2019 ජනවාරි 12 වන සෙනසුරාදා

තමන්ගේ ඇඳුම් සේල් දමා සල්ලි පිනට දෙන එල්ටන් ජෝන්

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

එංගලන්තයේ ලොකුම වෙන්දේසිකරුවා හැටියට ප්‍රසිද්ධ Sotheby ආයතනයේ ලොක්කා ද එදා තක්කු මුක්කු වී ගියේ මහා මන්දිරය තුළ ගොඩගසා තිබූ බඩු භාණ්ඩ තොගය දැකිමෙනි. පැරුණි වින්ඩ්සර් වතුයායේ රැජනගේ මාලිගාව පෙනෙන දුරින් වූ මේ මන්දිරය තුළ විවිධ ඉපැරැණි චිත්‍ර සහ ඡායාරූප ද ඇතුළත් කෞතුක භාණ්ඩ 2000කට අධික සංඛ්‍යාවක් අංක ගසා පොදි ගසා තිබුණි. මේ බඩු තොගයට ගැනුම්කරුවන් අතර ඇති වූ පොරය නිමාවන්නට පුරා දින තුනක්ම ගත වූයේය. එදා ඔය සිද්ධිය වූ 1988 අවුරුද්දේ Sotheby ආයතනයේ ලොක්කා ගෞරි සාමිවරයා අපූරු අනාවැකියක් කීවේය. මේ බඩු තොගය අයිති “යුගයේ මහා කලා සහ කෞතුක භාණ්ඩ රැස් කරන්නා” වැඩි කල් නොගොස්ම තවත් භාණ්ඩ තොගයක් ගොඩ ගසා ගන්නවා නිසැක බවටය. 2003 අවුරුද්දේ හොලන්ඩ් පාක් ප්‍රදේශයේ මන්දිරයකදී මේ අනාවැකිය සනාථ විය. එදා  Sotheby ආයතනයේ හාදයින් හට රුපියල්වලින් 186 833 055.31ක නැතිනම් පවුම් ලක්ෂ 08ක බඩු තොගයක් වෙන්දේසි කරන්නට සිදුව තිබුණි.

ඉතින් “යුගයේ මහා කලා සහ කෞතුක භාණ්ඩ රැස් කරන්නා”ලෙස මෙන්ම මහා පරිමාණ වෙන්දේසි දමන්නා හැටියට ද අමුතු කීර්ති නාමයක් දිනාගත්, එසේම රජ පවුලේ ළඟම හිතවතකු වන මේ තැනැත්තාම එංගලන්තයේ සල්ලිකාර සින්දුකාරයන් අතර 10වැනියා ලෙස 2011දී නම් කර තිබුණි. ඉතින් බැලූ බැල්මටම සල්ලි පොදි ගසන්නෙක් ලෙස පෙනෙන මේ හාදයාම රුපියල් මිලියන 10509.36 ක සල්ලි මල්ලක් පිනට දී යුගයේ මහා වසංගතය AIDS ගොදුරු බවට පත් වූවන් සඳහා තමන්ගේ නමින් පුණ්‍යායතනයක් ද ඇරඹුවේය. තමන්ගේම වූ සුවිශේෂී ජීවන විලාසිතාවක් ගොඩනඟාගත් ඔහු, එංගලන්ත සංගීත ක්ෂේත්‍රයේ මහා ගාන්ධර්වයා ලෙස ද දැක්විය හැකි සර් එල්ටන් ජෝන්ය.

