2019 ජනවාරි 19 වන සෙනසුරාදා

රාවණාට ප්ලේන් 24ක්...

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

නැවතත් රාම රාවණා කතාවට අලුත් තටු ලැබී තිබේ. අරාබි නිසොල්ලාසය මෙන් රාමායණයේ සඳහන් රාමා, රාවණා කතාව ද ඉන්දියාව හා ලංකාව තුළ නිතරම කතාබහට ලක්වෙන දේශීය හා ආසියානු කලාපීය මූලයක් සහිත සංස්කෘතික මූලාශ්‍රයකි. වාල්මිකීගේ රාමායණයේ සඳහන් වන රාමා ඉන්දියානුවන්ට වීරයෙක් වන අතර රාවණා ලාංකිකයන්ට වීරයෙකි.

කෙසේ වුවද රාම රාවණා කතාවේ සුවිශේෂීතාවය වන්නේ ලෝකයේ ප්‍රථම වතාවට ඉතා දුර ඈත අතීතයේ ගුවනින් ගමන් කළ හැකි යන්ත්‍රයක් නිපදවීම පිළිබඳ සඳහන් වීමයි. අරාබි නිසොල්ලාසයේ සඳහන් වන ආකාරයට පැදුරකින් ගමන් කළ හැකි ක්‍රමයක්ද ඉංග්‍රීසි ජනප්‍රවාද හා සුරංගනා කතාවල සඳහන් අහසින් යන කතා ද හැරුණු විට අහසින් ගමන් කළ හැකි වර්තමාන ගුවන්යානයකට අනුරූප නිෂ්පාදනයක් ගැන පුළුල් ලෙස සාකච්ඡා වනුයේ රාම රාවණා කතාවේ දඬු මොණරය හා පුෂ්පක යානය වැනි ප්‍රවාදයන්ය.

රාමා, රාවණා ගැන ඉන්දියාවේ සහ ලංකාවේ ඇතුළු පිරිස් මහත් උනන්දුවෙන් ගවේෂණය කරති. තවත් පිරිසක් එය මිත්‍යාවක් යැයි බැහැර කරති. කෙසේ හෝ මෙම කතන්දරයට තවත් එක් මානයක් එක් කරන්නට පුවතක් ඉන්දියාවෙන් පසුගියදා වාර්තා විය. 

පසුගිය 3 වැනිදා සිට 7 වැනිදා දක්වා ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ දිල්ලි නගරයේ පිහිටි Lovely වෘත්තීය විශ්ව විද්‍යාලයේදී පැවැත්වුණු ඉන්දියානු වාර්ෂික විද්‍යා සභාවේ 106 වැනි සැසි වාරයේදී රාවණා රජු විසින් නිපදවන ලදැයි සැළකෙන දඬු මොණරය ඇතුළු තවත් යාත්‍රා සමූහයක් මිත්‍යාවක් නොවන බවත් ඒවා සත්‍ය බවත් ප්‍රකාශයට පත්කර තිබීම විශේෂත්වයකි. මෙම සභාවේ කතා කළ උගතුන් පිරිසක් ප්‍රකාශ කරනු ලැබුවේ රාවණා රජුන්ගේ ගුවන් යානා තාක්ෂණයට අනුව අයිසෙක් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමයත්, ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත්, ගුරැත්ව තරංග පිළිබඳ නියමයත්, මහාචාර්ය ස්ටීවන් හෝකින්ගේ කළු කුහර පිළිබඳ නියමයත් කඩා වැටෙන බවය. තවදුරටත් ඔවුන් ප්‍රකාශ කළේ අද පිළිගන්නා මෙම ගුරැත්ව නියම අහෝසි කර අලුතෙන් හඳුන්වා දෙන මෙම ගුරැත්ව තරංග ඉන්දීය අගමැති &නරේන්ද්‍ර මෝදි තරංග* නමින් නම් කළ යුතු බවය. 

