2019 ජනවාරි 12 වන සෙනසුරාදා

මහනුවර මහ ගිනිදැල් මැද රාමරාජ්ගේ වික්‍රමය

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 12:30 157

මහනුවර නගරය පමණක් නොව මුළු රටේම කතාබහට ලක්වූ “ඛේදවාචකයකින් අවසන් වීමට තිබූ මහ ජීවිත විනාශයක් වළක්වා ගැනීමට අභීත පියකුගේ දක්ෂතාවය නිසාම ඇතිවූ සිදුවීම මහනුවර නගරයේ ජනතාවගේ සිත්සතන් තුළ තවමත් පැළපදියම් වී තිබේ.

වගකිව යුතු රාජ්‍ය ආයතනවල ඇතැම් අංශවල ප්‍රමාදයන් සහ මන්දෝත්සාහී භාවය නිසාම තම තමන්ගේ දරුපවුලත් බිරිඳත් තමන්ගේ ජීවිතයත් අවදානමකින් බේරාගන්නට, මහනුවර, යටිනුවර වීදියේ පිහිටි මහල් පහකින් යුත් පෞද්ගලික වෙළඳ සංකීර්ණයක තාවකාලිකව පදිංචි වී සිටි රන් භාණ්ඩ නිපැයුම් කාර්මියකු වූ ආර්. රාමරාජ් මහතාට සිදුවිය.

මහනුවර නගරයේ යටිනුවර විදියේ පිහිටි මහල් පහකින් යුත් වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලක හදිසියේ ඇතිවූ ගින්නත් සමඟ පීතෘත්වයේ සහ මනුෂ්‍යත්වයේ “මහිමය" මුළු ලොවටම කියාපාන අපූරු සිදුවීම් රැසක්ම ඇති විය.

බොහෝ දෙනෙකුට අදහාගත නොහැකි වූ දසුන් වැලක් සමඟ ගින්න පැතිර ගිය ගොඩනැගිල්ලේ පහත භූමියේ රැඳී සිටි කාන්තාවත් ඇතුළු ජනතාව විලාප නැගුවේ එම ගොඩනැගිල්ල තුළ කුඩා දරුවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ මව්පියන් දෙදෙනා එහි සිරවී සිටීම නිසාය.

අඟහරුවාදා (8) පෙරවරුවේ මෙම හිදිසි ගින්න හටගත් අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ කාමරයක සිරවී සිටි රන් ආභරණ නිමැවුම් ශිල්පියා ඔහුගේ කුඩා දරුවන් තිදෙනා සහ තරුණ බිරිඳගේ ජීවිත බේරාගැනීම සඳහා කැපවූයේ එම බිහිසුණු ගිනි අනතුර දුටු දහස් සංඛ්‍යාත ජනතාවගේ විලාප අඳෝනා මැදය.

මෙම අවස්ථාව වනවිට මහනුවර නගරයේ පරිපාලනය හා බදු ගෙවන ජනතාවගේ පොදු සේවාව පිළිබඳ වගකිවයුතු මහනුවර මහනගර සභාවේ නාගරික ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවීම් රථ, ගිනි භටයන් හා ආධාරක ස්වයංක්‍රීය ගිනි ඉනිමං සහිත උපකරණ පවා එම ස්ථානයට ළඟා වී නොතිබූ බවද ජනතාව ප්‍රකාශ කරති.

ගින්න බුර බුරා පැතිරෙමින් ඉහළම මාලයේ සිටි කුඩා දරුවන් තිදෙනාගේත් ඔවුන්ගේ මවගේත් පියාගේත් ජීවිත ගින්නෙන් දැවෙන්නට ආසන්නව පැවතියේ ඉතා ස්වල්ප වේලාවකි.

මෙහිදී කිසිවක් කරකියා ගත නොහැකි වූ ගින්නට මැදිව සිටි ආර්. රාමරාජ් මහතා පහළ සිටි ජනතාවගෙන් උදව් ඉල්ලා කෑ ගසමින් කෙසේ හෝ ගොඩනැගිල්ලේ ජනේලයක් කඩා තම කුඩා දරුවන් තිදෙනා ගිනිගෙන දැවෙන ගොඩනැගිල්ලෙන් බිමට දැමීමට අවට රැස්ව සිටි ජනතාවගෙන් හඬ නගා ඉල්ලීමක් කළේය.

වහා යුහුසුළු වූ නගරයේ සියලුම ජනතාව එක්ව අවට වෙළෙඳ සල්වලින් විශාල ඇඳ ඇතිරිලි මෙට්ට ආදිය ගෙන්වාගෙන ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිටි කුඩා දරුවන් ඔවුන්ගේ මව්පියන් දෙදෙනාගේ දිවි බේරාගැනීම සඳහා ගොඩනැගිල්ලෙන් බිමට පනින ලෙස දැනුම් දී ඉතා ආරක්ෂිතව පහළ බිම් ප්‍රදේශයේ සිට ඒවා අල්ලාගෙන සිටියහ.