ලන්ඩනයේ පිනර් ප්‍රදේශයේ වසර 1947 මාර්තු මස 25දා උපන් රෙජිනෝල්ඩ් කෙනත් ඩ්වයිට් ඉතා කුඩා වියේදීම පියානෝ වාදනය හුරු කර ගත් තැනැත්තෙකි. සිය ආච්චි අම්මාගේ පියානෝව තනිව වයන්නට උගත් ඔහු  1967 වනවිට සංගීත ලෝකයේ නමක් දිනා සිටියේ එල්ටන් හර්කියුලස් ජෝන් හැටියටය. නිවසේ ඔහුට සංගීත හිතකාමී පරිසරයක් ගොඩනැගී තිබුණි. රාජකීය ගුවන් හමුදාවේ සේවය කළ පියා ට්‍රම්පට් වාදනයට දස්කම් දැක්වූවෙකි. රොක් සංගිතයට වහ වැටුණ කුඩා එල්ටන්ට අම්මා එල්විස් ප්‍රෙස්ලි බිල් හේලි දින්ගේ තැටි ගෙනැවුත් දුන්නාය. අවුරුදු හත වන විට පවුලේ සහ හිතවතුන්ගේ පාටි සහ බාල්වල නැතිවම බැරි පියානෝ වාදකයා බවට එල්ටන් පත්විය. ඔහු ශ්‍රවණය මගින් නාද රටා හඳුනා එතෙක් දැක්වු වාදන හැකියාව ක්‍රමවත් සංගීතය හැදෑරීමක් දක්වා දීර්ඝ කර ගත්තේ වයස 7 සිටය.

තමන්ගේ වස්තු කන්දරාව හිතේ හැටියට අත දිගහැර පිනට දෙන අන්දමට පැහැදුණු මහ රැජන ඔහුට ශ්‍රිමත් පදවිය පිරිනැමුවේය.ලෝ පරසිඳු ගීත රැසක් නිමවූ ඔහු ඒ සඳහා ආධාර කර ගත්තේ සිය හිත මිතුරු බර්නි ටොපින්ය. මේ පසුගිය දශක පහ තුළ එල්ටන් තමන්ගේම ගීත ඇල්බම් 30කට වැඩි ගණනක් එළි දක්වා හමාරය. ඒවා ලෝකය පුරා මිලියන 300ත් පන්නා අලෙවි වාර්තා තබා ඇත.

සිය ළඟම හිතවතියකව සිටි ඩයනා කුමරිය වෙනුවෙන් නැවත පද සකස් කර ඔහු ගැයු “Candle in the Wind 1997” ගීතය අමෙරිකාවේ මෙන්ම එංගලන්තයේ ද වැඩිම අලෙවි වාර්තා තැබූ ඒ ගීතයයි. එහි තැටි පමණක් මිලියන 33කට වඩා විකිණී ඇත. 2009දී එම අලෙවි ගිනස් වාර්තා පොතට ද එක්විය. ඔහු සංගීතය නිර්මාණය කරන්නෙක්, ගීත ඇල්බම් නිෂ්පාදකයෙක්, චිත්‍රපට නළුවෙක්, ආදී විවිධ දක්ෂතා දක්වන්නෙකි. ඔහුගේ ගීත සහ සංදර්ශන මගින් මුදල් ගලා එන්නෙ මුහුද ගොඩ ගලන්නා සේය. මේ නිසා අතදිග හැර වියදම් කරන ඔහු ලෝකයේ දුර්ලභ භාණ්ඩ රැස් කරන්නෙකි. ඔහු වඩාත් ප්‍රසිද්ධ චිත්‍ර කලාකෘති එකතු කරන්නෙකු හැටියටය. ඔහු සතුව ලෝකයේ හොඳම ජායාරූප එකතුව ද තිබේ. ඒ හැර වටිනා ගෘහභාණ්ඩ රන්බඩු අභරණ ද මහා එකතු ඔහු සතුය. මේ සියලු දෙය උන්හිටි හැටියේ සේල් දමන්නෙකු ලෙස ද එල්ටන් ප්‍රසිද්ධය. එසේ ලැබෙන මුදල් පුණ්‍යායතන වෙත දෙන්නට ද ඔහු දෙවරක් සිතන්නෙ නැත.

ඔහු සතු හොලන්ඩ් පාක් ප්‍රදේශයේ මන්දිරය එල්ටන්ගෙ ජීවිතයේ කඩඉම් රැසකට බලපෑ තැනකි. තමන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නකු බව පිළිගන්නා එල්ටන් එයින් මිදීමට උත්සාහ දැරුවේ මේ මන්දිරය තුළ වෙසෙන අතරය. තමන් සමරිසියකු බව ලොවට නොසඟවන ඔහු සිය ලබැඳියන් දෙදෙනකුම ඒඩ්ස් ගොදුරු බවට පත්වු පසුව සිය නමින්ම ඒඩ්ස් පදනමක් අරඹා තිබේ. සමරිසියකු වන තමා ගිල ගන්නට ඒඩ්ස් මාරයා අපොහොසත් වීම ඔහු පිළිගන්නේ ද හාස්කමක් ලෙසටය. තමන්ගේ මන්දිර තුළ රැස් කළ වස්තු සම්භාරයන් මෙන්ම තමන් සතු අ‍ලෙවි කළ හැකි හැම දෙයම, කමිස කලිසම් කබාවල සිට බී.එම්.ඩබ්ලිව්. රථ දක්වා සියල්ල සේල් දමා ඒඩ්ස් පදනම ප්‍රමුඛ සුබසාධන වැඩට දන්දීම අතින් ඔහු ප්‍රසිද්ධය.

