2019 ජනවාරි 19 වන සෙනසුරාදා

රොෂාන් මහානාම හදපු පාසලට රොෂාන්ගෙන්ම ඇඳුම් උපකරණ

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

සොරාගත නොහැකි, උදුරාගත නොහැකි එකම දේ අධ්‍යාපනයයි.

මේ අගනා වැකිය අපට දකින්නට ලැබුණේ වව්නියාවේ ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි පාසල් ගොඩනැගිල්ලක ලියා තිබෙන අයුරැය. නමුත් මේ දුෂ්කර ප්‍රදේශයේ පිහිටි මේ පාසලේ විශේෂත්වයක් විය. එය නමින් රොෂාන් මහානාම ප්‍රාථමික විද්‍යාලය යනුවෙන් නම් වී තිබීමය.

රොෂාන් මහානාම, මෙම නම ඇසූ පමණින් අපගේ මතකයට එන්නේ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් විරුවා මෙන්ම පසු කලෙක ලෝකප්‍රසිද්ධ වූ ක්‍රිකට් තරග තීරක ගැනය. මේ ක්‍රිකට් තරුවගේ නම වව්නියාවේ දුෂ්කර පළාතක පිහිටි ප්‍රාථමික පාසලකට ලැබුණේ කෙසේද යන්න පිළිබඳ අද එම ස්ථානයෙන් යන කාගේ සිත්වලද ඇතිවන්නේ කුතුහලයකි.

නමුත් එය සැබෑවකි. ලොවක් හඳුනන ඒ ක්‍රිකට් විරැවා වව්නියාවේ දුෂ්කර පළාතකට පැමිණ දුෂ්කර ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උර දී ඇති බවක් දැනගන්නට ලැබුණේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙන්ද ලැබුණු සහායත් සමඟිනි. පසුගියදා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා ඇතුළු යුද හමුදා නිලධාරීන් සමඟ රොෂාන් මහානාම නැවතත් එහි පැමිණියේ පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ අවශ්‍යතා සොයා බැලීමටය. එහිදී රොෂාන් මහානාම මහතා විසින් මේ පාසලේ මෙන්ම එතුමන් විසින්ම සාදා දුන් පෙරපාසලේ දූ දරුවන්ට ද අවශ්‍ය නිල ඇඳුම් හා අධ්‍යාපනික උපකරණ බෙදා දෙද්දී පාසලේ මෙන්ම එහි ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳවද කාගේත් අවධානය යොමු විය.

වෙහෙරතැන්න රොෂාන් මහානාම විදුහල සැබැවින්ම රජයට බරක් නොවූ පාසලකි. අදටත් එහි සියලුම නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ රොෂාන් මහානාම මහතාය. එතුමන් විසින් මුදල් ආධාර ලබාදීමෙන් පසුව යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් සියල්ල සිදුවෙයි. රජයට සිදුකිරීමට ඇත්තේ පාසලට අවශ්‍ය ගුරුවරුන් හා විදුහල්පතිවරයකු ලබාදීම පමණි. එය රටටම ආදර්ශයකි.

යුද්ධයෙන් පසුව වෙහෙරතැන්න ඇතුළු සිංහල ගම්මාන කිහිපයක නැවත පදිංචියට පැමිණි දහස් ගණනක් වූ ජනතාවට නිවාස, පාසල්, පෙරපාසල්, ප්‍රාදේශීය රෝහල් වැනි යටිතල පහසුකම් වෙනුවෙන් රජයේ හෝ වෙනත් සංවිධානයක දායකත්වයක් ලැබීම ප්‍රමාද විය. නමුත් ජනතාවගේ එකම පිහිට බවට පත්වූයේ යුද හමුදාව පමණකි. එවකට වන්නි ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් සේවය කළ මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතා මේ නැවත පදිංචි ගම්වාසීන්ගේ එකම පිහිට විය. එතුමන් විසින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සියලු සේනාංකයන්ට, බලසේනාවන්ට අණ කරමින් සියලු යුද හමුදා නිලධාරීන්ගේ දායකත්වයෙන් පදිංචි වැසියන්ට නැවත නිවාස සාදා දීමට මූලිකත්වය ගනු ලැබීය.

