2019 ජනවාරි 19 වන සෙනසුරාදා

වාහන බදු ඩබල් කරන කාබන් බද්ද

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 219

රජය 2018 වසරේ අනුමත කළ මූල්‍ය පනත යටතේ ඩීසල් හා පෙට්‍රල් වාහනවලට පසුගිය ජනවාරි මස 07දා සිට ක්‍රියාත්මක වන පරිදි කාබන් බද්දක් පනවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි නිවේදනය කර ඇත.

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් රථ හැර සෙසු සියලුම පෙට්‍රල් සහ ඩීසල් වාහන මෙම බද්දට යටත් කර තිබේ. මෙම බද්ද පැනවෙන්නේ ඉන්ධන වර්ගය සහ ඉන්ධන පාරිභෝජනය අනුව බව කොමසාරිස් ජනරාල්වරයා කියයි. මෙම බද්ද වාහනයේ නිෂ්පාදන වර්ෂය වසර 5ට අඩු, වසර 5 – 10 අතර සහ 10ට වැඩි වශයෙන් කාණ්ඩ තුනක් යටතේ අය කෙරේ.

පෙට්‍රල්, ඩීසල් හා හයිබ්‍රිඩ් (දෙමුහුන්) වාහනවලට එන්ජින් ධාරිතාව අනුව සහ නිෂ්පාදන වර්ෂය අනුව වසර 5කට අඩු නම් ඝන සෙන්ටිමීටරයකට ශත 25 බැගින්, නිෂ්පාදන වර්ෂය වසර 5 – 10 අතර ඝන සෙන්ටිමීටරයකට ශත 50 බැගින් සහ වසර 10ට වැඩි වූ විට රුපියල් 1 බැගින්ද, බදු අය කෙරේ. එසේම පෙට්‍රල් හෝ ඩීසල් වලින් දුවන සාමාන්‍ය මෝටර් රථවල නිෂ්පාදන වර්ෂය වසර 5කට අඩු වූ විට ඝන සෙන්ටිමීටරයකට ශත 50 බැගින් සහ වසර 5 – 10 අතර රුපියල් 1 බැගින්ද, වසර 10කට වැඩි නම් රුපියල් 1.50 බැගින්ද, අයකරන බව ප්‍රකාශිතය.

මෙම බද්ද ගෙවීම මෙම වසරේ අනිවාර්ය නොවන නමුත් ලබන වසරේ ආදායම් බලපත්‍රය ලබාගන්නා විට මෙම වර්ෂයේ බද්දද සමඟ ගෙවිය යුතු බව කොමසාරිස්වරයා පවසයි.

මෙම කාබන් බද්ද නිසා යළිත් වරක් වාහන ධාවනය පිළිබඳ ව්‍යාකූල තත්ත්වයක් උද්ගතව තිබේ. මේ පිළිබඳ විවිධ අංශවලින් පළකරන අදහස් මෙසේ දක්වමු.

කුඩා වාහනවලට අසාධාරණයක්
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ

“මෙම කාබන් බද්ද අයකිරීම පසුගිය වසරේ අයවැය ලේඛනයෙන් හඳුන්වා දුන් යෝජනාවක්. එම අයවැය යෝජනාවයි මෙම ජනවාරි 01දා සිට ක්‍රියාත්මක කර ඇත්තේ. ලෝකයේ මෙවැනි බද්දක් පනවා ඇත්තේ කාබන් විලෝචනය වීම නිසා සිදුවන දේශගුණික විපර්යාස අවම කිරීමටයි. ඒ රටවල මෙය විශේෂයෙන් පනවා ඇත්තේ විශාල ලෙස දුම් පිටකරන බර වාහන හා අහස් යාත්‍රා වැනි ඒවාටයි. කාබන් පිටකිරීම නිසා පරිසරය හා දේශගුණය විෂම වීම හේතුවෙන් ජනතාවට සිදුවන සෞඛ්‍ය හා සමාජ ගැටලු අවම කිරීම මෙහි බලාපොරොත්තුව වෙනවා.

එහෙත් අපේ රටේ එම බද්ද අයකරන්නේ ත්‍රිරෝද රථ, මෝටර් රථ වැනි කුඩා වාහනවලින් බව පෙනෙනවා. එමගින් මෙහි මූලික පරමාර්ථ ඉටුවේ යැයි සිතන්න බැහැ. 2007 චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමයේ ප්ලාස්ටික් බෑග්වලට සහ ෆිලමන්ට් විදුලි බුබුළුවලට මෙවැනි බද්දක් ගැහුවා. එම බද්ද එකතු කළේ පළාත් පාලන ආයතන වලින්. ඒ කාලේ පරිසර ඇමැති වුණේ පාඨලී චම්පික රණවකයි. මෙයට එරෙහිව අධිකරණයට ගොස් නඩු තීන්දුවක් ලබාගෙන මෙය නැවැත්වීමට හැකිවුණා.

