2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ලෙස්ටර් නැති ලෙස්ටර් මාවතට සමු දුන් සුමිත්‍රා

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 237

නමුත් අද වනවිට එය බෝඩ් ලෑල්ලකට පමණක්ම සීමා වී ඇත. 2018 අප්‍රේල් මස විසි අට වැනි දින ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අවුරුදු අනූ නවයක් ආයු වළඳා ජීවිත ගමනෙන් සමුගෙන යද්දී මේ නිවහනේ ඔහුගේ දයාබර බිරිඳ සුමිත්‍රා පීරිස් තනිවිය. අවුරුදු ගණනක මතකයන් හා තම සැමියාගේ ආදරණීය සුවඳත් කැටි කොට මේ නිවහනේ ඇයට ගතකරන්නට ලැබුණේ හරියටම මාස නවයකටත් අඩු කාලයකි.

අද වනවිට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජීවිතයෙන් සමුගනිද්දී සුමිත්‍රා පීරිස් ඩික්මන් පාරෙන් සමුගෙන අවසන්ය. එදා ‘සිංහල සිනමාවේ මහ ගෙදර’ ලෙස බොහෝ දෙනා හැඳින්වූ ‘ජේම්ස් නිවස’ දැන් අයිතිය වෙනස් වී තිබේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් මෙම නිවහන කුලී පදනමට ගෙන ඇත්තේ එක්දාස් නවසිය හැට නවයේදීය. ඒ එංගලන්තයේ පදිංචිව සිටි නිවසේ අයිතිකරුවන්ගෙනි. එය ඉතා විශාල භූමි ප්‍රදේශයක ඉදිවූ පැරණි තාලයේ නිවෙසකි. වරින්වර සුළු අලුත්වැඩියා කිහිපයක්ම සිදු කෙරිණි. සුමිත්‍රා පීරිස් මහත්මියගේ මතකයේ හැටියට මුල් කාලයේදී ඔවුන් මේ නිවහනට ගෙවූ කුලිය වූයේ රුපියල් තුන්සීයක් හෝ හාරසීයකි. වසරක් පාසා හෝ වසර කිහිපයක් පාසා වරින්වර නිවසේ අත්තිකාරම් මුදල් ගෙවමින් ඔවුහු නිවෙසේ රැඳී සිටියෝය. ඒ අනුව වසර පනහක් මේ නිවෙසට ඔවුහු කුලී ගෙවූහ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපට තිහකට අධික ප්‍රමාණයක් නිර්මාණය වූයේ මේ නිවහන තුළදීය. ඒ කටයුතු වෙනුවෙන් ඔහුට ඉදිරිපස වෙනම කාර්යාල කාමරයක් තිබුණේය. ජීවිතයේ අවසාන කාලයේ හැරෙන්නට අනෙක් හැම කාලයේදීම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ වැඩි කාලයක් ගතවූයේ මේ කාර්යාල කාමරයේය. සැබැවින්ම ඔහු ඉතා නිහඬ මිනිසෙකි. නමුත් මේ කුඩා සිරුරකින් යුත් නිහඬ මිනිසා තුළ ජීවත් වූ අපූරු සිනමාවේදියා තුළින් අපූරු නිර්මාණ බිහිවූයේ මේ නිවහනේය. ඒ තරමටම එය වාසනාවන්ත සොඳුරු නිවහනක් විය. නිවහන තවත් සොඳුරු කරන්නට සුමිත්‍රා පීරිස්ගේ අත්වාරුව විශාල සවියක් විය.

ගෙවුණු පනස් වසර පුරාවට මේ සිනමාවේදිනියගේ සිනමා නිර්මාණ දහයක් පමණ අධ්‍යක්ෂණය හා සංස්කරණය විය. මේ අනුව බැලූ කල මේ සිනමාවේදීන් දෙදෙනාගේ අතින් නිර්මාණය වූ ඉතා සාර්ථක නිර්මාණ බොහෝමයක් බිහිවූයේ මේ නිවහන තුළදීය. චිත්‍රපට සංස්කරණය මෙන්ම සංරක්ෂණය ද ඔවුහු සිදු කළහ. ඔවුන්ගේ සිනමාපට හැරුණු විට තවත් නිර්මාණ කිහිපයක්ම ඔවුහු මේ නිවහනේ සංස්කරණය කළහ. මේ නිසාම සැබැවින්ම මෙය ඔවුන්ගේ නිවස පමණක්ම නොව ඔවුන්ගේ කාර්යාලය ද විය. මෙම නිවහන සිංහල සිනමාවේ මහ ගෙදර යැයි නම් ලැබීමේ කිසිදු වරදක් නැත.

ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගෙන් අධ්‍යක්ෂණය පිළිබඳ බොහෝ දෙනකු ගුරුහරුකම් ලැබුවේ ද මේ නිවෙසේ සිටය. අද ඔවුහු ඉතා දක්ෂ අධ්‍යක්ෂකවරු ලෙස නම් දරා සිටිති. එකල මේ නිවහනේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් තමන් උපදෙස් ලබාගත් අයුරු ඒ කිසිවකුට අමතක නොවනු ඇත. ඒ සියල්ලට මේ නිවහනේ හැම අහුමුල්ලක්ම සාක්ෂි දරනු ඇත. ඒ තරමටම ඒ හැමටම මේ නිවස හොඳට හුරුපුරුදුය. සෑම නිර්මාණයකම සාර්ථකත්වයට මේ නිවහන ද කොටස්කරුවෙකි.

මීට වසර කිහිපයකට උඩදී මෙම නිවෙසේ අයිතිකරුවන්ට නිවෙස විකිණීමට අවශ්‍යතාවයක් මතුවිය. ඔවුහු මෙම නිවෙස එක්තරා ආයතනයකට විකුණූහ. අවසානයේදී කුලී පදනම මත වසර පනහකට ආසන්න කාලයක් ජීවත් වූ එම නිවසෙන් සමුගෙන යන්නට සිදුවන බව සුමිත්‍රා දැනගත්තාය.

“අපිට මේ ගෙයින් යන්න සිද්ධ වෙනවා කියලා ලෙස්ටර් දැනගෙන හිටියේ නැහැ. මේ ගෙදර අයිතිකරැවන් මේ ගේ කම්පැණියකට විකුණුවේ අවුරුදු දෙකහමාරකට ඉස්සෙල්ලයි. ඒ කාලෙදි එයාට යම් මතකයක් තිබුණට ඒක එයාට ලොකුවට බලපෑවා කියන්නත් අමාරුයි. සමහරවිට ඒක එයාගේ හිතේ තියෙන්නත් ඇති. හැබැයි ඒක කවදාවත් එයා කිව්වෙවත් පෙන්නුවෙවත් නැහැ. අපි ඉතින් වයසට ගියාට පස්සේ එදිනෙදාටනේ ජීවත් වෙන්නේ. අපිට දැන් ලොකු බලාපොරොත්තු නැහැ” යැයි සුමිත්‍රා පීරිස් මහත්මිය දේශයට පැවසීය.

ලෙස්ටර් සහ සුමිත්‍රා ජීවත් වූ මේ නිවහන රජයට පවරාගෙන සිනමා කෞතුකාගාරයක් සඳහා වෙන් කරලීමට කටයුතු කළ යුතු බව ඇතැම් නිලධාරීන් පැවසුවද ඒ සියල්ල වචනවලට පමණක්ම සීමා වී තිබේ. අද වනවිට සුමිත්‍රා පීරිස් ඒ සියලු මතකයන් සමඟ වෙනත් නිවසකට පදිංචියට ගොස් හමාරය.

ඇගේ අලුත් නවාතැන්පොළ මිරිහාන ප්‍රදේශයේ නිවෙසකි. මේ මස දාහත්වැනිදා යෙදුණු සුභ මොහොතකින් ඇය ඩික්මන් පාර අතහැර මිරිහානට පදිංචියට ගියාය. ඒ ‍වෙනුවෙන් පැරණි නිවස මිලදී ගත් ආයතනය ද ඇයට උදව් කර තිබේ. දෙසැම්බර් මාසයේදී ඇය මසක් තුළදී නව නිවසට පදිංචියට ගොස් ඩික්මන් පාරේ පිහිටි නිවස බාරදීමට පොරොන්දු වී ඇත. ඒ අයුරින් ඇය පර්චස් පනහක ඉදි වී ඇති විශාල පැරණි නිවස එම ආයතනයට බාර දුන්නාය.

