2019 ජනවාරි 19 වන සෙනසුරාදා

පුදන්න පළඳින්න මල්මාල ගොතන වැඩකරුවෝ

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 417

ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ මල් යහනාවක නොවේ. ඔවුන් විඳින්නේ සුරසැප නොවේ. ගිනිගහන මහ අව් රශ්මිය දිහා බලාගෙන ඔවුහු තම වෘත්තිය කරගෙන යති. මහ වැස්සෙන් ඇඟට දැනෙන හිරිපොදට ඔවුහු ඇතිපදමට තෙමෙති. හතරුස් හැඩැති පුංචි ලෑලි පෙට්ටියේ ඔවුහු තම වෘත්තිය කරගෙන යති.

ලෑලි පෙට්ටිය කුඩා වුවත් ඒ තුළින් හමන සුවඳින් මුළු පළාතම සුවඳවත් වෙයි. සැබැවින්ම එයින් පන්සලක, පල්ලියක, කෝවිලක, පුදබිමක පින්බර සුවඳක් නිරතුරු හමායයි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුර අසල මල්මාලා ගොතන්නන්ගේ පුංචි ලෑලි කඩ කිහිපයකට අප ගොඩවැදෙද්දී මහ ගිනිඅව්ව මුළු පළාතම වෙලා අවසන්ය. නමුත් ඔවුන්ගේ එක අතක පුංචි මලකි. තවත් අතක කුඩා නූලකි. ඔවුහු හරි හරියට දෑඟිලි අතරින් මල්මාලා අමුණති. නූලක ගැටයක හිරවෙන මල්මාලය අවසානයේදී හරි අපූරු මල් ගෙත්තමක් බිහිකරයි.

ඩී. පෙරිසන්නම්ට දැන් අවුරුදු 69ක් වයසය. දෙව්මැඳුර ඉදිරියේ පුංචි ලෑලි මඩුවක ඔහු තම වෘත්තිය කරගෙන යයි. ඉඳහිට පාරේ ගමන් කරන මිනිසුන් දෙස හිස ඔසවා බැලුවද ඒ බලන අතරතුරේදීත් ඔහුගේ ඇඟිලි අතරින් මල්මාලා හැදෙයි. ඒ තරමටම ඔහු මල්මාලා ගෙතීමට දක්ෂයෙකි. සුදු පිච්ච මල්වැලක් ඔහු අතේ එහෙට මෙහෙට වෙයි. විනාඩි කිහිපයකින් ඔහු අවසාන ගැටය යොදා මල්මාලාව දෙස බලා සිටියි. ඒ දෑස දීප්තිමත්ය. අවසන් කළ මල්මාලාව ගැන ඔහුට ඇත්තේ තෘප්තියකි. නමුත් ඔහුගේ ජීවිතය ගැන ඔහු සැබැවින්ම තෘප්තිමත්ද..? ගැටලුව වන්නේ එයයි.

“මම දැන් මේ රස්සාව පටන් අරගෙන අවුරුදු හතළිහක් විතර වෙනවා. ඉස්සර මේ වැඩේ කළේ මගේ අප්පා. හැමදාම ඉතින් එයාට මල්මාලා අමුණන්න උදව් කළේ මම. දැන් ඉතින් තනියම මම මේ වැඩේ කරගෙන යනවා. මේ මල් අපිට ගෙනත් දෙන්න මිනිස්සු ඉන්නවා. ඒ අය හැමදාම උදේට ෂොපින් බෑග්වලට මේ මල් පුරවලා අපිට ගෙනත් දෙනවා. ඉතින් අපි ඒවා සල්ලිවලට ගන්නවා. මේ එක බෑග් එකක් අපි ගන්නෙ රුපියල් පන්සීයට.” ඔහු පවසයි.

ඔහු අසල එවැනි මල් පිරවූ මල් උර පහක් තිබුණි. ඒ හැම උරයක්ම කට ගැටගසා තිබුණි. පෙරිසන්නම් වැනි අය ඕනෑ තරම් කොච්චිකඩේ දෙව්මැඳුර අසල මල් ගෙත්තම් කරති. ඇතැමුන් තරුණයන්ය. තවත් අය වැඩිහිටියන්ය. ඒ අතර කාන්තාවක්ද කුඩා මල් කඩයක මල් ගෙත්තම් කළාය. නමුත් වැඩි කතාබහක් නොකරන ඇය නිදහසේ තම රාජකාරියේ නිරත වූවාය.