ප්‍රථමයෙන්ම රාමරාජ් මහතා තම කුඩා දරුවන් එකිනෙකා මහල් පහකින් යුත් ඉහළම ගොඩනැගිල්ලේ සිට බිමදැමුවේ පහළින් සිටි මිනිසුන් කෙරෙහි තබාගත් දැඩි විශ්වාසයකිනි.

පූජනීය භූමියක් වූ ශ්‍රී දළදා සමිඳුන් වැඩසිටින පුරවරයේ සතර වරම් දෙවිවරුන්ගේ පූජනීය ස්ථාන ශ්‍රී කතරගම, ශ්‍රී විෂ්ණු, ශ්‍රී පත්තිනි හා ශ්‍රී නාථ දේවාල ආසන්නයේදී දෙවි පිහිටද එම අසරණයන්ට නොඅඩුව ලැබෙන්නට ඇත. සිදුවන්නට ගිය මහා ජීවිත විනාශ ඛේදවාචකය ද නැවතී සැමදෙනාටම මහ අනතුරක් සිදුනොවී පහළ සිටි මිනිසුන්ගේ සාමූහිකත්ව ප්‍රයන්තය සහ උපකාරය මත එම දරුපවුල ඉතා සුළු තුවාල ලැබ මහනුවර රෝහල කරා යොමු කරන්නට ආරක්ෂක අංශ සහ මහනුවර පොලිසිය පියවර ගත්හ.

මහනුවර පසුගිය අඟහරුවාදා (08) සිදුවූ සිද්ධිය චිත්‍රපටයක දර්ශන පෙළක් සිහිගැන්වීය. එම ගිනි අනතුර පිළිබඳව විස්තර තොරතුරු විවිධ ජනමාධ්‍ය සහ විද්‍යුත් සන්නිවේදන අන්තර් ජාලය, ෆේස් බුක් හා රෑපවාහිනිය නාළිකා ඔස්සේ විකාශය විය.
මෙම මහා ගින්න නිවාදැමීමට මහනුවර නගරයේ ස්ථාපිත යුද හමුදා ඛාණ්ඩ, පොලිසිය, නාගරික ගිනි නිවීම් අංශය නගරයේ වෙසෙන වෙළෙඳ ප්‍රජාව එම වෙළෙඳ ආයතනවල බොහෝ තරුණ පිරිස් ජාති ආගම් බේදයකින් තොරව එකාවන්ව පෙළගැසීමද ඉතාමත් සුන්දර දසුනක් සේ බොහෝ දෙනෙකුගේ දෑස්වල සටහන් විය.

බණ්ඩාරවෙළ සිට මහනුවර නගරයට පැමිණ තාවකාලිකව පදිංචි වී සිට ආර්. රාමරාජ් (37), ඔහුගේ බිරිඳ එස්. රාධිකා (34), ඉෂාරත් රාමරාජ් (අවු. 08), සත්‍යජිත් රාමරාජ් (අවු. 07) සහ පෙර පාසල් යන වයසේ සිටි අවුරුදු 03යි මාස 07 වයසැති කුඩා දරුවන් තිදෙනා මේ සිද්ධියට මුහුණ දුන්හ. සිය පියාගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා ඔවුන්ගේ මවත් සමඟ ඒ සැමට අනතුරක් නොලබා දිවිබේරා ගැනීමට හැකිවී තිබිණි.

ජාතිවාදයෙන් රට අවුස්සන අවස්ථාවදී දමිළ, සිංහල, මුස්ලිම් ඇතැම් අන්තවාදී දේශපාලනඥයන්ට අතුල්පාරක් එල්ලකරමින් මහනුවර නගරයට එක්රොක්වූ සිංහල දමිළ මුස්ලිම් ජනතාව එකාවන්ව සාමුහිකත්ව බැඳීමකින් යුතුව අසරණ දමිළ පවුලකගේ ජීවිත බේරාගන්නට ඉදිරිපත් වූයේ මනුෂ්‍යත්වයේ නාමයෙන් බව පැවසිය යුතුමය.

මහල් පහකින් යුත් ගිනිගෙන දැවුණු විශාල ගොඩනැගිල්ලේ හදිසි අවස්ථාවකදී ගින්නක් ඇතිවූ විටක පිටත ඒම සඳහා ආරක්ෂිත තරප්පු පේළියක් හෝ නොතිබීම සම්බන්ධයෙන් නගරයේ විවිධ ඉදිකිරීම් සැලසුම් අනුමත කරන රාජ්‍ය ආයතන වගකීම් බාරගත යුතු බවත් නගරය පාලනය කරන මහනගර සභාවද මේ සම්බන්ධව අවධානයක් කිසිදු අවස්ථාවක යොමුනොකළ බවත් නගරයේ ජනතාව චෝදනාමුඛව පැවසූහ.

