2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ලාබෙට ලෑල්ලේ විකුණන මරණය

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 186

"ලාබ බඩුවේ හිලක් ඇතැයි" ප්‍රසිද්ධ කතාවක් ඇත. ඒ කියන්නේ මිලදී ගන්නා භාණ්ඩයේ මිල අඩු වුණත් එහි මොකක් හෝ අඩුපාඩුවක් ඇති බවය. ලියුම්කරැ කියන්නට යන කතාව පිටුපස්සේ ද ඇත්තේ මෙකී කතාවක්මය. මේ කතාව පෞද්ගලික කතාවක් වුවත් පොදුවේ හැමදෙනාටම විඳින්න වෙන ඉරණමක් ගැන කතාවකි.

පසුගිය මාසයේ එක්තරා දිනෙක මා දන්නා හඳුනන විදුලි කාර්මිකයකු ආරෝග්‍යශාලාවක් ඉදිරිපිට හමුවුණේ හදිසි ප්‍රතිකාර ගැනීමක් සඳහා පැමිණි අවස්ථාවේදීය. ඔහුව දෙදෙනකු වාරුකරමින් වාහනයක් කරා රුගෙන ගොස් එහි දමාගෙන රැගෙන යන අයුරු දැක ගැනීමට හැකිවිය. දරුණු රෝගාබාධයකින් පෙළෙන්නකු මෙන් හැසිරුණු ඔහුගේ මුහුණ මලානික වී තිබිණි. එහෙත් ඒ ගැන තොරතුරක් දැනගැනීමට හැකි වූයේ නැත.

ඊට පසුව ඔහුව නැවත හමුවන්නේ පහුගිය දිනෙකය. ඔහු දුටු සැණින් එදා සිදුවීම මතකයට ආ නිසා ඔහු ප්‍රතිකාර ලබාගැනීම සඳහා ආරෝග්‍යාශාලාව වෙත පැමිණීමේ හේතු කාරණය විමසන්නට ඔහු ඇමතුවෙමි.

"මල්ලි දන්නවනේ මම ඔය මගේ වැඩවලට බඩු ගේන්නේ කොළඹින්  කියලා. මම ඔය බඩු ගන්න ගිය වෙලාවක පාරේ අයිනේ තැනක විකුණන්න තිබ්බා ග්ලව්ස් (අත් ආවරණ) වගයක්. ඒක මේ කරන්ට් වැඩවලට දාන එකක්. මම දැකලා තියෙනවා ඒ ග්ලව්ස් දාලා වෝල්ට් 30000 පවා අල්ලනවා කිසි ප්‍රශ්නයක් නැතිව. මේ ග්ලව්ස් දෙකත් ඒ ග්ලව්ස් දෙක වගේමයි. ඉතිං මම ඇහුවා ඒක ගන්න. රැපියක් 3000 කියලා මට 1500 ක් දෙන්න කිව්වා. නැවෙන් පන්නපුවා කිව්වා. ඉතිං මම ගත්තා. මොකද ග්ලව්ස් තිබ්බේ තුනයි. ඒකෙන් ජෝඩුවක් ගත්තා. ඇත්තටම මාර වාසියිනේ. සාමාන්‍යයෙන් එළියෙන් ගන්නවා නම් 8000 - 10000 ක් වෙනවා. ඇත්තටම නිකන් වගේ.

කෝමහරි මම මේකත් අරගෙන ඇවිත් ගෙවල්වල වැඩ කීපයක් කළා. ඒත් මල්ලි දැක්ක දවසේ උදේ එක ගෙදරක මේන් ස්ව්ච් එක කැඩිලා ඒක හදන්න ගියා. කණුවෙන් එන වයර් එකත් එක්ක මීටර් එක පාත් වෙලා. ඉතිං මේක කෙළින් කරලා හදලා දාන්න තිබ්බේ. මම කෝමහරි වැඩේ කරන්න ගිහින් එතන බොක්ස් එක සුද්ද කළා. ඔය ග්ලව්ස් දෙකත් දාගෙන. එක තැනකින් වයර් එකේ කම්බි එළියට ඇවිත් තිබිලා තියෙන්නේ. එකපාරටම මට කරන්ට් එක වැදුණා හිතා ගන්න බැරි විදිහට. මාව ඇදලා ගත්‍තා වගේ. අත ඇලුණා. හිතා ගන්න බෑ. ටිකක් වෙලා වැදිලා විසික් වුණා. ඒකෙන් බේරුණා. ඊට පස්සේ තමයි ආවේ බෙහෙත් ගන්න. පපුව රිදෙන්න ගත්තා. තවමත් අත හිරි වැටෙනවා" ඔහු සිය අත්දැකීම විස්තර කළේය.

