2019 ජනවාරි 19 වන සෙනසුරාදා

ගලහ රෝහලට අසාධ්‍යයි

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 92

මධ්‍යම පළාතේ ඉතා දුෂ්කර වූ ප්‍රදේශයක පිහිටි මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන බව කියන ගලහ රෝහල ප්‍රදේශයේ පනස් දහසක ජනතාවට සේවය සලසන්නේ නැති සෞඛ්‍ය ආයතනයක් බවට පත්ව තිබේ.

1962 වසරේදී එවකට සිටි ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ටී.බී. ඉලංගරත්නයන් විසින් ආරම්භ කරන ලද ගලහ ප්‍රාදේශීය රෝහල ගම්මාන රැසක ජනතාවගේ සෞඛ්‍යය උදෙසා අමිල වූ මෙහෙවරක් ඉටුකළ බව ප්‍රදේශයේ ජනතාව පවසති. අක්කර 18ක භූමි ප්‍රදේශයක ඉදිවූ මෙම රෝහල අද නොහික්මුණු නූගත් නරුම මිනිසුන් කීපදෙනකුගේ ප්‍රචණ්ඩත්වය නිසා පාතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ ගලහ දෙල්තොට ජනතාවට අහිමි වී ගොස් ඇත.

හල්ඔය, වාරියගල, ගුරුකැලේ, පල්ලේ දෙල්තොට, මස්ගොල්ල, මුල්ගම, පුපුරැස්ස, එනින්, ලෙවලන්ඩ්, උඩ දෙල්තොට, තුන්පැලවක, මොරහේන, ගලහ යන ගම්මානවල ජනතාවගේ සෞඛ්‍ය සේවා පහසුකම් සැපයූ ගලහ ප්‍රාදේශීය රෝහල වසා දැමීමට හේතුවූයේ මැර පිරිසක් විසින් රෝහල් පරිශ්‍රයට කඩාවැදී එහි දේපලවලටත් වෛද්‍යවරුන්ගේ වාහනවලට සහ දේපලවලටත් පහරදී අලාභ හානි සිදුකිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. රෝහලේ වෛද්‍යවරු එම සිදුවීමෙන් පසු සේවයෙන් ඉවත්වූහ.

මෙහි දැනට සේවය සඳහා පත්කර ඇත්තේ එක් ලියාපදිංචි වෛද්‍යවරියක් පමණි. ඇයටද නිල නිවාසයක් නැත. වෛද්‍යවරු නිල නිවස ලෙස භාවිතා කළේ රෝහලේ මුළුගැන්ගෙය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලය.

මෙම රෝහලට හෙද හෙදියන් නැත. පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් (වින්නඹු මාතාවක්) නැත. ඖෂධ නිකුත් කිරීමට ඖෂධවේදියෙක් නැත. නමුත් කණිෂ්ඨ සේවක මණ්ඩලය 15කි. බාහිර රෝගීන්ගේ අංශය අකර්මණ්‍ය වී තිබේ.

දැනට ප්‍රදේශයේ රෝගීහුන් වෙනත් රෝහල් කරා ඇදී යති. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවාවේ වගකිවයුතු නිලධාරීන් නිලධාරිනියන් රජයේ නිල වාහන පහසුකම් භූක්ති විඳිමින් වායුසමීකරණය කළ කන්තෝරු කාමර තුළට වී තීන්දු තීරණ ගනිමින් ලිපි කඩදාසිවලට අත්සන් කරමින් ජනතා මුදලින් මාස් පතා සියලු දීමනා සහිත වැටුප් ලබමින් සතුටින් කාලය ගත කරති. එහෙත් ගලහ ප්‍රාදේශීය රෝහල වසා දමා මාස 05 ක  පමණ කාලයක් ගත වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කඹ ඇදිල්ලක යෙදී සිටියදී පාත හේවාහැට මැතිවරණ කොට්ඨාසයේ ගලහ දෙල්තොට අසරණ ජනතාව හදිසි රෝගී තත්ත්වයන් ඇතිවූ අවස්ථාවකදී නිසි ප්‍රතිකාර නොලබා මහමග මරු දකිති.

ගලහ රෝහල අකර්මණ්‍ය තත්ත්වයේ පැවතීම නිසා අසාධ්‍ය වූ ගැබිණි මාතාවක් හෘද රෝගියෙක්, දුරබැහැර රෝහල් කරා ගෙනගිය අවස්ථාවන්හි වාහන තුළම (ත්‍රිරෝද රථය තුළ) මරණයට පත්වූ බව ගලහ ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති කන්දේවෙල නාරද හිමියෝ අප හා පැවසූහ.

රෝහල වසා දැමීම නිසා රෝගීන් බොහෝ දෙනා මුදල් වියදම් කරගනිමින් පේරාදෙණිය රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගනිති. දැනට මෙම රෝහලේ මනා ගොඩනැගිලි දිරාපත් වෙමින් යයි.