ගින්න හටගත් ආකාරය ගින්නට හේතුව සෙවීමට මහනුවර පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකොට අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා මගින් වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර ඇති බව මහනුවර පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

තමාගේත් තම බිරිඳ සහ දරුවන්ගේත් ජීවිත බේරාගැනීම සඳහා එකාවන්ව සහයෝගය ලබාදුන් මහනුවර නගරයේ ජනතාවටත් ආරක්ෂක අංශවලටත් (යුද ගුවන්, නාවික පොලිස් හා නාගරික ගිනි නිවීම් අංශ) ආර්. රාමරාජ් මහතා දෑත් එක්කොට ප්‍රණාමය පුද කළේය. 

රන් කර්මාන්ත වෘත්තිය කරගෙන යෑමටත් සිය දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහාත් තමන් මහනුවර නගරයට පැමිණ තම වෘත්තීය කරගෙන යන යටිනුවර විදීයේ මහල් පහකින් යුත් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ තාවකාලිකව පදිංචි වී සිටි බවත්. එහිදී මෙම භයානක අවස්ථාවට මුහුණ දුන් බවත් අනතුරින් තම බිරිඳගේ සහ දරුවන්ගේ ජීවිත බේරාගන්න අභීතව ක්‍රියාකළ ආර්. රාමරාජ් මහතා අප හා පැවසීය.

තම බිරිඳ හා දරුවන් සියලු දෙනා ඉතා ආරක්ෂිතව ගොඩනැගිල්ලෙන් පහළට දමා පහළ සිටි ජනතාව ආධාරයෙන් ඔවුන්ගේ දිවිබේරා පසුව අවසානයේ රාමරාජ් මහතා ගිනිගෙන දැවෙන ගොඩනැගිල්ලෙන් පහළට පැන තම ජීවිතය ද බේරාගැනීම ඉතාම ත්‍රාසජනක දසුන් පෙළක් සේ අවට රැස්ව සිටි බොහෝ දෙනෙකුගේ ජංගම දුරකතන කැමරාවල සහ වීඩියෝ කැමරාවල දසුන් ගතව තිබේ. 

ගින්න හටගත් අවස්ථාවේ මහනුවර නගර සභාවේ ගිනිනිවීම් අංශයේ ක්ෂණයකින් එම ස්ථානයට ළඟානොවූ බවට ජනතාව නැගූ චෝදනාවන්ට පිළිතුරු දුන් නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා මෙසේ කීය. 

අපිට ගින්න ගැන දැනුම් දුන් විගස අපේ වාහන ගිනිගත් ස්ථානයට යැව්වා. ගින්න පැතිරයෑම වළක්වාගන්නත් අපේ ගිනිනිවීම් අංශය දැඩි පරිශ්‍රමයක් දැරුවා. මේ ගින්න හටගත් ගොඩනැගිල්ල වෙළෙඳ ගොඩනැගිල්ලක්. මෙහි මිනිස්සුන්ට පදිංචියට සුදුසු වාතාරණයක් නැහැ. මේ ස්ථානයේ පවුලකට පදිංචි වීමට අවසර ලබාදුන්නේ කවුද කියා නගර සභාවත් පරීක්ෂණයක් පවත්වනවා.

නගරයේ හදිසි ගින්නක් හටගත් විට එම ස්ථානවලට ළඟවීමට තිබෙන අතුරැ මාර්ග ගිනි කපොලු (ෆයර් ගැප්ස්) පවා අවහිර කරලා ඇතැමුන් සිය පුද්ගලික වාහන නවත්වා තබා තිබෙනවා. මේවා ඉවත් කිරීමටත් අප මනා පියවර ගන්නවා. පොලිසියේ සහාය අපට මේ සඳහා අවශ්‍යයි.

මහා ගින්න හටගෙන ස්වල්ප වේලාවකට පසුව ගිනිගත් ගොඩනැගිල්ලේ සිරවී සිටි කුඩා දරුවන් හා ඔවුන්ගේ මව ගොඩනැගිල්ලෙන් පහළට දැමීම සඳහා ඇඳ ඇතිරිලි සහ මෙට්ට ආධාරක යෙදූ අවට සිටි ජනතාවද වීරවරයන් ලෙස සැළකිය යුතුය.
කලබලකාරී වාතාවරණය තුළ ඉතා අවදානම් සහිත අවස්ථාවක තම දරුවන්ගේත් බිරිඳගේත් ජීවිත බේරාගත් පිරිස් තමන් හඳුනන්නේ නැති වුවද ඔවුන් කළ මානූෂීය මෙහෙවරට තමන් ප්‍රණාමය පුදකරන බව රාමරාජ් මහතා පවසයි.

 ජේ.ඒ.එල්. ජයසිංහ
සේයාරුව:- තෙල්දෙණිය චන්දන උඩුවාවල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00