මල්මාලා ගොතන්නට මල් වර්ග කිහිපයකි. ඒ අතරේ පිච්ච, ගැටපිච්ච, රෝස. දහස්පෙතියා, කපුරු විශේෂ තැනක් ගනී. ඔවුන්ට විශේෂ ගැනුම්කරුවෝ සිටිති. ඇතැමුන් දිනපතා ඔවුන්ගෙන් මල්මාලා ගෙන යති. තවත් අය බාරහාර ඔප්පු කිරීමට මල්මාලා ගෙන යති. දිනකට හෝ පෙර ඔවුන් මල් ගොතන්නන්ට ඒ පිළිබඳව දැනුම් දෙති. ඇතැම් මල්මාලා ඔප්පු කරන්නාගේ උසට සරිලන ප්‍රමාණයට නිර්මාණය වෙයි.

හින්දු චාරිත්‍රයට අනුව මනාලයා විසින් මනාලියටත්, මනාලිය විසින් මනාලයාටත් මල්මාලා පැළඳීමේ චාරිත්‍රයක් සිදුකරති. මෙවැනි මල්මාලා ඇණවුමක් ලැබුණු විට මල්මාලා ගොතන්නාටද රජ මඟුල්ය. ඔවුන්ගේ දෑත් වෙනදාටත් වඩා ක්‍රියාශීලීය. ඒ සඳහා යන්ත්‍රෝපකරණ නැත. ඇත්තේ මල් ගොතන්නාගේ හිතේ හයියත්, අතේ වේගයත් පමණි. විවාහ උත්සවයේදී ශාලා සැරසීම මෙන්ම විවාහ උත්සවයට සහභාගි වන කාන්තාවන්ගේ හිස පැළඳීමටද මල්මාලා අත්‍යවශ්‍ය වේ. මේ නිසාම මංගල සුභ නැකැත් පවතින කාලයේදීද මල්මාලා ගොතන්නන්ට වැඩ අධිකය. මංගල උත්සව කාලයන්හිදී මෙන්ම හින්දු භක්තිකයන්ගේ අවමංගල අවස්ථාවලදීද මල්මාලා ගොතා මියගිය අයගේ දෙණ වටා මල්මාලාවලින් සැරසීමද කරනු ලබයි.

මේ නිසාම මල්මාලා ගොතන්නන් හින්දු භක්තිකයන්ගේ ජීවිතවලට සමීප බවක් පෙන්නුම් කරයි.

“මගේ නම විජේකුමාර්. මම දැන් මේ මල්මාලා හදන රස්සාව පටන් අරගෙන අවුරුදු පහළොවක් විතර වෙනවා. මේ මල් ගේන්නෙ මරදන්කුලිය ඉඳන්. හැමදාම ඒ පැතිවලින් අපිට මේ මල් ගෙනත් දෙනවා. මේ ගොතපු මල්මාලාවක් දවස් දෙකක් පරවෙන්නෙ නැතිව තියන්න පුළුවන්. වතුර ටිකක් ඉහලා තිබ්බහම ඇති. මේ මල්මාලා වැඩිපුරම පල්ලියට තමයි ගන්නෙ. ජීවත්වෙන්න මල් විකුණුවට පව් සිද්ධවෙන්නෙ නැහැනෙ. මේ රස්සාවට මම ආසයි. කාටවත් කරදරයක් නැතිව නිදහසේ මේ රස්සාව කරගෙන යනවා.” යැයි මල්මාලා ගොතන විජේකුමාර් දේශයට පැවසීය.

