2019 ජනවාරි 19 වන සෙනසුරාදා

මිනිස්සුන්ටත් හැදෙන්න පුළුවන් බලු ලෙඩේ

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 251

පසුගිය වසර ගෙවී යන්නේ චාලිගේ හදකම්පාවන පුවතත් සමඟය. මීගමුව කොප්පරා හන්දිය ප්‍රදේශයේ කාටවත් කරදරයක් නොමැතිව ජීවත් වූ අහිංසක බලු පැටියා මිනිස් වෙසින් ජීවත් වූ තිරිසනකුගේ ක්‍රියාවක් හේතුවෙන් මිය ගියේය.

චාලි එලෙස කෘෘර වදහිංසාවක් හේතුවෙන් මිය යද්දී මීට මාස එකහමාරකට පමණ පෙර බලංගොඩ ප්‍රදේශයේ නිවසක ජීවත් වූ ඇල්ශේෂන් සුනඛයෙක් සොයාගත නොහැකි වූ රෝගයකින් මිය ගියේය. පළමුව නිවසේ හිමියන් මෙම සුනඛයා ඒ ප්‍රදේශයේ අදාළ පශු වෛද්‍ය නිලධාරියා වෙත ගෙනගොස් තිබිණි. මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වූයේ ඇස් සුදු පැහැ ගැන්වීමයි. මේ හේතුවෙන් සුනඛයාගේ ඇස් අන්ධ වී තිබුණි. එපමණක් නොව සුනඛයාගේ ශරීරය අධිකව කෙට්ටු වී තිබුණි.

“බලංගොඩ පශු වෛද්‍ය නිලධාරින්ගේ මාර්ගයෙන් මෙම ඇල්ශේෂන් බල්ලා පේරාදෙණිය පශු ශික්ෂණ රෝහලට වාර්තා වුණා. රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් පසුව මෙම සුනඛයාට ට්‍රිපනසොමා (Trypanasoma) රෝගය වැළදී ඇති බව අපි විසින් සොයාගනු ලැබුවා. මෙම රෝගය වැළඳුණු සතෙකු මීට පෙර අප රට තුළින් සොයාගෙන තිබුණේ නැහැ.”

යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාල පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල මහතා දේශයට පැවසීය.

කෙසේවුවද කොයිතරම් උත්සාහ ගත්තද අවසානයේදී එම ඇල්ශේෂන් බල්ලාගේ ජීවිතය බේරාගැනීමට නොහැකි විය. ටික කලක් ගතවිය. එවැනිම රෝග ලක්ෂණයක් පවතින තවත් සුනඛයෙකු මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා විය. එම සුනඛයාවද ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරීහු පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට බාරදුන්හ. ඒ වනවිටත් එම සුනඛ්‍යා ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවිය. කොයිතරම් ප්‍රතිකාර කළද එයින්ද එම සුනඛයාවත් බේරාගැනීමට නොහැකි විය.

මෙම ට්‍රිපනසොමා රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ සුනඛයාගේ ඇස් අන්ධ වීමත්, අධික ලෙස කෙට්ටු වීමත්ය. එමෙන්ම වෙනදාට දුව පැන සෙල්ලම් කරන සුනඛයෝ මෙම රෝගය වැළදුණු සැණින් ඉතා අලසකමක් පෙන්නුම් කරති.

“ට්‍රිපනසොමා රෝගය වර්ග කිහිපයක් තියෙනවා. මෙම රෝගය පතුරවන්නේ ටෙට්ස (Testse fly) නම් මදුරුවාය. සාමාන්‍යයෙන් ට්‍රිපනසොමා රෝගය මිනිසුන්ට ද ඇතිවෙනවා. මේ වනතුරැ මෙම “ටෙට්ස” නම් මදුරුවා ලංකාවේ ඉන්න බවට හොයාගෙන නැහැ. නමුත් මෙම සුනඛයන්ගේ රෝග තත්ත්වය වාර්තාවීමත් සමඟ වෙනත් පීඨ හා එකතුවෙලා මෙම ටෙට්ස මදුරුවා ඉන්නවාද කියලා හොයාගෙන යනවා. විශේෂයෙන් බලංගොඩ ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරින් හා එක්ව ප්‍රදේශයේ අනෙකුත් සුනඛයන්ටත් මෙම රෝගය ඇතිවෙලා තියෙනවාද කියලා අපි දැනටමත් හොයාගෙන යනවා.” 

යැයි මහචාර්ය අසෝක දංගොල්ල වැඩිදුරටත් දේශයට පැවසීය.

