2019 ජනවාරි 12 වන සෙනසුරාදා

සංවර්ධනයේ අලුත් පිටුවක් පෙරළන නව ලග්ගල හරිත නගරය

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 166

මොරගහකන්ද කළුගඟ ජල යෝජනා ක්‍රමය යටතේ ඉදිකරන ලද ලග්ගල නව හරිත නගරය හා කළුගඟ ජලාශය පසුගිය 8 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

ඉපැරැණි ලග්ගල නගරය මේ වනවිට කළුගඟ ජලාශයට හා මොරගහකන්ද ජලාශයට යට වී ඇති අතර ඒ වෙනුවෙන් නව හරිත නගරයක් ලග්ගලදී ඉදිවිය. මෙහි විශේෂත්වය වන්නේ ලග්ගල නව නගරය නව හරිත නගරයක් ලෙස ඉදිවීමය. එමෙන්ම සියලුම රාජ්‍ය ආයතන අංගසම්පූර්ණ ලෙස ඇතුළත් කර තිබීමය.

විශේෂයෙන් අද ලෝකයේ හරිත සංකල්පය නව සමාජ වෙළෙඳපොළ ආර්ථිකය යටතේ විශේෂ සංකල්පයක් ලෙස වර්ධනය වෙමින් පවතී. එහෙයින් මෙම හරිත නගරය ජනතාවට පාරිසරික හිතවාදී පසුබිමක ජීවත්වීමට ලැබීමේ වටිනාකමක් එකතු කර තිබේ.

වාර්තා වන අන්දමට පෙර කාලයේ දඬුවම් ස්ථාන මාරුවීම් ලබාදෙන නගරයක් ලෙස ප්‍රකට ලග්ගල නගරය අද වනවිට ඉතා අලංකාර නගරයක් බවට පත්කරනු ලැබ තිබේ.

නව නගරය ඉදිවූයේ ජලාශය නිසා අවතැන් වූ පැරැණි නගරයේ ජීවත් වූ 3000කට ආසන්න පවුල් සඳහාය. නව නගරය ඉදිකර ඇත්තේ නවීන නාගරික සැලසුම් ක්‍රම අනුසාරයෙනි. නගරය ඉදිකිරීම සඳහා බිලියන 4.5ක මුදලක් ඇස්තමේන්තු කර ඇත. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යනු මෑත කාලයේ සිදුවූ විශාලතම බහුකාර්යය සංවර්ධන යෝජනා ක්‍රමය වශයෙන් හඳුන්වනු ලැබේ.

ලග්ගල නව නගරය හෙක්ටයාර 75ක භූමි ප්‍රමාණයක පැතිර පවතී. නව පොලිස් ස්ථානයක්, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජ්‍යෙෂ්ඨ පාසල් 3ක්, කනිෂ්ඨ පාසල් 2ක්, රෝහල් පද්ධතියක්, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක්, පොදු ක්‍රීඩාංගණයක්, වනජීවී කාර්යාලයක්, තැපැල් කාර්යාලයක්, පොදු වෙළෙඳ සංකීර්ණයක්, බස් නැවතුම්පොළක්, බැංකු හා මුල්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 26ක් පමණ ඉදිකර තිබේ. ගොඩනැගිලි 112ක් සඳහා මිලියන 2043ක් වැයකර ඇත. නගරය සැලසුම් කිරීමේදී නගරවාසීන්ගේ සියලුම සමාජ, ආර්ථික අවශ්‍යතා ඉටුකරගත හැකිවන ලෙස ක්‍රමිකව සැලසුම් කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා එක්ව ආපදා කළමනාකරණය හා අපද්‍රව්‍ය බැහැරකිරීමේ වැඩපිළිවෙළක් ද සකසා ඇත.

ලග්ගල නව නගරය ඍජුව දඹුල්ල නගරය හා සම්බන්ධ වන සේ මහාමාර්ග පද්ධතිය සකසා තිබේ. එයින් බලාපොරොත්තු වී ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායයන් ඍජුවම ලග්ගල නව නගරය හා සම්බන්ධ කර ආර්ථික හා ආයෝජන කටයුතු පහසු කරවීමය. මීට පෙර ලග්ගල නගරයට මාතලේ සිට යාමට පැය 4 ½ක් ගතවූ අතර නව මාර්ග පද්ධතිය නිසා පැය 1 ½කින් යා හැකිවීම ජනතාවට පහසුවකි.