කොළඹට මල්මාලා ගොතන්නට මල් ගෙන එනු ලබන ප්‍රදේශ කිහිපයක්ම ඇත. ඒ මරදන්කුලිය, පුත්තලම, නුවරඑළිය, මාතලේ, බදුල්ල වැනි ප්‍රදේශයන්ය. ඒ ප්‍රදේශ බොහොමයක එක යායට පිච්ච මල් වගාව පවතී. තවත් විටෙක ඇත්තේ කපුරු වගාවය. රෝස මල් යායක, දහස්පෙතියා පඳුරු යායක හටගන්නා මල් උදේ පාන්දරින්ම නෙලා කොළඹට ප්‍රවාහනය කෙරේ. උදේ හයට පමණ මල් ගොතන්නන්ගේ දෑතින් මල් ගෙත්තම් වෙයි. අවසානයේදී මල්මාලයක මලක් බවට පත්වන පුංචි පිච්ච මල කෝවිලේ දේව ප්‍රතිමාවකට හෝ දේවස්ථානයේ සුරැවමකට, නැතහොත් පන්සලේ පූජාවකට හෝ බාරවෙයි. එසේත් නොමැති නම් ගෙත්තම් වූ මල කාන්තාවකගේ හිසේ පළඳයි.

අන්තෝනි දෙව්මැඳුර ඉදිරියේ මල්මාලා ගොතමින් ජීවිකාව ගෙවන බොහෝ පිරිස හින්දු ජාතිකයෝ වෙති. ඒ අතරින් අපට මුණගැසුණු සුසන්ත කුමාර සිංහල බෞද්ධ තරුණයෙකි.

“දැන් මම මේ රස්සාව කරන්න පටන් අරගෙන අවුරුදු විසි ගාණක් වෙනවා. මේ මල් මාදම්පේ, පුත්තලම ඉඳන් ගේනවා. හැමදාම උදේට අපි මල් මිලදී ගන්නවා. මල්මාලා ඉක්මනට ගොතන්න දැන් මට හොඳට හුරුයි. රස්සාව පටන් ගත්ත මුල් කාලයේදී නම් රස්සාව අතහැරලා යන්න අනන්තවත් හිතුණා. ගොතන්න ගිහින් මල් අනන්තවත් කැඩිලා තියෙනවා. ඒත්.. දැන් මට මේක හොඳට හුරුයි. දැන් මට මල්මාලා ගොතන්න අත හොඳට හුරුයි. දැන් මේ පොඩි මල්මාලාව මිනිත්තු දහයකින් මට හදන්න පුළුවන්. අපි මල් උරයක් රුපියල් පන්සීයට තමයි මිලදී ගන්නෙ. ඒකෙන් පොඩි මල්මාලා 23ක් හදන්න පුළුවන්. පොඩි මල්මාලාවක් අඩියයි. ඒ මල්මාලාව අපි රුපියල් සීයයට තමයි විකුණන්නෙ.”  යැයි සුසන්න කුමාර දේශයට පැවසීය.

ශාන්ත අන්තෝනි දෙව්මැඳුර අසල මල්මාලා වෙළෙඳාමේ යෙදෙන බොහෝ මල්කරුවන් කොච්චිකඩේ ප්‍රදේශය අවට ජීවත් වන වැසියෝ වෙති. කෙසේ වුවද වර්තමානය වනවිට දෙව්මැඳුර අබියස එවැනි කුඩා මල් කඩ 30කට අධික ප්‍රමාණයක් පවතී. ඒ සෑම මල් කඩයකම මල් ගෙත්තම්කරුවන්ගේ දෙනෙත් දිව යන්නේ දෑතේ එහා මෙහා යන කුඩා මලටත් නූලටත්ය.

“මගේ නම රාජා. අපි අවුරුදු පහළොවක් තිස්සේ මේ රස්සාව තමයි කරන්නෙ. මමයි මගේ යාළුවකුයි එකතුවෙලා තමයි කරන්නෙ. අපි මේ පල්ලියටත්, කෝවිලටත් මල්මාලා දානවා. සමහර වෙලාවට පන්සල්වලිනුත් අපිට ඕඩර් දෙනවා. මල් වැඩිපුර පිපෙන කාලෙට අපිට බිස්නස් හොඳයි. හැබැයි ඉතින් සමහර කාලවලදී මල් අඩුයි. එකදිගට ඒ පැතිවලට වහින කාලෙට මල් මෙහෙට එවෙන්නෙ නැහැ. ඉතින් ලැබෙන මල්වලින් ගොතන මල්මාලා වැඩි ගාණකට තමයි අපිට දෙන්න වෙන්නෙ. මොකද, අපිට ඒ මලුත් ලැබෙන්නෙ ලොකු ගාණකටයි. සමහර පින්න කාලෙට මල් අඩුයි. ඒ කාලෙටත් මල් හිඟයි.” රාජා තම රැකියාව ගැන දේශයට පැවසීය.