මෙලෙස අයකරන මුදල මහජනතාව මත පැටවීමට දැනටමත් ඇතැම් ව්‍යාපාරිකයන් කටයුතු කරනවා. බසයේ යන මගියා තමා මෙයට ගොදුරු වන්නේ. ලොව පරිසර හානි අඩුම වන්නේ කිසිදු වාහනයක් නැති අන්තිම දිළින්දාගෙන්. එහෙත් මෙම බද්ද ඔහුගෙන් අයකර ගැනීම කොතරම් අසාධාරණද? විශාල වශයෙන් ඉන්ධන පිළිස්සෙන ප්‍රාඩෝ රථයේ යන්නේ දෙදෙනකු විය හැකියි. බස් රථයක ගමන් කරන මගීන් සංඛ්‍යාව 60ක් විය හැකියි. ඉතින් මෙතැනදී එය මගී ජනතාවට ගෙවන්නට වීම කොයි ලෙසකින්වත් සාධාරණීකරණය කරන්න බැහැ.

අනිත් අතට මෙලෙස අයකරන බදු මුදල් යන්නේ කොහාටද? මේ මුදල් වෙනම පරිසර සංරක්ෂිත අරමුදලකට බැර කළ යුතු වෙනවා. එය පරිසර හානි අවම කිරීමට පාවිච්චි කළ යුතු වෙනවා. එහෙමවත් වෙනවා නම් එය යම් පමණකට සාධාරණයි. ඒත් අපේ රටේ මේ මුදල් යන්නේ මහා භාණ්ඩාගාරයටයි. ඒ මුදල් වැය කරන්නේ වෙනත් කාර්යයවලට විය හැකියි. මෙයින් අපට පෙනෙන්නේ ආණ්ඩුව යම් බදු මුදලක් එකතු කර ගැනීමේ පරමාර්ථයෙන් මෙය සිදුකරනවා මිස පරිසර හානි අවම කිරීමේ අභිලාෂයෙන් කරන දෙයක් නොවන බවයි.”

මේ බදු මුදල්වලට වෙන්නෙ මොකක්ද?
පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ
පවසන්නේ මෙම බද්ද නිසා පරිසරය සුරුකීම කෙසේ වෙතත් පාරිභෝගිකයා තවදුරටත් දුෂ්කරතාවකට පත්වන බවය. ඔහු මෙසේ කියයි.

“දැනටමත් වාහන පාවිච්චි කරන අය විශාල ලෙස බදු ගණනාවක් ගෙවනවා. ආදායම්, බලපත්‍ර ගාස්තු, රක්ෂණ ගාස්තු, අමතර කොටස් බදු, ඉන්ධන බදු, ටයර් ටියුබ් සහ බැටරි ආදියට බදු ආදී වශයෙන් එකදිගටම බදු ගෙවන්න සිදුවෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලට අමතරව ගෙවන්න සිද්ධවෙන කාබන් බද්ද නිසා ඔහු තවත් අමාරුවේ වැටෙනවා.

අනිත් අතට ඔහු දැනටමත් වාහනයට දුම් බද්දක් ගෙවනවා. දුම් බද්ද ගෙවන්නට සිදුවන්නේද කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට මුදාහැරීම නිසයි. එහෙම දුම් බද්දක් ගෙවන පාරිභෝගිකයා එයට අමතරව කාබන් බද්දක් ගෙවන්නේ කුමටද? මෙයින් සිදුවෙන්නේ එකම දෙයකට දෙආකාරයෙන් බදු ගෙවන්න සිදුවීමක්. මෙයට පෙරද මෙවැනි බද්දක් ගැහුවා මතකයි. ඒ සල්ලිත් රජයේ ගිණුම්වල තිබෙනවා. ඒ සල්ලි පරිසර හිතකාමී කරන්න යොදාගත් බවක් පෙනෙන්නට නැහැ. මේ වතාවේ අයකරන බදු මුදලටද වන්නේ එම ඉරණමම තමා.