එල්ටන් පාපන්දු ලෝලියෙකි. ඔහු පාපන්දු කණ්ඩායමක හිමිකරුවෙක් හැටියට කටයුතු කළේය. ඒ 1976 සිට 1987, දක්වා සහ 1997 සිට 2002 දක්වාය. ඔහුට හිමිව තිබුණේ Watford Football Club කණ්ඩායමයි. මේ කණ්ඩායමේ යාවජීව සභාපති ලෙස සිටින්නේ ද ඔහුය. සමරිසියකු ලෙස ලබැඳියන් දෙදෙනකු හා ජීවිතය ගත කළ එල්ටන් සමරිසි විවාහ 2014 සිට නීතිගත වූ විට සිය ලබැඳියා වූ කැනේඩියානු ජාතික චිත්‍රපට නිෂ්පාදක ඩේවිඩ් ෆර්නිෂ් සමඟ විවාහ විය. පුතුන් දෙදෙනෙක් දරුකමට ගත් එල්ටන් දේව පියා හැටියට කටයුතු කරන දරුවන් ගණන 10කි.

2011 වසරේ බ්‍රිතාන්‍යයේ සල්ලිකාර සින්දුකාරයන් අතර 10 වැනි තැනට එල්ටන් නම් කර තිබුණේ වත්කම පවුම් මිලියන 195ක් ලෙස සලකාය. එය රුපියල්වලින් ගැන බලන විට මිලියන 45243.19 කි. එල්ටන් සතු ප්‍රධාන නිවස වුඩ්සයිඩ් හි ඇති පැරණි වින්ඩ්සර් නිවසයි. ඒ හැර ඔහුට බෙවර්ලිහිලස්, ඇට්ලන්ටා, ලොස්ඇන්ජලිස්, නිස්, ලන්ඩන් හොලන්ඩ් පාක් සහ වැනිසියේ නිවාස පවතී. ඔහුට වෙනම ජෙට් යානයක් ද පෞද්ගලික හෙලිකොප්ටරයක් ද පවති. හර්කියුලස් නම් වූ විනෝද යාත්‍රාව පිරිමි මිතුරන් හා මුහුදු සවාරියට වෙන් කර තිබේ. 2000 වසරේ වාර්තාවකට අනුව ඔහු එකල මසකට රුපියල් මිලියන 348.02ක් වියදම් කර තිබේ. 96-97 වසර තුළ මල් සඳහා පමණක් ඔහු රුපියල් 67 980 790.96ක් වැය කර තිබේ. 2001 ජුනි මාසයේ ඔහු තමන්ට අයත් කාර් 20ක් විකුණා දැම්මෙ නිතර රට යන නිසා ඒවා භාවිතයට ඉඩ නොලැබෙන බව කියමිනි. 93 මාදිලියේ Jaguar XJ220, රථය පමණක් රුපියල්  54 465 838.49  වටිනා බව සඳහන්ය. Ferrari, Rolls - Royces සහ Bentley රථ ගණනාවක් ඒ අතර විය. මෙයින් ඔහු ලද ආදායම පමණක් රුපියල් මිලියන 464.03කි. මෑතකදි ඔහු සතුව තිබූ රුපියල් 58 004 087.85ක් වටිනා 1997 V8 Vantage V550 මාදිලියේ Aston Martin රථයක් ද සේල් දමා තිබුණි. වසර 2004 සිට ඔහු "Elton’s Closet” ලෙස තමන්ගේ පරණ ඇඳුම් සේල් දමන්නට පුරුදු වී සිටියි.

සුගත් පී .කුලතුංගආරච්චි. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00