සභාව අමතා කතා කළ කනන් කෂේණන් නැමැති විද්‍යාඥයා මෙම අදහස දැඩිව ප්‍රකාශ කළේය. රාවණා රජුට ගුවන් යානා තොටුපොළවල් 24ක් ලංකාවේ තිබූ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. ඉන්පසු සභාව ඇමතූ අන්ද්‍රා විශ්ව විද්‍යාලීය මහාචාර්ය ජී. නාගේෂ්වර් රාවෝගේ මතය වූයේ මෙයට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ ඉන්දියානුවන් නළ දරුවන් බිහි කිරීමේ තාක්ෂණය දැන සිටි බවය. ඔවුන් මූල සෛල ක්‍රමවේදය මගින් (Stem cells) මඟින් දරුවන් විශාල වශයෙන් බිහි කළ බවත් මේ අනුව එක් මවක විසින් දරුවන් 100ට වඩා බිහි කරන ලද බවත් ඔහු කීවේය. මහා භාරතයේ එන කෞරයන් එබඳු නළ දරැවන් බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පදවිය උසුලනු ලැබූ පසු කාලීනව ලෝකය විසින් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් ලෙස පිළිගනු ලැබූ සර් අයිසැක් නිව්ටන්ට අනුව ඉහළ සිට පහළට කඩා වැටුණු ඇපල් ගෙඩියක් නිසා ගුරුත්වය පිළිබඳ නියමය ඉපදුණි. ඔහු එහිදී අදහස් කළේ පොළවේ ඇති ගුරැත්වය පිළිබඳ බලය නිසා ඇපල් ගෙඩිය පොළවට කඩා වැටුණු බවය.

රාවණා රජුගේ දඬු මොණරය මේ සියල්ලට වඩා වෙනස්ව ක්‍රියාත්මක වූ බව රාවණාවාදීහු ප්‍රකාශ කර සිටිති. මහා රිෂි වාල්මිකී ලියන ලද රාමායණයේ විස්තර වන පරිදි දඬු මොණරය යනු විමාන නැමැති වර්ගයට අයත් ගුවන් යානයකි. එය ක්‍රියා කරනු ලබන්නේ ගුවන් නියමුවාගේ චිත්ත ශක්තිය, ගුප්ත ශක්තිය සහ රසදියවලිනි. මෙහිදී යානයේ ඉන්ධන වන්නේ රසදියයි. යානය හසුරැවනු ලබන්නේ චිත්ත ශක්තිය මගිනි. රසදිය ආධාරයට ගුප්ත ශක්තිය යොදාගනු ලැබ ඇතැයි කියවෙනු ලැබේ.
මේ සඳහා නූතනයේ සිදුකරනු ලැබූ පර්යේෂණයන් ද රාවණාවාදීහු ඉදිරිපත් කරති. ඉන්දියාවේ බැංගලෝරයේ ජයන් විශ්ව විද්‍යාලයේ කේ. ආර්. ශාන්ති නැමති ශිෂ්‍යාව විසින් ඇගේ උපදේශිකාව වන මහාචාර්ය රාජිනි ජයරාම් යටතේ ලියන ලද ආචාර්ය උපාධි නිබන්ධනයේ පර්යේෂණ පත්‍රිකාවක මේ බව සඳහන් වූ බව පැවසේ. අමෙරිකාවේ මිනෙසෝටා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් චිත්ත බලයෙන් පාලනය කළ හැකි කුඩා හෙලිකොප්ටර් මොඩලයක් සාදනු ලැබූ බවත්, මෙය යන්ත්‍රානුසාරයෙන් ගුවන්ගත කළ ද ගමන් කරන දිසාව සහ ගමන් කරන උස චිත්ත බලය මගින් පාලනය කළ හැකි බවත් ප්‍රකාශ විය. ජර්මනියේ මියුනිච් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් ද මේ හා සමාන පර්යේෂණයක් කර ඇත.