මේ සෑම කෙනකුගේම ජීවිත ඇතුළේ යම් යම් ගැටලු ඇත. ඇතැමුන් තම ජීවනෝපාය ගැන එතරම් සතුටු නැත. “ජීවත් වෙනවට ජීවත් වෙනවා.. වෙන මොනවා කරන්නද..? මේ මල් වගේ අපේ ජීවිත ලස්සන නැහැ.” මේ ඇතැම් මල්කරුවන්ගේ අදහසයි. මල්වල සුවඳ රැඳි දෑඟිලිවලින්ම සිගරැට්ටුව දල්වාගන්නා තරුණයෝද මේ සමාජයේ නැතිවාම නොවේ.

මල්වලට අමතරව මෙම ගෙත්තම්කරුවෝ විවිධ ගෙඩි වර්ග වලින්ද, කොළ වර්ග වලින්ද මාලා ගොතති. මදුරුතලා (තුල්සි), බුලත්, කොහොඹ, දෙහි වැනි දෑ උපයෝගී කරගෙන මොවුහු මාලා ගොතති. බොහෝ විට මදුරුතලා (තුල්සි) කොළවලින් ගෙතුණු මාලා පුදන්නේ විෂ්ණු දේවියන්ටය. කොහොඹ කොළවලින් ගෙතුණු මාලා කාලි මාතාවට පුද කරති.

“හැමදාම මල්මාලා ගොතන නිසා දැන් මේ ගොතන වේගය අපිට හුරුයි. දැන් අඩි එකහමාරක මල්මාලයක් මට විනාඩි අටකින් ගොතන්න පුළුවන්. ඉරිදාටයි, අඟහරුවාදාටයි, සිකුරාදාටයි අපිට බිස්නස් වැඩියි. ඒ දවස්වලට කට්ටිය පල්ලිවලට කෝවිලට මල්මාලා අරගෙන යනවා. ඒ වගේම සිංහල හින්දු අලුත් අවුරුද්දටත් අපිට බිස්නස් වැඩියි. ඒ කාලෙට කට්ටියම මල්මාලා අරගෙන යනවා. කොළමාලා බොහෝ වෙලාවට අරගෙන යන්නෙ කෝවිලටයි.” යැයි ඉෂාන් දේශයට අදහස් දැක්වීය.

ඔවුන්ගේ ජීවිත එලෙස ගෙවී යන්නේ මල් සමඟිනි. ඔවුන්ගේ දෑත මල්වලින් සුවඳවත්ය. එක මල බැගින් තනි පෙළට ගොතන මල්මාලා මෙන්ම මල් පොකුරු ලෙසින් ගොතන මල්මාලාවලින්ද ඒ කඩ සුන්දර වී පවතී. සුදුමල් පොකුර අතරමැද කපුරු මල්, දහස්පෙතියා මල් එකතු වී මල්මාලාවට තවත් හැඩයක් එක් කරයි. මේ අතර මල් පොකුරු අතරේ රිබන්වලින් හැඩ කළ අපූරු ගෙතුම්ද වෙයි. රුපියල් ශත වෙනුවෙන්, දවසේ ජීවත්වීම වෙනුවෙන්, දරුපවුලේ කුසගිනි නිවීම වෙනුවෙන් මලක් සමඟ ගෙත්තම් වන මොවුන්ගේ ජීවිත මල් තරම් සුන්දර නැතිවීම කනගාටුවකි.

I දිශානි ජයමාලි කරුණාරත්න
 සේයාරූ - සුමුදු හේවාපතිරණ