැඩිය කියලා කෑ ගහන්නේ එවිටයි. ජනතාවගේ ආදායමට මිලදී ගැනීමට හැකිවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුවෙනවා. එවිට ජීවත්වීමේ ගැටලු ඇතිවෙනවා.

මූර්ත පොලිය යනු සත්‍ය පොලියයි. මෙය ලැබෙන්නේ නියම කරන සහ උද්ධමන අනුපාතය ගැලපීම මතයි. ඒ පොලියට තමා ජනතාවට මුහුණ දෙන්න වෙන්නේ. උද්ධමනය ඉහළ යනවිට මූර්ත පොලිය අඩුවූවත් එයින් ජනතාවට සහනයක් නොලැබෙන්නේ ඔවුන්ට ඉහළ උද්ධමනයෙන් බැටකන්න සිදුවන නිසයි.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආරම්භක උපකුලපති හා ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ඇඹුල්දෙණිය

“මූර්ත පොලිය කියන්නේ ඇත්ත පොලියයි. සත්‍ය පොලියයි. (Real interest) ජනතාවට දැනෙන පොලිය මෙයයි. රජය කුමන පොලී අනුපාතයක් තීරණය කළත් ජනතාවට දැනෙන පොලිය මෙයයි. බ්ලුම්බර්ග් සමීක්ෂණය අනුව අපේ මූර්ත පොලිය වැඩිවීමට හේතුව අපේ රටේ අයහපත් මූල්‍ය කළමනාකරණය කිවහොත් නිවැරදියි. ශ්‍රී ලංකා මහබැංකුවට වුණත් ඇතැම් අවස්ථාවලදී දේශපාලනයට නතුවෙලා තීරණ ගන්න සිද්ධවෙනවා. එයට ඕනෑතරම් උදාහරණ පසුගිය කාලයෙන් දියහැකියි. පොලිය නිර්ණය කිරීමේදී වුණත් ස්වාධීනව තීරණගන්න බැරිවෙලා තියෙනවා. මේ තීරණ නිසා උද්ධමනය වැඩිවීම, ජීවන වියදම වැඩිවීම, මුදල් ප්‍රසාරණය අධිකවීම වගේ අයහපත් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.

රටේ ණය ප්‍රමාණය වැඩිවීමේ ප්‍රතිඵලය වන්නේ මූර්ත පොලිය ඉහළ යාමයි. රටටත් ජනතාවටත් මෙය බලපානවා. මහබැංකුව තමා රටේ පොලී අනුපාතය තීරණය කරන්නේ. මහ බැංකුව රටේ වාණිජ බැංකුවලට ණය දෙනවිට ගෙවිය යුතු පොලිය තීරණය කරනවා. එහෙත් මේ පොලිය බැංකුවලට පමණක් නොවෙයි රටේ සමස්ත ආර්ථිකයටම බලපාන බව කිව යුතුයි. රජයට ඇති ප්‍රධානම ආයුධ දෙක තමා මුදල් සැපයුම හා පොලිය. මේ දෙකම තුලනාත්මකව පාලනය කළයුතු වෙනවා.

මහබැංකුව වාණිජ බැංකුවලට දෙන ණය පොලී වැඩි වනවිට ඒවාට සිද්ධ වෙන්නේ තමන් දෙන ණයවලට ද පොලිය වැඩිකිරීමටයි.

අපේ රටේ වාණිජ බැංකුවල ප්‍රධානතම ආයෝජනය වන්නේ මුදල් ණයට දීමයි. එය හැර රටේ ආර්ථිකයට යහපත්වන වෙනත් ආයෝජනවලට වාණිජ බැංකු යොමුවීම අඩුයි. බැංකු බොහෝවිට ණය දෙන්නේ නිවාස වැනි ගොඩනැගිලි ඉදිකිරීමට සහ ඉඩම් මිලට ගැනීමට ආදියටයි. මේ ණය දීමේදී බැංකුවලට අයකර ගැනීමේ අවදානම ඉතාම අඩුයි. එයට හේතුව එම ණය දෙන දේපල, ගොඩනැගිලි සුරැකුම් ලෙස තබාගත හැකිවීමයි. වෙනත් ආයෝජනවලින් අවදානම් ඇති වුණත් ඉඩම් සහ ගොඩනැගිලි ණයදීමෙන් අවදානම අඩු නිසා ඔවුන් ඒ සඳහා වැඩියෙන් යොමුවෙනවා. මේ සංවර්ධන කටයුතු නිසා රටේ ආර්ථිකයට ඍජුව ලැබෙන ප්‍රතිලාභ අඩුයි.

එසේම ව්‍යාපාරිකයන්ට වැඩිපුර ණය දෙනවිට නිෂ්පාදන ධාරිතාව වැඩිවෙනවා. ණය දීම හොඳයි. එහෙත් නිෂ්පාදනය වැඩි වනවිට පාරිභෝගික ඉල්ලුම ඉහළ නොගියොත් මිල පහළ යනවා. එවිට පාරිභෝගිකයාට සහනයක් ලැබුණත් ව්‍යාපාරිකයාට ගැටලුවක් වෙනවා. එවිට මිල වැඩි කරන්න වෙනවා. ඒ නිසා එම දෙපැත්තද සමතුලිය විය යුතුයි.