ක්‍රි.පූ. හතරවැනි සියවසේදී, එනම් මීට අවුරැදු 2400 පෙර ඉන්දියාවේ විමානිත ශාස්ත්‍ර යනුවෙන් පොතක් ලියා ඇති බවත් එහි අත් පිටපත් 1875දී හමු වී ඇති බවත් තවත් අය ප්‍රකාශ කරයි. එහි සඳහන් වනුයේ විමාන ගුවන් යානයක් හසුරවන හැටි, එය විවිධ දිශාවන්ට හරවා ගමන් කරවන හැටි, දීර්ඝ ගමන්වලදී ගත යුතු ආරක්ෂක පියවර, කුණාටු සහ අකුණුවලින් ගුවන් යානය ආරක්ෂා කර ගන්නා හැටි, සූර්ය  බලය ශක්තිය බවට පරිවර්තනය  කරගන්නා ආකාරය යනාදියයි. මේ අතර ඉන්දියාවේ සමර සූත්‍රධර නැමති ඉපැරණි ග්‍රන්ථයක් හමුවන බවත් එහි ඇත්තේ විමාන ගුවන් යානයක් ඉදිකරන ආකාරයත්, ගුවන්ගත කිරීම, බිමට බෑම, කුරැල්ලන් යානය හා ගැටීම වළක්වා ගැනීම වැනි කරැණුය. විමාන යානයක් ක්‍රියා කර ඇත්තේ ප්‍රති ගුරුත්ව හෙවත් ගුරැත්වය මඩිනා බලවේගවලින් බව කියනු ලැබේ.

ජනප්‍රවාදවලට අනුව රාවණා රජු සතුව ලංකාවේ ගුවන්තොටුපොළවල් 6ක් තිබී ඇත. ඒවා මහියංගණය, උස්සන්ගොඩ, කුරැණෑගල, වාරියපොළ, මාතලේ වාරියපොළ, මහියංගණයේ ගුරැල්පොත යන තැන්වල පිහිටා තිබූ බව ජනප්‍රවාද අනුව විශ්වාස කෙරේ. ඊට අමතරව රාම රාවණා කළු පුවත හා සබැඳි සිදුවීම් සීතා එළිය, සීතා දේවාලය, ගිනිගත්හේන, රාවණා ඇල්ල, ලකේගල, වාරියපොළ, දොලුකන්ද, රූමස්සල ආදී ලංකාවේ විවිධ ස්ථානවලින් හෙළිවන බව රාම රාවණා කළුව පිළිබඳ උනන්දුවක් දක්වන පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

කෙසේ වුවද අභ්‍යාවකාශයට හා සඳට පවා ගමන් කළ ඉන්දියාව එක් පසකින් විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවේ හිණිපෙත්තේ සිටින අතර අනෙක් පසින් ශිෂ්ටාචාරගත සංස්කෘතික උරුමයන් කෙරේ ද ඉතා දැඩි විශ්වාසයකින් පසු වනු පෙනේ. විශේෂයෙන් දැනට පවතින බී. ජේ. පී.ය ප්‍රමුඛ නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ ජාතිකවාදී නැඹුරුව ද මෙම පුවත් සඳහා විශේෂ වැදගත්කමක් ලබා දෙන බව විචාරකයන්ගේ මතයයි.

රාවණා රජු හා සම්බන්ධ මෙම කාරණා අවඥාවෙන් බැහැර කරන ඉන්දියානුවන් ද සිටින බව වාර්තා වේ. ඔවුන් කියන්නේ මේවා අවිද්‍යාත්මක හා අතාර්කික කාරණා බවය. ඉහළ විද්වතුන්ගේ ප්‍රකාශවලට විරෝධය දක්වමින් දිල්ලිය පුරා විරෝධතා පැවැත්වූ බව වාර්තා වේ. ඔවුන් එයින් ප්‍රකාශ කර තිබෙන්නේ ඉන්දියාව නව විද්‍යාවේ ප්‍රගතිය හා උන්නතිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්, ඉන්දියානුවන් හාස්‍යයට ලක්කළ යුතු නොවන බවත්ය.

බීබීසී වාර්තා අනුව පැවසෙන්නේ ඉන්දියානු විද්‍යා කොංග්‍රසයේ වාර්තාවට ඉන්දියාවේ හින්දු මිත්‍යා ඇදහිලි බොහෝ ලෙස මුසු වී ඇති බවයි. ඇතැම් කරැණු බොහෝ හාස්‍යජනක බව බීබීසී පුවත් සේවය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ඒවායින් කිසිම ලෙසකින් විද්‍යාව නියෝජනය නොවන කබව බීබීසී සේවය ප්‍රකාශ කරයි.