මොන ක්‍රමයකින් හෝ රටේ පරිසරය සුරක්ෂිත වෙනවා නම් අපි එයට කැමැතියි. ඒත් එහෙම වෙන්නේ නැති එකයි ගැටලුව. මෙහිදී සිදුවන්නේ පාරිභෝගිකයා බදු නිසා හිරිහැරයට පත්වීමත් බද්දේ අපේක්ෂිත අරමුණ ඉටුනොවීමත් යන ගැටලු දෙකක් උද්ගතවීමයි. අලුත් වාහනවල දුම්වලින් කාබන් පිටවෙන්නේ නැහැ. කාබන් පිටවෙන්නේ පරණ වාහනවලින් පමණයි. එහෙම තත්ත්වයක් මත අලුත් වාහනවලින්ද මෙම බද්ද අයකිරීම හරිම අසාධාරණයක්. ආණ්ඩුව විටින් විට වාහනවල ආදායම් බලපත්‍ර ගාස්තුද වැඩි කරනවා. පහුගිය දවස්වල කොච්චර වැඩි කළාද? එහෙම තිබියදී ආදායම් බලපත්‍රය ගන්න විට තවත් අතිරේක මුදලක් අයකිරීම කෙසේවත් සාධාරණීකරණය කරන්න බැහැ. අපට නම් පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුව යම් ආදායමක් ලබාගන්න පටන්ගත් වැඩපිළිවෙළක් මිස පරිසර හානි අවම කරන්න ගත් ක්‍රියාමාර්ගයක් නොවන බවයි. එහෙමත් නැතිනම් ආණ්ඩුවට පුළුවන් මෙම කාබන් බද්දෙන් ලැබෙන ආදායම රටේ පරිසර රක්ෂණයට යම් වැඩසටහනකට යොමුකරන බවට ජනතාවට පොරොන්දු වෙන්න. යම් ආකාරයකට එවැනි වැඩපිළිවෙළක් තිබේ නම් ජනතාව මෙම බද්ද ගෙවීම ගැන යම් පමණකට හෝ සෑහීමකට පත්වේවි.”

සල්ලි හොයාගන්න දාපු සූත්තරයක්
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු

“මේක ආණ්ඩුව සල්ලි හොයාගන්න යොදපු සූත්තරයක්. ඉන්ධන මිල සූත්තරේට අමතරව මේ සූත්තරේ ගහන්නෙත් සල්ලි හොයාගැනීමේ පරමාර්ථයෙන් මිසක ජනතාව ගැන, පරිසරය ගැන හිතලා නොවෙයි. දුම් සහතික නිකුත් කරන විට වාහනවලින් පිටවන දුම්වල ඇති කාබන් ප්‍රමාණය සොයා බලනවා. එහෙම වැඩි කාබන් ප්‍රමාණයක් පිටවෙනවා කියලා සනාථ වුණොත් වාහනවල ඩීසල් පොම්ප, එන්ජින් ආදිය සකස් කරලා පිටවන දුම්වල කාබන් ප්‍රමාණය අඩු කරන්න සිද්ධවෙනවා. එහෙම හරියට දුම් පරීක්ෂණය කරලා සහතිකයක් නිකුත් කරනවා නම් නැවතත් කාබන් බද්දක් කියලා පනවන්නේ මොකක්ද කියලා හිතාගන්න බැහැ.

මෙහෙම නැවත නැවතත් බදු ගහනකොට බස් ගාස්තු අඩු කරනවා වෙනුවට වැඩි කරන්නයි සිද්ධවෙලා තියෙන්නේ. පසුගිය දිනවල තවත් රුපියල් දෙකකින් ඩීසල් මිල අඩු වූ නිසා අපි සලකා බලමින් සිටියේ තවත් පියවරකින් බස් ගාස්තු අඩු කරන්නයි. එහෙත් ඒ අතරේ මෙලෙස කාබන් බදු පැනවිල්ල නිසා ඒ සහනය ජනතාවට දෙන්න බැහැ. කාබන් බද්ද නිසා පෞද්ගලික බස් ගාස්තු යළි වැඩිකරන බවට ප්‍රචාරයක් තිබුණත් අපි එහෙම කරන්නේ නැහැ. එහෙත් මෙතැනදී සිද්ධවෙන්නේ බස් ගාස්තු අඩුකිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීමයි. අප දැනටමත් සියයට 4කට ගාස්තු අඩු කළා. ඉස්සරහට තවත් සහන දීමට අප සූදානම්.

පොලීසිය විවිධ අවස්ථාවල රථවාහනවලට දඩ පනවනවා. ඒත් අපි එයට විරුද්ධ නැහැ. වරදට දඬුවම ලැබිය යුතුයි. එහෙත් මෙලෙස අසාධාරණ බදු පැනවිල්ලට නම් විරුද්ධයි. මෙය බස් හිමියන්ට පමණක් නොවෙයි, මගී ජනතාවටත් කරන අසාධාරණයක්.

මෙම බද්දට විරැද්ධ අපි පමණක් නොවෙයි, ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, ලොරි හිමියන් හා වෙනත් වාහන හිමියන් සමඟ ඒකාබද්ධව උද්ඝෝෂණයක් පවත්වලා ඉන් පසුව දිනක සියලුම වාහන ධාවනය නවත්වලා දැවැන්ත විරෝධයක් ප්‍රකාශ කරන්නට දැනට සැලසුම් කරලා තියෙනවා. ආණ්ඩුව මේ අසාධාරණ බද්ද අවලංගු කරන තුරු අපි සටන් කරනවා. පසුගියදා වාහනවලින් රුපියල් 25,000ක දඩයක් අයකිරීමට සැලසුම් කළ අවස්ථාවේ පැවැත්වූ විරෝධතාව මෙන් දැවැන්ත විරෝධතා වැඩපිළිවෙළක් ළඟදීම දියත් කරනවා.”