නිවාස සාදා ගම්මාන යථා තත්ත්වයට පත්වූ පසු මේ ගම්මාන සියල්ලක්ම ආවරණය වන පරිදි දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට නම් ළඟම පාසලක අවශ්‍යතාවය පැන නැගුණි. එහිදී වන්නි ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතා විසින් මේ බව හේමාස් අවුට්විච් පදනම වෙතට දැනුම් දෙනු ලැබීමෙන් පසුව එහි විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය විසින් එම අවස්ථාවේදීම ඒ පිළිබඳව රොෂාන් මහානාම මහතා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡා කර වෙහෙරතැන්න ඇතුළු ගම්මාන වෙතට පළමුව පෙරපාසලක් ලබාදීමත්, අනතුරුව පාසලක් ඉදිකොට ලබාදීමත් සිදුවිය.

2015 ඔක්තෝබර් 22 රොෂාන් මහානාම විදුහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ යුද හමුදාව එය අවසන් කොට 2016 ජූනි මස 04 වැනිදා විවෘත කොට පාසල ගම්වාසීන්ට ලබාදීමට කටයුතු කළේය.

නමුත් පාසලක් හෝ ඕනෑම දෙයක් ඉදිකිරීම හෝ ඇතිකිරීම කුමන අයුරකින් සිදුකළද එය පවත්වාගෙන යාම මෙහි මූලිකම කටයුත්ත වෙයි. එහි වගකීමෙන් අඩක් රොෂාන් මහානාම මහතාට පැවරෙද්දී තවත් අඩක් යුද හමුදාවටද පැවරුණි. යුද හමුදාව පාසලේ වත්මන් නඩත්තු කටයුතු වෙනුවෙන් උරදී කටයුතු කරන අතරම ඒ සඳහා සියලු මූල්‍ය දායකත්වය ලබාදෙන්නේ රොෂාන් මහානාම මහතා විසිනි.

වර්තමානයේ වන්නි ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් කටයුතු සිදුකරන මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා පාසලේ මෙන්ම අවට ගම්මානයන්හි වත්මන් තත්ත්වය පිළිබඳ විමසීමේදී මෙසේ පැවසීය.

මේ පාසල 2016 වසරේ තමයි ඉදිකළේ. මේක හදන්න පියවර ගත්තේ හේමාස් නැමති ආයතනයෙන්. මෙමගින් ලංකාව පුරා පියවර කියලා පෙරපාසල් වගයක් හදනවා සමාජ සත්කාරයක් වශයෙන්. ඉතින් මේ වෙහෙරතැන්න ගමට පෙරපාසලක් ලබාදුන් අවස්ථාවේදී ගම්වල ජනතාව ඉල්ලා සිටියා මේ ගම්මාන කිහිපයටම පාසලක් නැති නිසා ප්‍රාථමික පාසලක් ලබාදෙන්න කියලා. ඒ අවස්ථාවට සහභාගී වුණු රොෂාන් මහානාම මහත්මා විසින් පොරොන්දු වුණා මේ පාසල හදන්න මුදල් හොයලා දෙන්නම් කියලා. එහෙම පොරොන්දු වෙලා තමයි මේ පාසල එතුමන්ගේ මූල්‍ය දායකත්වයෙන් යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් හදලා දුන්නේ.

ඒ වගේම තමයි මේ පාසල පවත්වාගෙන යාම වෙනුවෙන්ද රොෂාන් මහානාම මහත්මා දායකත්වය දරනවා. එතුමන් වසරකට තෙවතාවක් පමණ මේ පාසලට පැමිණිලා අඩුපාඩු සොයා බලනවා. සොයා බලලා අඩුපාඩු පිළිසකර කිරීමට හමුදාවට මුදල් දෙනවා. අපේ හමුදා නිලධාරීන් ඒවා හදනවා. පසුගිය දෙසැම්බර් මාසෙත් ඒ විදිහට අපි මේ පාසලේ සංවර්ධන කටයුතු සිදුකළා.

