2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ආණ්ඩුකාරවරුන්ට ආ විරෝධය

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

නව ආණ්ඩුකාරවරුන් පත් කළ පසු හටගත් අර්බුද කිහිපයකි. ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට අපි තීරණය කෙළෙමු. පළමුව ආණ්ඩුකාර ධූරයේ ඉතිහාසය හා ස්වාභාවය සැකෙවින් විමසා බලමු. 

කලක් මෙරට පාලකයා වූයේ අග්‍රාණ්ඩුකාරවරයාය. නිදහසෙන් පසු ඒ සියල්ල වෙනස් විය. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය හරහා ආණ්ඩුකාර ධූරය නැවතත් දේශපාලන කරළියට පැමිණියේය. ඒ 1987 දීය. මෙරට පළාත් නවය සඳහා ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය ඇත්තේ විධායක ජනාධිපතිවරයාටය. එහිදී අපක්ෂපාතී ස්වාධීන පුද්ගලයන් පත්කළ යුතු යැයි කියැවේ. එහෙත් ඉතිහාය පුරා සිදුව ඇත්තේ එය නොවේ. ආණ්ඩුකාරවරයා පළාත් සභා තුළ විධායක බලය දරන ජනාධිපතිගේ නියෝජිතයා වන බැවින් නිතර එම ධුරයන් සඳහා පත්වන්නේ ජනපතිට හිතවත් පුද්ගලයන්ය.

මෙලෙස පත්කළ ආණ්ඩුකාරවරු කිහිප දෙනකු හේතුවෙන් පසුගිය සති කිහිපයේ පුවත් නිර්මාණය විය. අප ඒ පිළිබඳව පුළුල්ව විමසා බලමු.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනපතිගෙන් පත්වීම් ලැබුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාය. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි අතර ආණ්ඩුකාර ධූරය වෙනුවෙන්ම සිය මන්ත්‍රී ධුරය අත් හැරියේය. එහෙත් ඔහුගේ පත්වීමත් සමඟම නැගෙනහිර දැවැන්ත විරෝධයක් ඇති විය. මඩකලපුවේ හර්තාල් ව්‍යාපාරක්ද දියත් කෙරුණි.

මේ සඳහා හේතුවූයේ හිස්බුල්ලා මහතාගෙන් මධ්‍යස්ථ අපක්ෂපාතී සේවාවක් නොලැබේ යැයි මුස්ලිම් කොංග්‍රසය මෙන්ම දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කිරීමයි. නැගෙනහිර පළාතේ ඉඩම් බෙදීමේදී හිස්බුල්ලා හේතුවෙන් දෙමළ ජනතාවට අසාධාරණක් වෙන බව පවසමින් දෙමළ ජාතික සන්ධානය පළාතේ පත්‍රිකා බෙදාහැර තිබුණි. කෙසේ වුවද දෙමළ ජනතාව බහුතරව සිටින ප්‍රදේශවල හර්තාලය සාර්ථක වූ නමුදු මුස්ලිම් ජනතාව බහුතරය වෙසෙන ප්‍රදේශවල එය සාර්ථක නොවීය. එහෙත් මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පසුගිය සතියේ දේශයට පවසා තිබුණේ හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරයට පත්වනතෙක් ක්‍රියාකාරී දේශපාලනයේ නියුතුව සිටි නිසාවෙන් ඔහු තමන්ගේ ඉදිරි දේශපාලන ගමන සාර්ථක කරගැනීමට ආණ්ඩුකාර ධුරය පාවිච්චි කරනු ඇති බවයි. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබලයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. සිද්ධාර්ථන් මහතාද හිස්බුල්ලාගෙන් සංහිඳියාව බලාපොරොත්තු විය නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

නැගෙනහිර කතාව එසේ වන අතර උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා සිදුකළා යැයි කියන ප්‍රකාශයක් හේතුවෙන් අර්බුදයක් නිර්මාණය විය. සුරේන් රාඝවන් යනු දමිළ සමාජය නියෝජනය කරන බුද්ධිමතකු කථිකාචාර්යවරයකු මෙන්ම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ පර්යේෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙක්ද වෙයි. ඔහුගේ දේශපාලන භාවිතයේ සංධිස්ථානයක් ලෙස පසුගිය අර්බුදය සමයේ ජනපති මාධ්‍ය අංශයේ ප්‍රධානියා බවට පත්වීම දැක්විය හැකිය.