ලග්ගල නව නගරය ඉදිකිරීමේදී ස්ථානය තෝරාගැනීම සිදුකරනු ලැබුවේ පැරණි ලග්ගල නගරවාසීන්ගේම යෝජනා වලිනි. ගඟ භූමියේ ස්වාභාවික සම්පත් උපරිම ලෙස ආරක්ෂා වන අයුරින් නගරය ඉදිකර තිබීම විශේෂ ලක්ෂණයක් වේ. පසුව සිදුකළ ඇස්තමේන්තු අනුවද හෙළිදරව් වූයේ ලග්ගල නගරය ඉදිකිරීම සඳහා තෝරාගත් ස්ථානය ස්වාභාවික ආපදාවලට පහසුවෙන් ගොදුරු නොවන බවය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන යෝජනා ක්‍රම නිසා නිවාස අහිමිවූවන්ට ලැබුණු වන්දි අතින් වැඩිම වන්දි ප්‍රමාණයක්, එනම් බිලියන 11ක් ලබාදී තිබෙන්නේ මොරගහකන්ද - කළුගඟ සංවර්ධන යෝජනා ක්‍රමය නිසා අවතැන් වූ ජනතාවට බව පැවසේ. ඊට අමතරව සෑම පවුලකටම අක්කර භාගයක භූමි ප්‍රමාණයක් නිවෙස් ඉදිකරගැනීම සඳහා ද, අක්කර 1 ½ක භූමි ප්‍රමාණයක් ගොවිතැන් සඳහා ද වෙන්කර දී තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ නව නගරය පැරැණි නගරයට වඩා සියලු ආකාරයෙන්ම තමන්ට පහසුවක් හා පහසුකම්ද සපයා ඇති බවය. මීට පෙර පැරැණි නගරයේදී නගරවාසීන්ට වගා කළ හැකිවූයේ එක් කන්නයකදී පමණි. නමුත් කළුගඟ ජලාශය ඉදිවීමත් සමඟ ගම්වාසීන්ට අවුරුද්ද පුරාම භෝග වගාවන් සිදුකළ හැකිවනු ඇත. දුම්බර මිටියාවත අස්වද්දන්නට කළුගඟ ජලාශයට හැකිවෙතැයි රජය බලාපොරොත්තු වෙයි.

ප්‍රදේශවාසීන් පවසන පරිදි පෙර ඔවුන්ට රෝහල් ගොඩනැගිල්ලක් පවා නොවූ අතර අද වනවිට ඔවුන්ට නවීන ඉලෙක්ට්‍රොනික බැංකු පහසුකම් ඇතුළු නවීන අංගෝපාංගවලින් සමන්විත නගරයක් ලැබී තිබීම භාග්‍යයකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවිප්‍රාප්තියේ සිව්වැනි වසර නිමිති කොටගෙන මෙම ව්‍යාපෘතිය විවෘත කරනු ලැබීය. පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව මෙම නගරය නවීන "උද්‍යාන නගර සංකල්පය" අනුව ඉදිකර තිබේ.

මෙම නව හරිත නගරයේ වෙන වෙනම කලාප පිහිටුවා අදාළ ක්ෂේත්‍ර වෙන්කර තිබීම සුවිශේෂී තත්ත්වයකි. ඒ අනුව පාසල් ඇතුළු අධ්‍යාපනික ස්ථාන, වෙළෙඳ ක්ෂේත්‍ර, සෞඛ්‍ය ක්ෂේත්‍ර, කෘෂිකාර්මික ක්ෂේත්‍ර, බැංකු හා මුල්‍ය ආයතන, රාජ්‍ය සේවා කටයුතු වශයෙන් කලාප වෙන්කර තිබේ. දැඩි දුෂ්කරතාවලින් හෙබි පැරැණි ලග්ගල නගරයේ ජනතාවට ශීඝ්‍ර දියුණුවක් හා සංවර්ධනයක් ළඟාකර දීමට මෙම ව්‍යාපෘතිය සමත්ව ඇත.

මෑත කාලයේ ලංකාවේ සිදුවූ විශාලතම බහුකාර්යය යෝජනා ක්‍රමය වූ මොරගහකන්ද ව්‍යාපෘතියේ අතුරැ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. මේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 60,000ක මුදලක් ආයෝජනය කර ඇත.

කෙසේ වුවද ලග්ගල නව නගර ව්‍යාපෘතියට ආරම්භයේදී පැරැණි නගරවාසීන් විරෝධය දක්වා ඇති බවද පසුව සියලු අංගෝපාංග සහිත මෙම නවීන හරිත නගරය හා උද්‍යාන නගර සංකල්පය කෙරේ ජනතාව පැහැදී ඇති බවද මෙම ව්‍යාපෘතිය ජනගත කරන දිනයේදී සටහන් කරනු ලැබීම වටී. ඉදිරියේදීද මෙහි ගුණ දොස් තවත් අපට ලියන්නට ඉඩහසර තිබෙනවා ඇත.

 එම්. ඉෂාක්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00