කිසිම පදනමක් නෑ
මේ පිළිබඳ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න
දරන්නේ වෙනත් අදහසකි. ඔහු මේ බද්ද පිළිබඳ විරෝධය දක්වන්නේ එය විද්‍යානුකූල පදනමකින් තොරව සකස් කර ඇතැයි පවසමිනි. රජය රථවාහනවලට පනවා ඇති මෙම කාබන් බද්ද ප්‍රායෝගික නොවන බව ඔහුගේ අදහසය.

“කාබන් බද්ද අයකිරීමට විද්‍යාත්මක පදනමක් නැහැ. කිසිම මිනුම් දණ්ඩක් නැහැ. ඕනෑම රියැදුරෙක් වාර්ෂික ආදායම් බලපත්‍රය ගන්නා විට මෙම බද්ද ගෙවිය යුතු බව කියනවා. අපි වායු විමෝචනය වෙනුවෙන් රුපියල් 1500ක් ගෙවා දුම් පරීක්ෂාවකින් පසු වාර්ෂිකව වාර්තාවක් ලබාගන්නවා. මාර්ග බලපත්‍රය දෙන්නේ ඒ අනුවයි. මේ දුම් පරීක්ෂාවෙන් කෙරෙන්නේ පරිසරයට නිකුත් කෙරෙන විෂ දුම් ප්‍රමාණය මැනීමයි. එනම් කාබන් අනු ප්‍රමාණය මැනීමක්.

එක ගැටලුවකට විසඳුම් දෙකක් දෙන්න අවශ්‍ය නැහැ. දුම් පරීක්ෂාව හරියට කරනවා නම් කාබන් බද්දක් ගැන කතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එසේම මෙම බද්ද අයකළ යුත්තේ එම රථවාහන විමෝචනය සිදුකරනු ලබන ප්‍රමාණයටයි. එහෙම නැතුව අවුරුදු ගාණ අනුව නොවෙයි. සමහර වාහන තියෙනවා අවුරුදු ගණන් පරණ වුණත් කාබන් දුම් පිටකිරිල්ල අඩු. ඇතැම් සුඛෝපභෝගී වාහනවලින් කාබන් වැඩිය පිටකරනවා. ඒ නිසා අවුරුදු ගණන පදනම් කර ගැනීම වැරදියි.

ලොව බොහෝ රටවල් මේ බද්ද ඉන්ධන මිල සඳහා අනුයුක්ත කර තිබෙනවා. එහිදී ඉන්ධන වැඩිය භාවිත කරන අයට වැඩි බද්දක් ගෙවන්න වෙනවා. ප්‍රායෝගික වන්නේ මේ බද්ද ඉන්ධන මිල සමඟ ගලපා එයට එකතු කර අයකර ගැනීමයි. එවිට සැමදෙනාටම බෙදී යන අතර අමුතු බද්දක් අයකර ගැනීමේ අවශ්‍යතාවක් මතුවෙන්නේ නැහැ.

බස් කර්මාන්තය දිනෙන් දින අර්බුදයට ලක්වන අතර, එය ගොඩනැගීමට පියවර නොගෙන මෙවැනි නීති දැමීම නිසා බස් කර්මාන්තය කඩා වැටෙනවා. අදාළ මුදල බස් හිමියන්ගෙන් අයකළහොත් එම පාඩුව මගීන්ගෙන් අයකර ගැනීම හැර අන් විකල්පයක් අපට නැහැ.”

ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන කියන්නේ ත්‍රිරෝද රථ සේවාවෙන් කාබන් බද්ද අයකිරීම ඉවත් කරන ලෙස ඉල්ලා පසුගිය 18දා ජනාධිපති සහ මුදල් ඇමැතිට සංදේශ බාරදුන් බවයි. “එම ඉල්ලීමට ප්‍රතිචාර නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්නට සිදුවෙනවා. ත්‍රිරෝද ගාස්තු අඩුකිරීමට ක්‍රියා කරගෙන යන විට මෙවැනි බදු පැනවීමෙන් සිදුවෙන්නේ එම උත්සාහය ව්‍යර්ථ කිරීමක්. ත්‍රිරෝද රථ හිමියන් මෙන්ම පාරිභෝගිකයන්ද දුප්පත් අයයි. මේ බද්ද නිසා මේ දෙගොල්ලම අමාරැවේ වැටෙන එකයි වෙන්නේ.”

►යසවර්ධන රුද්රිගූ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00