“දේශපාලනික වුවමනා එපාකම්වලට උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධාගමීකරණයක් සිදුවෙමින් තිබෙනවා. එසේ කිරීම බුදුදහමට පටහැනියි. ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. එසේ කරන පිරිස් සමඟ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මම මේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපිට හොයාගන්න පුළුවන් වේවි. ”

රාඝවන් මහතා ආණ්ඩුකාර ධූරය පත්වීමෙන් පසු සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතකට මෙසේ ප්‍රකාශ කළ බවට බව මාධ්‍ය වාර්තා පළවිය. මේ සමඟම නව ආණ්ඩුකාරවරු සම්බන්ධ අර්බුදයේ පළමු වෙඩිල්ල පත්තුවිය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද මෙම ප්‍රකාශ උපුටා දක්වමින් රට තුළ සමාජ දේශපාලන කතිකාවක් නිර්මාණය කළේය. මෙයට උතුරේ බුදු පිළිම විරෝධයද එක්විය. ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශයට දකුණේ සිංහල සමාජය තුළින් දැඩි විරෝධයක් එල්ල වූයේ ඒ අනුවය.

එල්ල වූ විරෝධය අතරේ උතුර පළාත් නව ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධව පිළිතුරු දෙනු ලැබීය. ඒ අනුව කියැවුණේ තමන් ඉංග්‍රීසි පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවක් සිංහල සහ දමිළ භාෂාවට පරිවර්තනය කිරීමේදී අදහස් විකෘති වී ඇති බවයි. උතුරු පළාත තුළ බුද්ධාගම ව්‍යාප්තවීම පිළිබඳව කිසිසේත්ම තමන්ගේ විරෝධයක් නොමැති බවත්, ඒ පිළිබඳව ඕනෑම අයෙකුට තමන් පිළිබඳව සාකච්ඡා කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.

කෙසේ මේ වනවිට උතුර පළාත් සභාව විසුරුවා ඇති බැවින් සැලකිය යුතු බලයක් නව ආණ්ඩුකාරවරයා සතුවෙයි. උතුරැ පළාතේ සියලුම රාජ්‍ය නාම පුවරැ අප්‍රේල් මාසය වනවිට සිංහල හා දෙමළ භාෂාවලින් ප්‍රදර්ශනයට පියවර ගතයුතු බව ඔහු පවසා ඇත. එමෙන්ම යාපනය නාග විහාරයේ විහාරාධිපති හිමියන්ද පළාත් සභාවේ හිටපු සභාපතිවරයාද රාගඝවන් මහතා පිළිබඳ ප්‍රසාදයෙන් කතාකර තිබේ. එහෙත් අප අවධාරණය කරගත යුතු වන්නේ මෙරට ආණ්ඩුකාර ධුරය දැරීමේදී අභියෝගාත්මකම පළාත් සභාව උතුරු පළාත් සභාව බවයි. පසුගිය කාලයේ එය මනාව පැහැදිලි විය. පළාත් සභා මැතිවරණ පවත්වා සභාව නැවත පිහිටුවනතුරැ ආණ්ඩුකාරවරයාගේ ස්වභාවය අපට නිශ්චය කරගත නොහැකිය.

ආණ්ඩුකාර අර්බුදයේ දෙවැනි අදියර වාර්තා වන්නේ බස්නාහිර පළාත් සභාවෙනි. බස්නාහිර පළාත් සභාවේ නව ආණ්ඩුකාර ධුරයට පත්වන්නේ අසාද් සාලි මහතාය. අසාද් සාලි යනු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. එමෙන්ම ජාතික සමගි පෙරමුණ නම් පක්ෂයේ නායකයාය. ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයට කොළඹ මහ නගර සභාව සඳහා ශ්‍රීලනිපයේ නගරාධිපති අපේක්ෂකයා ලෙසින් තරග වැදුණේය. එමෙන්ම මුස්ලිම් සමාජය වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිකයකු ලෙසද ඔහු ප්‍රකටය.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ පවත්වාගෙන ගිය දහම් පාසලක් සම්බන්ධ මතු වූ ගැටලුවකට නව ආණ්ඩුකාරවරයා මැදිහත් වීමෙන් ඇති වූ අර්බුදය මෙසේය. ඒ පිළිබඳ වන කතාව විවිධ පාර්ශ්වය එකින් එකට වෙනස් ලෙස අර්ථ ලබාදී ඇත්තේය.
අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික දහම් පාසලක් වසා දැමීමට එහි විදුහල්පතිනිය කටයුතු කර තිබේ. ඒ පාසලේ සම්පත් අවභාවිත වන බවට අධ්‍යාපන අමාත්‍යංශට සිදුකරන ලද පැමිණිල්ලකට අනතුරුවය. එහෙත් පසුගිය ඉරිදා (13) අසාද් සාලි මහතා පෙරවරුවේ ළමයි පිරිසක් සමඟ අනුලා විද්‍යාලයට පැමිණ නැවත එම දහම් පාසල් පැවැත්වීමට කටයුතු කර ඇත. මෙහිදී දුරකතනයෙන් විදුහල්පතිතුමිය ඇමතූ ආණ්ඩුකාරවරයා තමා ජනාධිපතිවරයාගේ නියෝජිතයා බව කියමින් විදුහල්පතිනියට තර්ජනාත්මකව බලපෑම් කර ඇති බව කියැවේ

පසුව මේ සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුකාරවරයා ලෙසින් තමන් කටයුතු කරන පළාතේ කිසිදු සිසු සිසුවියකුට අසාධාරණයක් සිදු නොවීමට වගබලා ගැනීම තම වගකීම බවයි. දහම් පාසල ඉවත් කිරීමට අවසර පතක් තිබේදැයි විදුහල්පතිනියගේ තමන් විමසූ විට එවැන්නක් නැතැයි ඇය පැවසූ බව ඔහු මෙහිදී සඳහන් කර තිබේ. බලෙන් ඇතුළු වූ බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන ආණ්ඩුකාරවරයා බෞද්ධාගම වෙනුවෙන් ඉදිරිපත් වීම වරදක්දැයි ප්‍රශ්න කර ඇත.