මේ අනුව මෙම රෝගය පැතුරවන ටෙට්ස මදුරුවා මෙන්ම කියුලෙක්ස් මදුරුවා සම්බන්ධව ද පරීක්ෂණ අරඹා ඇත.

මේ වනවිටත් මියගිය සුනඛයන් දෙදෙනාගේම රුධිර සාම්පල් දෙකක් ජ්‍යෙෂ්ඨ මහචාර්ය රාජපක්ෂ මහතාට බාරදී ඇත. ඒ අනුව ඉතා ඉක්මනින් මෙම සුනඛයන් දෙදෙනාට වැළඳී තිබූ ට්‍රිපනසොමා වර්ගය කුමක්දැයි සොයාගැනීමට හැකිවනු ඇත. එමඟින් එම රෝගය මිනිසුන්ට වැළඳීමට හැකියාවක් පවතීද යන්න පිළිබඳව නිශ්චිතවම තීරණයකට ඒමට හැකිවනු ඇත.

අතීතයේදී බොහෝ දෙනෙකුගේ නිගමනය වූයේ බරවා රෝගය සතුන්ට පමණක් වැළඳෙන රෝගයක් පමණක් බවය. නමුත් කල්යාමත් සමඟ එය මිනිසුන් තුළද ව්‍යාප්ත වූ අතර වර්තමානයේදී සතුන්ට වඩා බරවා රෝගීන් පිරිසක් වාර්තා වී ඇත. මේ නිසා මේ පිළිබඳව අඩු සැලකිල්ලක් දැක්වීම කිසිසේත් සිදු නොකළ යුතු දෙයකි.

ඉදිරියේදී ලැබෙන රුධිර සාම්පල් පරීක්ෂණ ප්‍රතිඵලයට අනුව එම රෝග තත්ත්වය නිවැරදිව තීරණය කළහැකිය. මේ අනුව ඇතැම් විට ඉදිරියේදී පශු වෛද්‍යවරුන්ට තවත් වගකීමක් එකතුවනු ඇත.

මෙම රෝගය හා රෝග වාහකයා වන මැසි මදුරුවන් සම්බන්ධව කරනු ලබන පරීක්ෂණවලින් ලැබෙන ප්‍රතිඵල අනුව ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරන බවත් මේ පිළිබඳව සෑම නිවසකම ජීවත් වෙන නිවැසියන්ට වගකීමක් ඇති බවත් මහාචාර්ය අසෝක දංගොල්ල පැවසීය.

“ට්‍රිපනසොමා රෝගය පිළිබඳව අපි අවධානයෙන් සිටීම ඉතා වැදගත්. ප්‍රධාන රෝග ලක්ෂණවලින් පෙළෙන සතෙකු ඔබේ නිවසේ හෝ ඔබේ වටපිටාවේ සිටීනම් වහාම ඒ පිළිබඳව අදාළ පශු වෛද්‍ය නිලධාරියෙකු දැනුවත් කරන්න. මෙම රෝගය අප්‍රිකානු රටවල්වල බහුල වශයෙන් පවතිනවා. බොහෝ වෙලාවට ඒ රටවල්වල මේ රෝගය සතුන්ටත් වඩා මිනිසුන්ටත් වැළදී තිබෙන්නේ ඒ රටවල්වල මෙම රෝගය  සාමාන්‍යයෙන් පවතින ලෙඩක්. විශේෂයෙන් ඒ රටවල්වල මෙම ටෙට්ස මදුරුවා බහුලව පවතිනවා. නමුත් අපේ රටේ ඒ ටෙට්ස මදුරුවා නැතිවීම නිසා රෝගය වැළඳීමක් ඇතිවෙන්නේ නැහැ. ඇතැම් විට මෙය කියුලෙක්ස් මදුරුවාගෙන් ඇතිවෙන්නත් පුළුවන්. කෙසේ වුවත් ඉදිරියේදී ලැබෙන පරීක්ෂණ වාර්තාවක් සමඟ එම තත්ත්වය තීරණය කිරීමට පුළුවන්.” යැයි මහාචාර්ය අසෝක දංගොල්ල දේශයට පැවසීය.

කෙසේවුවද මෙම රෝගය සඳහා ප්‍රතිජිවක ඖෂධ පවතින අතර එවැනි සුනඛයෙකු සිටීනම් වහාම පශු වෛද්‍ය නිලධාරියෙකුට හෝ පේරාදෙණිය පශු ශික්ෂණ රෝහලට වාර්තා කරන ලෙසද ඔහු වැඩිදුරටත් පවසයි.

දිශානි ජයමාලි කරුණාරත්න