ඇත්තටම මේ පාසල රජයට කිසිම බරක් වුණු පාසලක් නෙමෙයි. රජයේ පාසලක් වශයෙන් මෙය පවත්වාගෙන ගියත් රජයට කියල කරන්න තියෙන්නේ මේ පාසලට ගුරුවරුන් සහ විදුහල්පතිවරයෙක් පත්කරන එක විතරයි. ඉතුරු නඩත්තු කටයුතු හැමදේම අපි සහ රොෂාන් මහානාම මහතා විසින් සිදුකරනවා.  

නමුත් පසුගියදා මේ පාසලේ පොඩි ගැටලුවක් ඇතිවුණා. මොකද, මේ පාසලට අවශ්‍ය ගුරුවරුන් නොමැති වීම. පළමු වසරට ගුරැවරැන් නොමැති වීමෙන් එම වසරට ළමුන් බඳවාගන්නත් බැරිවෙන අවදානමක් පැවතුණා පසුගිය දින කිහිපයේදී. නමුත් අපි තාවකාලිකව ගුරුවරුන් සොයාගෙන මේ ගැටලුව නිරාකරණය කළා. අවශ්‍ය ගුරැවරැන් පාසලට ලැබුණා නම් ඒක මේ දරැවන්ගේ අනාගතයටත් ගොඩක් වටිනවා.

ඇත්තටම මේ ගම්මාන ඉතාම දුෂ්කර ප්‍රදේශ. මේ දුෂ්කර ගම්මානවලට කොළඹ දානපතීන්ගෙන් හෝ රජයෙන් ආධාරයක් ලැබීම ඉතාම අඩු මට්ටමක තියෙන්නේ. ඉතින් එහෙම දුෂ්කර ප්‍රදේශයක ඉන්න දරැවකුට ඉදිරියට යන්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය. ඒ අධ්‍යාපනයට තියෙන එකම ස්ථානය තමයි මේ පාසල. ඒ වගේම මේ ජනතාවට ඉන්න එකම පිහිට තමයි යුද හමුදාව. අපි පුළුවන් උපරිමයෙන් පිහිට වෙන්න පියවර අරන් තියෙන්නෙ.

ඒ වගේම තමයි මේ දුෂ්කර ගම්මානවල ඉන්න කුඩා දරැවන්ගේ අධ්‍යාපනය ගැනත් අපි හිතල තියෙන්නේ. මේ වෙනකොටත් මේ ගම්මානවල යුද හමුදාවෙන්ම පෙරපාසල් 08ක් හදල දීලා තියෙනවා. කොහොම හරි 10ක් හදල දෙන්න තමයි මගේ ඉලක්කය. මොකද, පෙරපාසල් අධ්‍යාපනය තමයි ඕනෑම දරැවකුගේ මූලික අඩිතාලම. ඒ වගේම පෙරපාසල් අධ්‍යාපනයෙන් පසුව ඊළඟ පියවර තමයි මේ ප්‍රාථමික පාසල. මේ දරැවන්ගේ මුල හදල දුන්න නම් ඉතුරු මාර්ගය ඉදිරියට ගමන් කිරීමට අපහසු වෙන්නේ නැහැ කියලයි මම හිතන්නේ.

කැලේ පිපෙන මල් කැලේටම පරවී යන්නට නොදී එහි සුන්දරත්වය හා වටිනාකම සමාජයට ලෝකයට ගෙන යාමට උත්සාහ දරන මේ ක්‍රිකට් විරුවන් හා රණවිරැවන්ගේ උත්සාහය ආදර්ශයට ගෙන ඔවුන්ට හයියක් වීම සියලු දෙනාගේම යුතුකමකි. 

 වන්නි රොමේෂ් මධුෂංඛ