කෙසේ වුවත් මෙම සිදුවීම හේතුකොට ගෙන පසුගිය සඳුදා (14) දින  අනුලා විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණි. මව්පියන්ගේ සහභාගීත්වයෙන් පැවැති විරෝධතාව හේතුවෙන් මාර්ග තදබදයක්ද ඇති විය. මෙහිදී එල්ල වූ චෝදනාව වූයේ නව ආණ්ඩුකාරවරයා විදුහල්පතිනියට තර්ජනය කළ බවයි. මෙම සිදුවීමට අදාළව කියවුණු තවත් කරුණක් වූයේ විදුහල්පතිනියටද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ දේශපාලන සබඳතා ඇති හෙයින් මෙම අර්බුදය දුරදිග ගිය බවයි. තවත් පාර්ශ්වයක් මේ සම්බන්ධ ප්‍රශ්න කර තිබුණේ පළාත් සභාව යටතේ පාලනය නොවන පාසලකට ආණ්ඩුකාරවරයා මැදිහත්වීමට හැකියාවක් පවතින්නේද යන්නයි.

නව ආණ්ඩුකාරවරැන් සම්බන්ධව මෙරට ඇතිවූ ප්‍රධනම අර්බුදය දෙක මෙයයි. ඊට අමතරව ඌව පළාත් ආණ්ඩුකාර ලෙස දිවුරුම් දුන් රජිත කීර්ති තෙන්නකෝන් මහතා කැෆේ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයායි. ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස පෙනී සිටි ඔහු ආණ්ඩුකාර ධූරය ලබා ගැනීමද සමාජ මාධ්‍යයේ විවේචනයට ලක් විය. නමුත් එම සිදුවීම ඉහත සිදුවීම් දෙකට සාපේක්ෂව ජනගත වූ ප්‍රමාණය අවමය.

මේ මොහොත වනවිට පළාත් සභා හයක කාලය අවසන් වී තිබේ.  ඒ අනුව එම පළාත් සභාවල බලතල දැන් ආණ්ඩුකාරවරයා සතුය. එමෙන්ම පළාත්සභා මැතිවරණ පිළිබද ජාතික දේශපාලනයේ පවතින්නේ අර්බුදයකි. මැතිවරණ අද එතැයි හෙට එතැයි කීවද එය එන පාටක් නැත. මේ තත්ත්වයට තුළ ආණ්ඩු පෙරළියෙන් පසු නව ආණ්ඩුකාරවරු පළාත් සභා සඳහා පත් කිරීමට ජනාධිපති තීරණය කළේය. ඊට හේතුව දේශපාලනිකව පහදා ගතහොත් එම පළාත්සභා තුළ ජනාධිපතිගේ බලය තහවුරු කර ගැනීමයි. එය කාලීන බල අරගලයේ කොටසකි. කෙසේ හෝ මේ වනවිට ජනාධිපති නව ආණ්ඩුකාරවරුන් අට දෙනෙක් පත්කර තිබේ. අප මෙහි සඳහන් නොකළද තවත් පළාත් ආණ්ඩුකාරවරුන්ට ප්‍රකට නොවූ විරෝධයක් එල්ල වී තිබේ. ඇතැම් විට ඒවා හෙට අනිද්දාට ජනගත වනු ඇත.

අවසානයේ  සමස්ත කතාව සැකසීමේ දී මෙහි කවුරැන් හරිද කවුරුන් වැරුදිද කියා තීරණය කිරීමට අms උත්සුක නොවෙමු. එදා මෙදාතුර බොහෝ ආණ්ඩුකාරවරැන්ට තම කාර්යභාරය පිළිබඳ නිශ්චිත අවබෝධයක් තිබිණිදැයි අපට පැනයකි. ආණ්ඩුකාර ධූරය දේශපාලනීකරණය වීම පළාත් සභා ක්‍රමය අසාර්ථක වීමට හේතු වූ බවටද මත පළවී තිබේ. ඉතිහාසයේ පළාත් සභා ක්‍රමය බිහිවීමත් වර්තමානයේ එහි ක්‍රියාකාරීත්වය පසුපස ඇත්තේ බල දේශපාලන අරමුණු මිසක ජනතාවාදී න්‍යායපත්‍ර නොවන බව ඉතා පැහැදිලිය.

 චමිඳු නිසල් ද සිල්වා