2019 ජනවාරි 12 වන සෙනසුරාදා

හයිරෑන්ක් විකුණන ටියුෂන් ගුරුවරු

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 182

2018 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රතිඵල පසුගියදා නිකුත් විණි. ඇතැමුන් ප්‍රතිඵල අනුව සතුටු වෙද්දී තවත් පිරිසක් අනපේක්ෂිත ප්‍රතිඵල හමුවේ කනගාටුවට පත්වූහ. මේ අතර බොහෝ ටියුෂන් මාස්ටර්ලාට මේ උදාවූයේ වසන්ත කාලයයි. ඔවුහු හයි රෑන්ක් විකිණීම යමරෙට කරගෙන යති. උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත් පාසල් දරුවන්ගේ ප්‍රතිඵල ටියුෂන් මාස්ටර්ලා විසින් විකුණාගෙන කෑමේ ව්‍යාපාරයක් මේ දිනවල කරගෙන යති.

විශේෂයෙන් මේ විකුණාගෙන කෑමේ වෙළෙඳ දැන්වීම් රාමුවට හසුවන්නේ අදාළ විෂයයන්වලින් දිවයිනේ ප්‍රථමයා, දෙවැනියා, තෙවැනියා වූ දරුවන් සහ දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා, දෙවැනියා, තෙවැනියා වූ දරුවන්ය. ජීවිතයේ ඉතා අමාරු කඩඉමක් ජයගත් පාසල් දරුවන්ගේ ජයග්‍රහණයේ තනි අයිතිකරුවා වීමට බොහෝ ටියුෂන් මාස්ටර්ලා මේ දිනවල උත්සාහ දරති. බොහෝ දෙනා එවැනි විශිෂ්ට ජයග්‍රහණ ලැබූ දරුවන්ට දුරකතන ඇමැතුම් දී සුබ පැතුවද මෙවැනි ටියුෂන් ගුරුවරු දුරකතන ඇමතුම් දී දරුවාට තම උසස් පෙළ පන්ති කටවුට්වල සිටීමට ප්‍රථමයෙන්ම ආරාධනාවක් කරති. යම් හෙයකින් සිසුවා හෝ සිසුවිය ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළහොත් එතැන් සිට නිවෙසට එන දුරකතන ඇමතුම් බොහෝ විට තර්ජනාත්මක බලකිරීම් බවට පත්වේ. මෙය කාලයක් තිස්සේ වසරක් පාසා සිදුවන තත්ත්වයක් වන අතර මෙවරද මෙම ගුරුවරු විශිෂ්ට ප්‍රතිඵල ලැබූ දරුවන් මාධ්‍යයන් ඔස්සේ ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳව මුළු රටටම හඳුන්වාදීම බොහෝ දරුවන්ට අත්වූ ඉරණමකි. නමුත් දරුවන්ගේත්, මව්පියන්ගේත් ආරක්ෂාව හමුවේත්, ටියුෂන් ගුරුවරු වෙසෙසින් වර්තමානයේදී පෙනී සිටින ඇතැම් මැරයන් හමුවේත් ඔවුන් ආරක්ෂා කිරීම හමුවේ එවැනි දරුවන්ගේ නම් ගම් වසන් කර තැබීමට අප සැලකිලිමත් වෙමු.

මේ විද්‍යුත් මාධ්‍යයන්ට සහ මුද්‍රිත මාධ්‍යයන්ට වෙළෙඳ දැන්වීම් වැඩි ප්‍රමාණයක් ලැබෙන කාලයකි. මේ පිළිබඳව විමසිලිමත්ව බැලූ කල ටියුෂන් මාස්ටර්ලාගේ වෙළෙඳ දැන්වීම් ඒ අතරේ බොහොමයකි. පිටුවක් පුරා, විනාඩි කිහිපයක් පුරා ඒ වෙළෙඳ දැන්වීම් විසිරී යයි.

දරුවන්ගේ මුහුණු ප්‍රදර්ශනය කිරීමේ ක්‍රියාවලිය ප්‍රථම වරට සිදුවූයේ පාසල් ගේට්ටුව අසලය. ශිෂ්‍යත්ව විභාගයෙන්, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් දරු දැරියන්ගේ මුහුණු රැගත් බැනරයක් පාසල් ගේට්ටුව ඉදිරිපිට ලෙළ දුන්නේ පාසල් විදුහල්පති සහ ගුරු මණ්ඩලයේ දැනුම්වත් වීමෙනි. මේ නිසා මෙයට ප්‍රධාන වශයෙන් ඔවුන්ද වගකිව යුතුය. එතැනින් නොනැවතුණු මේ ගමන අද වනවිට දරුවන්ගේ මුහුණු පත්තර පිටුවේද, රූප පෙට්ටියේද ප්‍රදර්ශනය වන වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව ඇත. ටියුෂන් මාස්ටර්ලාගේ වෙළෙඳ දැන්වීමට පෙනී සිටින ඇතැම් දරුවන් එයට සහභාගි වන්නේ ඉතා අකැමැත්තෙනි. නමුත් ලබාගත් දැනුමට ගුරුපඬුරක් ලෙසින් එයට පෙනී සිටීමට ඔවුන්ට සිදුව තිබේ.