එපමණක් නොව මීට පෙර මිලදීගත් ටෙස්ටරයකින් ද මෙකී ඉරණම ඔහුට අත්ව තිබුණේය. ඒ ඔහුගේ කතාවය. එසේම ලියම්කරැට ද එක් වතාවක් කොටුවෙන් මිලදී ගත් මල්ටි ප්ලග් එකක් නිවසට ගොස් පාවිච්චි කිරීමේදී රත්වී ප්ලාස්ටික් ආවරණය උණු වී ගිය අයුරැ දැක ගැනීමට හැකිවිය.

මේ ආකාරයෙන් අඩුවට කොළඹින් කාර්මික උපකරණ ලබාගත් බොහෝ දෙනකු මෙවැනි ඉරණම්වලට ගොදුරැ වීමට සිදුවූ අවස්ථා අනන්ත අප්‍රමාණ ඇත. එහෙත් ඒ සිදුවීම් කිසිවකුට නොකියා හිතේ තබා ගත් අය මේ අවකාශයේ ඇත. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ පිටකොටුවේ විකුණන තිහේ, පනහේ, හැටේ, සීයේ කෑලි ගැනය.

පිටකොටුවට යන ඕනෑම අයකුට ලෑලි මත විදුලි උපකරණ, කාර්මික උපකරණ දැක ගැනීමට හැක. ඒ උපකරණ තොග පිටින් ලැබෙන අතර ඒවා ප්‍රසිද්ධියේ විකුණන්නේ එළිපිටය. අඩුවට ලබාදෙන නිසා මිනිසුන් ද ලබාගන්නේ ගෝනි ගණන්ය.
කෙසේ වෙතත් විවිධ රටවලින් ගෙන්වන මෙම භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කළයුතු වුවත් අපේ රටේ එවැනි ප්‍රමිති පරීක්ෂාවක් සිදූන්නේ නැත. සිදුවුණත් එය ඉතාම සීමිත ප්‍රමාණයකටය. අනෙක්වා බොහොමයක් අත යටින් එළියට එන නිසා එහි ප්‍රමිතිය බාරව ඇත්තේ තමන් අදහන දෙවි දේවතාවුන්ටය. ඒ නිසා මරණය පෙනි පෙනී මෙකී භාණ්ඩ භාවිතා කිරීමම මරණයට අත් වැනීමකි.

විශේෂයෙන් මෙවැනි පොඩි පොඩි භාණ්ඩ සඳහා ප්‍රසිද්ධව ඇති රටවල් බොහෝය. එකී රටවල මෙවැනි 'ටොයිස්' භාණ්ඩ සකසන්නේ මහා කර්මාන්ත ශාලාවල නොව එදිනෙදා ගෙදර දොරේදී ස්වයං රැකියා ලෙසය. එකී හදන භාණ්ඩ විදෙස් රටවල මහා පරිමාණයෙන් ව්‍යාපාර කරන්නන් විසින් මිලදී ගන්නේ සොච්චම් මුදලකටය. හරියට කිව්වොත් මෙරටදී මිටියක් රුපියල් 100ක් දී මිලදී ගතහොත් එය සැබැවින්ම තොගයට ගන්නා විට එකක වටිනාකම රුපියල් 5ක් වත් වෙන්නේ නැත. ඒ නිසා මේ උපකරණ මෙරටට ගෙන්වන්නේ කන්ටේනර් පිටිනි. නිවසක සකසන ලද භාණ්ඩයකට වුවද ප්‍රමිතියක් තිබිය යුතුය. එහෙත් එම රටවල්වල එවැනි සොයා බැලීමක් සිදුකරන්නට අවස්ථාවක් හිමිවන්නේ නැත. එයට හේතුව ඔවුන් ප්‍රධාන වශයෙන් අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකරන නිසාය. ඒ නිසා ප්‍රමිතිය ගැන දන්නේ අදාළ භාණ්ඩයම පමණි. මේ නිසා කිසිදු ප්‍රමිතියකින් තොර භාණ්ඩ වරායෙන් ඇතැම් විට ඇතුළු වන්නේ එක එක ලොකු කුට්ටි නිසාය. ඒ නිසා ඒ ගැන බලන්න කිසිවකු නැත.

