2019 ජනවාරි 19 වන සෙනසුරාදා

මුත්තෙට්ටුවක් දමා අඹරණ ලණු

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 293

සයුරු තොමෝ ඉරගල ගිලගත් වනින් බටහිර අහස ‍රත්පැහැ ගැන්වේ. අපේ කාලයාත්‍රාවට ද අතීතයෙන් නික්ම යන්නට ඇත්තේ තවත් නොබෝ වේලාවකි. අපි කතාවේ අවසාන අදියරට පැමිණියෙමු. 

සැඳෑ අඳුර ගලා එන විට ගමේ බවලත්හු එක් නිවෙසක ඉස්තෝප්පුවට එක්වෙති. ගෙමිදුලේ ගිනි ගොඩක් ගසා වේලුණු පොල්ලෙලි ඊට දමා දුම් ගසන්නේ මදුරු කරදරයෙන් ගැලවීමටය. කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු, බිත්තියේ සවිකරන ලාම්පු ඉස්තෝප්පුවේ දැල්වේ. නිවසට එකතු වූ බවලතුන් මේ සැරසෙන්නේ ගම්මානයේ කොහු කර්මාන්තයේ අවසන් අදියරටය. හැන්දෑවේ පිච්චි කර සකසා ගත් කොහු පිල්ලවල් කිහිපයක් නිවෙසේ වෙයි. ඒවා එකින් එක ගෙන ඔවුහු ලණු ඇඹරීමට සූදානම් වෙති. කොහු පිල්ලෙන් අතරින් පරිස්සමට නූල ගෙන ඒම මෙහිදී සිදුවේ. ගම්මානයේ  බවලතුන්ගේ දෑත්, ඇඟිලි තුඩු මේ වෙනුවෙන් සැකසී ඇත. එය ඔවුන් පරම්පරාවෙන් ලද උරුමයකි.

මන්දාලෝකයෙන් යුතු ඉස්තෝප්පුවේ ඇත්තේ අපූරු සුන්දරත්වයකි. පරිසරය කෙමෙන් අඳුර ගිලගන්නා විට වවුලෝ එකා දෙන්නා අහසේ ඒ මේ අත සැරිසරති. රැහියියන්ගේ නාදය, මැඩියන්ගේ හඬ පරිසරයට එක් කරන්නේ  අපූර්වත්වයකි. මහ සයුරේ රළ බිඳෙන හඬ ද, කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදාවන විට ගම්මුන්ගේ සවන් වැකේ. ඒ සියල්ල පරයා නැගෙන්නේ  ඉස්තෝප්පු ලණු අඹරන බවලතුන්ගේ කතාය. මෙය බවලතුන් හට විෂය වූ කර්මාන්තයමය. කහට කෝප්පයක්, හකුරු කෑල්ලක් මේ රාජකාරි අතරේ සියල්ලෝම රස විඳිති. සැබැවින්ම අතීතයේ මේ ගෙවෙන කණිසම චමත්කාරජනකය.

මෙසේ පිරිසක් එකතු වී ලණු ඇඹරීම මුත්තෙට්ටුවක් දැමීම නම් විය. එවිට එක් දවසකදී එක් තැනැත්තියකගේ කොහු ඇඹරීම සිදුවෙයි. එය සැම හවුලේ සිදුකරති. මෙය පෙර අත්කම් ක්‍රමය හා සමාන වූවකි. අතීතයේදී කොහු කර්මාන්තය වටා සාමූහිකත්වය මනාව නිර්මාණය වී තිබුණි. ලණු ඇඹරීම තනි තනිව සිදුකරන අය ද ගමේ නොසිටියා නොවේ. නමුත් ලණු ඇඹරීමට උස් මිටිකම් අදාළ  නොවීය. ඇති හැකි පන්තියේ බවලත්හුද නිවෙසේ පිළිකන්නේ කොහු පිල්ලක් තබාගෙන ඉඳහිට ලණු කැරළි කිහිපයක් ඇඹරූහ. මෙකී ගම ගැහැනිය හා කොහු කර්මාන්තය අතර වූයේ තිර බැඳීමකි.

අඹරන ලණු  වර්ගය ද විවිධ විය. මාදැල් ලණු තරමක් මහත විය. ඒවා ඇඹරීමට අදක්ෂ වූ අය ද ගමේ බවලතුන් අතර වූහ. එවන් අය මෙම කර්මාන්තයේ අදක්ෂයන් ලෙස සලකනු ලැබූහ. සිහින් ලණු ඇඹරුවේ පුටු ඇඳන් විවීම සඳහාය. මේ සියල්ල කෙරෙහි බලපෑවේ පාරම්පරික ඥානයයි. කෙසේ හෝ අඹරනු ලැබූ ලණු, පට දහයකින් යුතුව  කැරළි ආකාරයෙන් සැකසීම සිදුවේ. එයද සිදුවූයේ එක්තරා ක්‍රමවේදයකටය. එම ලණු කැරළි සියයක් එක්කොට මිටි බඳිනු ලබයි. මෙය මෙම කර්මාන්තයේ බවලතුන්ගේ රාජකාරි නිමාව සටහන් කිරීමයි.