ප්‍රචණ්ඩකාරීව හැසිරුණු මැර පිරිසක් රෝහලට කඩාවැදී එහි වටිනා වෛද්‍ය උපකරණ (දන්ත අංශයේ) කඩා බිඳ දමා අලාභ හානි සිදුකර තිබේ. මේ සම්බන්ධව මධ්‍යම පළාතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලොකු පුටුවල සුවසේ වැජඹෙන උසස් යැයි පවසන නිලධාරීන් හා නිලධාරිනියන් නිහඬය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ගලහ රෝහලට ගොස් එහි නිරීක්ෂණයක යෙදී අවට ජනතාව හමුවී සිංහල බසින් හා දෙමළ බසින් ජනතාව අමතා (වතු කම්කරු හා මුස්ලිම් ජනතාවද) ගලහ රෝහලේ අඩුපාඩු කඩිනමින් සපුරා දී ප්‍රදේශයේ ජනතාවට සේවාව සලසාදීමට පියවර ගන්නා බවට ප්‍රතිඥා දුන්නේය.

වෛද්‍යවරුන්ට නිල නිවාස නැති හෙද කාර්ය මණ්ඩලයට නිල නිවාස නැති ගලහ රෝහල ප්‍රදේශයේ අසරණ ජනතාව වෙනුවෙන් යථා තත්ත්වයට පත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා කඩිනම් පියවර ගනු ඇතැයි ප්‍රදේශයේ ජනතාව දැඩි අපේක්ෂාවකින් පසුවෙති.

ගලහ ප්‍රාදේශීය රෝහල සංවර්ධනය කිරීම තුළින් මහනුවර, පේරාදෙණිය, දෙල්තොට යන රෝහල්වල රෝගී තදබදය අඩුකරගත හැකි බව පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ උප සභාපති අමිල සම්පත් බණ්ඩාර මහතා පැවසීය.

අසාධ්‍ය තත්ත්වයට පත්වූ කුඩා දරුවකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම දරුවා මරණයට පත්වීම නිසා කුපිත වූ වතු කම්කරු පිරිසක් පසුගිය ජූලි 28 වැනි දින ගලහ රෝහල් පරිශ්‍රයට කඩාවැදී පහරදීමෙන් පසු රෝහලේ වෛද්‍යවරු සිය සේවාවෙන් ඉවත්වූහ. එදින සේවයේ යෙදී සිටි එක් වෛද්‍යවරයකු මැරවර ප්‍රහාරයෙන් බේරාගැනීමට පොලීසියට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.

මෙම ප්‍රහාරයත් සමඟම ගලහ පොලිසිය පුද්ගලයන් 23ක් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට පොදු දේපල පනත යටතේ ඔවුනට නඩු පවරා තිබේ. එහෙත් සිද්ධියට ඍජුව සම්බන්ධ වූ සැකකරුවන් දෙදෙනෙක් නිදැල්ලේ හැසිරෙන බවත් ඔවුනට ඇතැම් දේශපාලනඥයන් කීප දෙනකුගේ සහාය ලැබෙන බවද ප්‍රදේශවාසීහු කියති.

මධ්‍යම පළාත් සභාවද විසුරුවා හැර තිබෙන අවස්ථාවක මධ්‍යම පළාතේ සෞඛ්‍ය අමාත්‍යවරයකු ද නැති පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ ඒකාධිපති පාලනයට නතු වූ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිදු වගකිවයුතු නිලධාරියෙක් හෝ නිලධාරිනියක් මාස පහක් තිස්සේ වසා දමා තිබූ ගම්මාන 28ක ජනතාවට සේවාව සලසාදීමට තිබෙන ගලහ ප්‍රාදේශීය රෝහලේ අර්බුදය විසඳීමට නොපැමිණි බව ප්‍රදේශයේ ජනතාව පැවසූහ.

අධිරැධිර පීඩනය ඇති රෝගීන් 500ක් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි, ප්‍රදේශයේ ගැබිණි මවුවරුන්ට නිරැපද්‍රිතව දරුවන් බිහිකිරීමට පිහිට වන ගලහ ප්‍රාදේශීය රෝහල සම්පූර්ණයෙන් විවෘත කර අඩුපාඩු සපුරාදීමට පළාත් දේශපාලන අධිකාරියත් අදාළ වගකිවයුතු රාජ්‍ය නිලධාරීනුත් කඩිනම් පියවරක් නොගතහොත් ගලහ දෙල්තොට ජනතාවට සිදුවන්නේ අසාධ්‍ය රෝගී තත්ත්වයක් ඇතිවුවහොත් මහමග මරණය හිමිකර ගැනීමට පමණි.

►ජේ.ඒ.එල්. ජයසිංහ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00