මෙලෙස විදුලි උපකරණ අලෙවි කළාට අපට කමක් නැත. එහෙත් භයානක තත්ත්වය වන්නේ ජීවිත ආරක්ෂාව සඳහා යොදාගන්න උපකරණ ද මේ අඩු මුදලට භාණ්ඩ අතර විකිණෙන එකය. අඬුව, මිටිය සිට ආරක්ෂාව සඳහා පැළඳිය හැකි උපරිම දෙය ද මේ තැන්වල විකිණෙති. එසේම එම භාණ්ඩ දුර පළාත්වලින් පැමිණෙන පිරිස් ලොරි පිටින් ගමට රුගෙන යන්නේ එහි විකිණීම සඳහාය. වැඩි ලාබ ලබා ගැනීම සඳහාය. කෙසේ හෝ අවසානයේ දීප ව්‍යාප්තව ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි වී ඇත.

කෙසේ වෙතත් මෙම භාණ්ඩ මාෆියාව හේතුවෙන් නිවෙස්වල බොහෝ දෙනාගේ ජීවිත ඇත්තේ අවදානමකය. සිතන්න ඔබ මල්ටි ප්ලග් එකක් රැගෙන ගොස් එය රත්වී ගිනි ගත්තා නම් සිදුවිය හැකි දේ. රාත්‍රියක නම් නිවෙස ගිනිගෙන ජීවිත පවා අහිමිවනු ඇත. විශේෂයෙන් පහුගිය කාලයේ නිවෙස් කඩවල් ගිනිගෙන අළු වීමට හේතුවී ඇත්තේ ප්‍රමිතියෙන් තොර විදුලි වයර් සහ ස්විච භාවිතා කිරීම නිසා බව කියති. ඒ නිසා එවන් අවදානමක් සමාජය තුළ ඇත.

එසේම කාර්මිකයකු හෝ මේසන්වරයකු වන්නේ නම් යම් ආකාරයක වැඩක් සිදුකරන විට ඔබ යොදාගන්න ආරක්ෂක උපකරණය කෙරෙහි විස්වාසය තිබීම අත්‍යවශ්‍යය. උපකරණය හොඳනම් අවදානම් වැඩ වුවද කළ හැක. එහෙත් එය ප්‍රමිතියෙන් තොරනම් වන්නේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම පමණි.

කෙසේ වෙතත් මේ තරම් අවදානමක් තිබියදීත් මේ භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ගත් පියවරක් අපට අසන්නට දකින්නට නැත. ලෝකයේ රටවල රාජ්‍ය මැදිහත්වීම මත ප්‍රමිතිය සහිත භාණ්ඩ ලබාදෙන්නේ තම පුරවැසියාගේ ජීවිතයට වටිනාකමක් ලබාදෙමිනි. එහෙත්  පුදුමය නම් අපේ රටේ එවැනි සොයා බැලීමක් නැති වීමයි. ඒ නිසා ඉහත සඳහන් කළ අත්වැරදීම් අනන්ත අප්‍රමාණ සිදුවිය හැක.

ජනතාවගෙන් ඉල්ලීමට ඇත්තේ එක් දෙයකි. අඩුවට තිබූ පමණින් ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීමට ඉක්මන් විය යුතු නැත. ඒ ගැන දෙවරක් සිතිය යුතුය. ඔබ හදිසි වීමෙන් වන්නේ ඔබෙත් ඔබේ වටාපිටාවවේ අයගෙත් ජීවිත අහිමි වීම, අනතුරේ වැටීම පමණි. ඒ නිසා "මේඩ් ඉන් අරහේ මෙහේ කිව් පමණින් එය මිලදී නොගෙන ප්‍රමිතිය පමණක් ඇති භාණ්ඩ මිලදී ගැනීමට උත්සාහ දැරීමෙන් එවැනි අනතුරැ වළක්වා ගත හැකිය.

 අසංක කළුබෝවිල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00