අනික් අතට බැංකු පාරිභෝගිකයාගෙන් මුදල් ලබාගැනීම සඳහා තැන්පතුවලට වැඩි පොලියක් දෙනවා. එලෙස වැඩි පොලියක් දුන් විට ජනතාව තම මුදල් වෙනත් නිෂ්පාදන ආයෝජනවලට නොයොදවා බැංකුවල තැන්පත් කර කිසිදු වෙහෙස මහන්සියක් නැතුව ආදායම ලබාගැනීමට පෙළඹෙනවා. එයද ආර්ථිකයට හිතකර නැහැ.

වාහනවලට ණය දුන් විට රටට වාහන පැමිණීම වැඩි වෙනවා. එය අද වනවිට අපේ රටට දරාගන්න බැරි තත්ත්වයට පත්වෙලා. වාහනවලට ඉන්ධන ආනයනයට අමතර කොටස් ආනයනයට විශාල මුදලක් යනවා. ඒ නිසා වාහන වැඩිවීම නිසා රට සංවර්ධනය වෙලා යැයි පටු ලෙස කියාපෑම වැරදියි. අද ආනයනකරුවන් අතිරික්ත වාහන තොග ගෙන්වලා බිලියන 2කට අධික වටිනාකමකින් යුතු තොග ගබඩා කර තබාගෙන ඉන්නවා. ණය පොලිය වැඩිවීම නිසා පාරිභෝගිකයන් වාහන මිලට ගැනීම අඩුවෙලා. පසුගිය සති දෙක තුළ තම ආයතනයෙන් කිසිදු වාහනයක් අලෙවි නොකළ බව එක් ව්‍යාපාරිකයෙක් මා සමඟ පැවසුවා. මෙලෙස පිටරටට විදේශ විනිමය ගෙවා වාහන ගෙන්වා ගෙන ගබඩාකර තබා ගැනීමද ජාතික අපරාධයක්. 
මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ රටේ පොලී අනුපාත තීරණය කිරීමේදී පවතින දුර්වලතායි. රටේ ආර්ථික හැසිරීම පොලී අනුපාත මත තමා බොහෝවිට සිදුවන්නේ. එය රටේ ජීවන වියදමට බලපානවා. ජනතාවගේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවට බලපානවා. සුබසාධන වියදම්වලට අහිතකරව බලපානවා.

රජය භාණ්ඩාගාර බැඳුම්කරවලින් ණය ගන්නවා. පසුගිය සතියේ රජය බැඳුම්කර මගින් විශාල මුදලක් ලබාගත්තා එදිනෙදා වැය පියවා ගැනීමට. රජය පැවසුවේ බලාපොරොත්තු වූ මුදල් නොලැබීම නිසා රටේ වැටුප් ගෙවීම ආදී විවිධ පුනරාවර්ථන වියදම්වලට මේ මුදල ලබාගත් බවයි. එය මුල් කාර්තුව තුළ ගෙවා දමන බව නිවේදනය කළත් එසේ සිදුකළ හැකිදැයි ස්ථීරවම කියන්න බැහැ. රුපියල විශාල ලෙස බාල්දු වීම රටට අහිතකර ලෙස බලපානවා. පොරොන්දු වූ පරිදි මෙම ණය මුදල නොගෙවුවහොත් රටේ උද්ධමනය ඉහළයාම මේ තත්ත්වයේ අහිතකර ප්‍රතිඵල වෙනවා. එවිට මහ බැංකුවට යළිත් පොලී අනුපාත තීරණය කළ යුතු වෙනවා ඇති.

මෙහිදී පෙන්වා දිය යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉතාම වගකීමකින් යුතුව ස්වකීය පොලී අනුපාතය තීරණය කළ යුතු බවයි. මෙය විධිමත් ලෙස තුලනය කළ යුතුයි. වැඩිවීමත් - අඩුවීමත් විවිධ අයුරෙන් හානිකර වෙනවා. උද්ධමනය පාලනය කළ යුතු බවට තර්කයක් නැහැ. මහ බැංකුව කුමන පොලී අනුපාතයක් තීරණය කළත් උද්ධමනයට බර තැබීමේදී එම අනුපාතය වෙනස් විය හැකියි. ඒ නිසා මෙය දෙපස කැපෙන ආයුධයක් බව වටහා ගත යුතුයි. වැඩි පොලී අනුපාතයක් හෝ අඩු පොලී අනුපාතයක් තීරණය කිරීමේදී දෙවරක් සිතා බැලිය යුතු වෙනවා. කෙසේ වුවද දැනට ලොව රටවල් හා සසඳන විට අපේ මූර්ත පොලී අනුපාතය ඉහළම මට්ටමේ තිබීම රටට හිතකර නොවන නිසා මෙම තත්ත්වය පාලනය කිරීමට මහ බැංකුව මැදිහත් විය යුතු බව පෙන්වා දෙනවා. විශේෂයෙන් මෙහිදී ජාතික ආර්ථික සැලැස්මක අවශ්‍යතාව පෙනෙනවා.

 යසවර්ධන රුද්රිගු