වර්තමානයේදී ඉගැන්වීමද ව්‍යාපාරයක් වී හමාරය. එකල තමන් උගත් දේ කියාදෙන්නට ගුරුවරු මැලිවූයේ නැත. තමන් ඉගැන්වූ දරුවකු ඉහළ ලකුණු ලබාගත් විට ගුරුවරු අසීමිත ලෙස සතුටු වූහ. ඒ වෙනුවෙන් ඔවුන් නැවත ගුරුපඬුරක් බලාපොරොත්තු වූයේද නැත. පාසල් ගුරුවරුන්ට ඉගැන්වීම වෙනුවෙන් වේතනයක් ලැබේ. එය ඔවුන්ට ප්‍රමාණවත්ය. ඒ වෙනුවෙන් ලැබෙන පැය කිහිපය තුළ ඔවුහු උපරිමයෙන් දරුවන්ට උගන්වති. නමුත් වර්තමානයේදී පාසල් ගුරුවරු පාසල් අධ්‍යාපනය වෙනුවට ටියුෂන් අධ්‍යාපනයට මුල්තැන දෙති. උසස් පෙළ විභාගය වෙනුවෙන් උගන්වනු ලබන බොහෝ ගුරුවරු පාසලෙන් පසුව ටියුෂන් දෙති. අමතර පන්ති පවත්වති. නමුත් ඒ ගෙවී යන සෑම පැයකටම ඔවුන්ගේ අතට විශාල මුදලක් ලැබේ. බොහෝ පාසල් ගුරුවරුන් අද පාසලටත් වඩා නගරයේ ටියුෂන් පන්තියේ දක්ෂ, නම් දරාගත් ගුරුවරයෙකි. ඒ තරමටම අද බොහෝ ගුරුවරු ටියුෂන් වෙනුවෙන් කෑදර වී ඇත.

පාසල් ගුරුවරුන්ට අමතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනා උපාධිය ලබාගන්නා තෙක්, උපාධිය ගෙන සුදුසු රැකියාවක් ලැබෙන තෙක් ටියුෂන් ගුරුවරයකු ලෙස උගන්වති. මුලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනකුගෙන් තිදෙනකුගෙන් ඇරඹෙන මේ ගමන අත්පත්‍රිකා, කටවුට්, බැනර් මගින් ජනප්‍රිය කරගනු ලබයි.

වි‍ශේෂයෙන් බොහෝ ටියුෂන් මාස්ටර්ලා නළුවන් සේ හැඩවී, පොඩි මේක්අප් එකක් දමා, දේශපාලනඥයන් මෙන් සිනහ වී පෝස්ටරයට පෙනී සිට එය නගරයේ තාප්පයක් තාප්පයක් පාසා අලවා තම නාමය පතුරවා ගැනීමට උත්සාහ ගනිති. ගුරුවරයකු ප්‍රියමනාප විය යුතුය. එය ඔහුගේ සුදුසුකමකි. නමුත් ගුරුවරු යනු නළුවකු නොවේ. එය ඔහුගේ සුදුසුකමක් නොවේ. රූපයට, සිනහවට වහල් වන බොහෝ දරුවන් තම අනාගතය සරිකරලන්නට, පාර හොයාගන්නට උත්සාහ ගන්නේ මේ පෝස්ටර්වල, බැනර්වල පෙනී සිටින රූපය මාර්ගයෙනි.

සැබැවින්ම වර්තමානය වනවිට ටියුෂන් යනු බිස්නස් එකකි. බොහෝ ටියුෂන් ගුරුවරු දරුවන් තමන් වෙතට ළං කරගනු ලබන්නේ ටියුෂන් පන්තියේදී කුණුහරුප කීමෙනි. ඩබල් මීනිං කතා කීමෙනි. වෙනත් ටියුෂන් ගුරුවරයකුගේ ඇදකුද කීමෙනි. මේ අතරේ පාසලේදී මෙන්ම නිසි දැනුමක් ක්‍රමවත්ව ලබාදෙන ටියුෂන් ගුරුවරු නැතිවාද නොවේ. තමන් ගනු ලබන මුදලට සාධාරණයක් ලබාදෙන, නිසි අධ්‍යාපනයක් ලබාදෙන ටියුෂන් ගුරුවරු නැතිවාද නොවේ. නමුත් ඔවුන්ගේ ප්‍රතිශතය ඉතා දුලබය. බොහෝ ටියුෂන් ගුරුවරු තම ටියුෂන් පන්ති කරා දරුවන් ගෙන්වා ගැනීමට විවිධ උපක්‍රම යොදාගනිති. ඔවුහු විනෝද චාරිකා යති. විවිධ ක්‍රීඩාවල යෙදෙති. ලස්සන ලස්සන නිබන්ධන දරුවන්ට ලබාදෙති. ටියුෂන් ගුරුවරයා පන්ති කාමරයට පැමිණෙන්නේ සුවඳ විලවුන් සමඟිනි. එමෙන්ම දරුවන් වෙනුවෙන් සැබැවින්ම වෙහෙසෙන සැබෑ පාසල් ගුරුවරුන් බස් රථයෙන්, දුම්රියෙන් පාසල් භූමියට පැමිණෙන විට ටියුෂන් මාස්ටර්ලා බොහෝ වෙලාවට ටියුෂන් සඳහා පැමිණෙන්නේ තමා මිලදී ගත් නවීන පන්නයේ මෝටර් රථ වලිනි.

උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ දරුවන් සැබෑම දක්ෂයෝය. ඔවුන් අගය කළ යුතුමය. ඒ වෙනුවෙන් ඔවුන්ගේ මව්පියන්, අධ්‍යාපනය ලැබූ පාසල මෙන්ම ඒ ගුරු මණ්ඩලය ද අගය කළ යුතුය. ඔවුන් අවංකවම තම දරුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුටු කඳුළු වගුරද්දී මාස කිහිපයක් සිද්ධාන්ත පන්ති හෝ පුනරීක්ෂණ පන්ති පැවැත්වූ ටියුෂන් මාස්ටර්ලා එම ජයග්‍රහණයේ සැබෑ අයිතිකරැවන් වීමට උත්සාහ කරති. මේ වනවිටත් ටියුෂන් මාෆියාවට ලොල් වූ ටියුෂන් ගුරාලාගේ ටියුෂන් ඇමට විශිෂ්ට ජයග්‍රහණයන් ලැබූ උසස් පෙළ දරුවන් කිහිප දෙනකුම හසුවී හමාරය. ඔවුන් එවැනි ටියුෂන් ගුරුන්ගේ ටියුෂන් වෙළෙඳ දැන්වීම්වල පෙනීසිටින්නන් වී හමාරය. නමුත් හොඳින් සිතා බැලූ කල එම දරුවන් සිය විෂයයන් සඳහා ලත් ජයග්‍රහණයට අයිතිවාසිකම් කීමට එම ගුරුවරයාට පමණක් කිසිදු අයිතියක් නැත. යම් හෙයකින් යම් ශිෂ්‍යයකු පාසල් නොගොස්, වෙනත් ගුරුවරයකුගේ දැනුම නොගෙන, ඍජුවම එකම ටියුෂන් ගුරුවරයකු යටතේ එම විෂය සම්පූර්ණයෙන්ම හැදෑරීමක් කර එම විශිෂ්ට ජයග්‍රහණය ලැබුවේ නම් ඔහුට එම ජයග්‍රහණය සඳහා ශිෂ්‍යයා හා හවුල් වීමට හැකිය. නමුත් පාසල් අධ්‍යාපනය ලත් දරුවන්ගේ විශිෂ්ට ජයග්‍රහණයේ අයිතිය කිසිදු ටියුෂන් ගුරුවරයකුට තනිවම භුක්ති විඳිය නොහැක.

වෙළෙඳ දැන්වීම් පළකරමින් ‘දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් ජයගත් ගුරුවරයා’, ‘දිවයිනේ ප්‍රථමයා දිනූ ගුරුවරයා’, ‘කොළඹ දිස්ත්‍රික්කයෙන්ම වැඩිම ඒ සාමාර්ථ ගත් ගුරුවරයා’ යැයි පවසමින් අත්පත්‍රිකා, පෝස්ටර් බෙදාහරින කිසිදු ටියුෂන් ගුරුවරයකු තම විෂයෙන් අසමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳව කිසිදු තැනක අදහස් පළ නොකරති. ජයග්‍රහණයට සාපේක්ෂව ඔවුන්ගේ අසමත් වන පිරිසක්ද නාමලේඛනයේ සිටිති. නමුත් සෑම වසරකම එම දත්ත සියල්ලටම නොපෙන්වන සදාකාලයටම යට යන දත්ත වේ.

කෙසේ වෙතත් ගුරුවරයා යනු කුණුහරුප කියවන, ඩබල් මීනිං වචන දොඩවන, දරුවන්ගේ ජෝකර්වරයකු නොවේ. ගුරුවරයා යනු මැරයෙක්වත්, දරුවන් වෙළෙඳ දැන්වීම්වලට විකුණන බිස්නස්කාරයකුවත් නොවේ. ගුරුවරයා යනු සැබැවින්ම මව්පියන්ට පසුව දරුවන් හිස නමා ආචාර කරන, දේවත්වයෙන් පුද දෙන ආදරණීය මිනිසෙකි.

දිශානි ජයමාලි කරුණාරත්න 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00