“මම උපන්නේ අවිස්සාවේල්ලේ වුණාට අවුරුදු නවයෙදි විතර අපේ අම්මලා විශාකා විද්‍යාලය ළඟින්ම ගෙයක් ගත්තා. ඩොක්ටර් පීරිස්ව කසාද බැඳලා අපි අවුරුදු පහක් කැප්පෙටිපොල මාවතේ පදිංචි වුණා. ඊටපස්සේ තමයි අපි ඔය ඩික්මන් පාරේ ගෙදර පදිංචියට ආවේ. එතැන් ඉඳන් අවුරුදු පනහකට කිට්ටු කාලයක් අපි පදිංචි වුණේ ඔය ගෙදරයි. මගේ ජීවිතේ වැඩි කාලයක් ජීවත් වුණේ මේ නිවසෙයි. අපි ජීවත් වෙන්නේ වෙනස් වෙන ලෝකෙකනේ. ඉතින් ඒ වෙනස් වෙනසත් එක්ක අපිටත් වෙනස් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මොනවා කරන්නද? මට ඒ ගෙදර බාරදෙන්න සිද්ධ වුණා.”

ප්‍රවීණ සිනමාවේදිනි සුමිත්‍රා පීරිස් මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසීය.

තමන් ජීවිතේ වැඩි කලක් ජීවත් වූ ඒ හුරුපුරුදු වටපිටාවෙන් ඈත් වීම දුකකි. ඔවුන්ගේ සිනමා ජීවිතේ බොහෝ මතකයන් ඇත්තේ ඒ හුරුපුරුදු වටපිටාවේය. ආදරණීය සැමියා සමඟ, මහා සිනමාවේදියා සමඟ ගතකළ ඒ සොඳුරු මතකයන් ඇත්තේ ඒ සොඳුරු නිවහන තුළය. අද ඒ සියල්ල පමණක් නිවසේ තනිකර මිරිහාන නිවහනට යන්නට හිත හදාගැනීම එතරම් ලේසිපහසු වන්නේ ද නැත.

“අවුරුදු පනහක් ජීවත් වුණු ගෙය දාලා යන එක ගැන ඇත්තටම හිතට දුකයි. ඒත් ඉතින් දැන් මොනවා කරන්නද? ඩොක්ටර් පීරිස් නැතිවුණාට පස්සේ මගේ හිතේ තිබුණු පාළුව මට නැති වුණේ මේ ගේ ඇතුළේ තිබුණු මතකයන් එක්කයි. මිරිහානේ ගේ ගත්තෙත් මම බලලමයි. ඒත් ඉතින් මේ වගේ හුරු වෙන්නත් ටික කාලයක් ගතවෙනවනේ. ඩික්මන් පාරේ ගෙදර ලොකුයි. පර්චස් පනහක ඉඩමක්නේ. එක අතකින් ඒ වගේ විශාල ගෙයක් මට ලොකු වැඩියි. ඒත් ඒ හුරුකම නිසා දාලා එන්න දුක හිතුණා. දැන් මේ අලුත් ගෙදර ඉඳන් අලුත් නිර්මාණයක් කරන්නත් මගේ හිතේ තියෙනවා. දැන් මට වයස අවුරුදු අසූ පහක්. පුරුදු පරිසරයෙන් ඈත් වීමේ දුක මගේ හිතේ තියෙනවා. ඒත්... කොහොමහරි මේ අලුත් නිවහනටත් මම පුරුදු වේවි....” ඇය කියන්නීය.

අවුරුදු අසූ පහක් ගතවුණි ද ඇගේ හිතේ හයිය තවමත් එදා වාගේමය. ඇයට අලුත් නිර්මාණයක් කිරීමේ අවශ්‍යතාවය තිබේ. මිරිහාන අලුත් නිවහන ඇය ජීවත් වූ පරිසරයට වෙනස්ය. වාණිජමය පරිසරයක ජීවත් වූ කොළඹට වඩා මිරිහාන ප්‍රදේශයේ ඇයව ඇගේ අතීතයට කැන්දාගෙන යන පරිසරයක් වෙයි. ඇයට ඒ පරිසරයට මුහුණ දී ඒ නිවහනේ ද අපූරු නිර්මාණයක් බිහිවෙන්නට අවශ්‍ය පරිසරයක් ගොඩනැගේවායි අපි පතන්නෙමු. ඒ සියල්ලටම වයසට නොයන ඇගේ හිතේ හයියත්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මතකයනුත් ශක්තියක් වන බව නොඅනුමානය.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00