කෙසේ වුවද ඉන්දීය විද්‍යා කොංග්‍රසය ඉහත මතවාද සම්බන්ධයෙන් දැඩි සංවේගයක් පළකර තිබේ.

ඉන්දියාවේ විසූ ප්‍රකට විද්‍යාඥයකු වූද අයින්ස්ටයින්ගේ සමකාලීනයකු වූද භවේන්ද්‍රනාත් බෝසන් නැමති ඉන්දීය විද්‍යාඥයාට ගෞරවයක් වශයෙන් හිග්ස් බෝසන් (Higgs Boson Particle) ඒ නම ලැබී තිබේ. එමෙන්ම ලෝකයේ වඩාත්ම වටිනා විද්වත් සම්මානය වන මූලධර්ම භෞතික විද්‍යා ත්‍යාගය (Fundamental Physics Prize) දිනාගන්නට ඉන්දීය භෞතික විද්‍යාඥ අශෝක් රසන් සමත් වූ බව වාර්තා වේ. ඒ අනුව ඉන්දියාව එක් පසකින් විද්‍යාවේ හිණි පෙත්තටම ගමන් කර තිබේ.

ඉන්දියාවේ බී. ජේ. පී. බලය ගත් දා සිට නරේන්ද්‍ර මෝදිගෙන් සිටි අමාත්‍යවරු දක්වා බොහෝමයක් දේශපාලකයන් ජාතිකවාදී නැඹුරුව මිත්‍යාවට මුසු කරමින් දේශපාලනය කරන බවට චෝදනා එල්ල වෙමින් පවතී. ඒ කතා අතර මෝදිගේ ගණ දෙවියන්ගේ උප්පත්ති කතාව, බ්‍රහ්ම දෙවි විසින් ඩයිනෝසරයන් හඳුනාගනු ලැබූ බව, ලෝකයේ ලොකුම විද්‍යාව ජ්‍යෙතිෂය බව, අවුරුදු 100,000ට පෙර ඉන්දියාවේ න්‍යෂ්ටික පර්යේෂණ සිදු වී ඇති බව, ප්‍රථම වරට ගුවන් යානයක් ඉන්දියානුවෙක් විසින් සොයාගනු ලැබූ බව, ලෝකයේ ශුද්ධ ඔක්සිජන් වාතය ආශ්වාස හා ප්‍රාශ්වාස කරන්නේ ශුද්ධ ගව දෙන බව වැනි කතා ප්‍රචලිත වේ.

තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විද්වතුන් ප්‍රකාශ කරන්නේ විද්‍යාව හා මිත්‍යාව මුසු කිරීමෙන් ලැබෙන දෙයක් නොමැති බවත් හැකි තරම් ජනතාව වර්තමානය හා තැබීම වැදගත් බවය.

කෙසේ වුවද විද්‍යාව හා මිත්‍යාවට ඇතැම් තැන්හි සමපාත වන අයුරු ද තව තැනක විසංවාදී වන අයුරැද දක්නට ලැබේ. මේ රාම රාවණා කතාව ද එලෙසය. විශේෂයෙන් විද්වතුන්, ශාස්ත්‍ර, ගවේෂණය හා මාධ්‍ය ද අතිරේක වශයෙන් දේශපාලකයන් ද රාම රාවණා කතාවට තටු ලබා දෙනු පෙනේ. ඒ අතර රාම රාවණා කතාව සිය  ජීවිතයේ නහර වැල්වලට කාවද්දාගත් විශාල ජනතාවක් ඉන්දියානු හා ලාංකීය සමාජයේද සිටින බව අපට අමතක කළ නොහැක. රාම රාවණා කතාව විද්‍යාව හා සත්‍ය සමඟ මුසු කරමින් තීව්‍ර ලෙස හැඩගස්වා ගන්නේ නම් එය කාටත් වින්දනාත්මක හා ගවේෂණාත්මක නිමිත්තක් වෙතැයි අපට බලාපොරොත්තුවක් තබාගත හැකි බව සඳහන් කරනු වටී.

එම්. ඉෂාක්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00