අප කොහු කතාව ඔබ වෙත දිගහරින්නේ අත්තම්මා කෙනකුගේ මතක අතරිනි. එ දවස ගම පුරා බොහෝ දෙනාට පොල්ලෙලි දහස් ගණනින් ගෙනැවිත් තලන්නට දුන්නේ ඇය විසිනි. අපි පසුගිය සතිවලදී එම කතාව ඔබට කීවෙමු. මෙලෙස තලා නෙළා අඹරා මිටි බැඳුණේ  ඒ ලෙලිවලින් ගත් කොහුය. ගම්මානයේ බොහෝ තැන්වල මෙම රාජකාරි සිදුවිය.

බටහිර වෙරළේ වූ මොරගල්ල ගම්මානයේ ලණු ඇඹරීම අප කතාවට නිමිති සැපයීමේදී ප්‍රමුඛ වුවද අවට සෙසු ගම්මානවලද කොහු ඇසුරින් විවිධ කටයුතු සිදුවිය. කොසු බැඳීම ඒ අතරින් ප්‍රධානය. එකල කොසු බඳින්නට දත් කිහිප දෙනෙක් මේ ගමෙහි ද සිටියහ. එකල කොසු බැඳීම සඳහා ලෙල්ල තැලීම සිදුකළේ විශේෂිත ආකාරයකටය. එය සැමට එක ලෙස කිරීමට පහසු වූවක් නොවිණි. පාපිසි හෙවත් බුමුතුරුණු සැකසීම ද අවට ගම්මානවල ගෘහ කර්මාන්තක් විය. තවත් බොහෝ දෑ වෙනුවෙන් කොහු භාවිතයට ගැනුණි. එහෙත් කාලයත් සමඟ මෙකී කර්මාන්තය වෙරළකරයේ පිහිටි මෙම ගම් දනව්වලින් වියැකී ගියේය.

ලණු මිටි සියල්ල පොල්ලෙලි බෙදනු ලැබූ අයගේ ගෙදරට එකතු වෙයි. එම නිවෙසේ, ගමේ නන්දෙසින් ගෙන ආ ලණු කන්දරාවක් වෙයි. එකල බේරැවල විසූ සුවිශේෂී චරිතයක් වූ ජුසේ වාස් උන්නැහේ අඹරාව බැඳි විසල් කරත්තයෙන් මෙම ලණු එකතු කිරීමට මොරගලු ගමට පැමිණෙයි. මෙම කරත්තය ලොකු ගොනකු බැඳි විසල් කරත්තයකි. අඹරාව යනු ඊට ඇතිරූ වහළයයි. සියලු ලණු මිටි මෙම කරත්තයට පටවනු ලබයි. පසු කලෙක ඔහු ගමට පැමිණියේ ලොරියෙනි. මෙසේ එකතු කරගත් ලණු ඔහු රැගෙන යයි. ඒවායින් කඹ ඇඹරීම සිදුකර එම කඹ මීගමුව, යාපනය ආදී ප්‍රදේශවලට යවනු ලැබීය. ඇතැම් පැරැණ්නන්ට අනුව මෙම කඹ රට පැටවීමක් ද එම වකවානුවේ සිදුව තිබේ.

රා කර්මාන්තයට අවශ්‍ය අතුරු මාගවල් සෑදීමට, රා බෑම ආදියට අවශ්‍ය යොත් සෑදීමට ලණු අත්‍යවශ්‍ය විය. එමෙන්ම ධීවර කර්මාන්තයට අවැසි යොත් දැල් ආදිය සඳහා ලණු මෙන්ම කඹ ද අත්‍යාවශ්‍ය විය. බේරුවල කඹ ඇඹරීම සඳහා කර්මාන්ත ශාලාවක් ද තිබූ බව කියැවේ.

අපට මේ කතාව කී අත්තම්මාට ලණු කැරළි සියයක් විකිණීමෙන් රුපියල් දෙකක ලාභයක් විය. ඉතිරිය ලෙලි තැලූ, ලණු ඇඹරූ පිරිස අතර බෙදී යයි. එකල දරුවන් ඇතිදැඩි කිරීමට අම්මාවරුන්ට මෙම කර්මාන්තය මහත් සවියක් විය. කාලයාගේ ඇවෑමෙන් මෙම කර්මාන්තය ගම්මානයෙන් වියැකී ගියේය. දැන් ගම්මානයේ බොහෝ ළාබාල කතුන් මෙවන් ලණු අඹරන්නට තබා, මෙවන් අතීතයක් මෙහි තිබූ වගද දන්නේ නැත. සාමූහික අව්‍යාජ බව පිරී තිබුණු සුන්දර අතීතයක මතකයන් පමණක්ම අද අපට ඉතිරිව පවතී. අපි ඔබව  අතීතයට ගෙන ගිය සති තුනක චාරිකාව මෙතෙකින් නිමා කරමු.

විශේෂ ස්තූතිය - පානදුර ඇලඩින්  නෝනා මහත්මියට

►චමිඳු නිසල් ද සිල්වා