2019 ජනවාරි 12 වන සෙනසුරාදා

මුරලි දේශපාලනයට?

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

මුරලි අපේ. මුරලි ලොව දිනූ මුරලි. අව්‍යාජ මුරලි. ජාති ආගම් බේද නැති මුරලි. හිත හොඳ මුරලි. මේ සියල්ල මුත්තයියා මුරලිදරන් නම් ලෝක පූජිත ක්‍රීඩකයාට ඇති විශේෂණ පද වේ. ඔහු ගැන යම් සටහනක් තබන්නට අප සැරසෙන්නේ ඔහු නමට තවත් විශේෂණ පදයක් එක් වේ දැයි බොහෝ දෙනෙක්ට නිතර ඇතිවන කුකුස නිසාවෙනි. ඒ නිසාම මුරලි ගැන මෑතකාලීන සිදුවීම් කිහිපයක් ඇසුරින් යම් සටහනක් තබන්නට අප තීරණය කළෙමු.

මුරලි ක්‍රීඩාවෙන් ඉවත්වීමෙන් පසු සිය ව්‍යාපාර කටයුතු සිදුකරමින් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව ආදී රටවල සැරිසරමින් සිටි බව අප කවුරුත් දනී. ඒ අතර ඔහු සමාජ සත්කාර කටයුතුවලත් නිරත විය. ඉඳහිට ක්‍රීඩාවට අදාළ විවිධ රාජකාරි ද මුරලිට පැවරිණි. මේ සියල්ල මැද්දේ තවත් විටක සමාජ කතිකාවට තුඩුදුන් දුස්රාවන් ද මුරලි මාධ්‍ය හමුවේදී එල්ල කරනු ලැබීය. මුරලි කියූ කතා නිසා රටේ කතාබහක් ඇති වුවද නැවත කාලයත් සමඟ ඒවා යට ගියේය.

මුරලි සම්බන්ධ කටකතා පැතිරීම අරුමයක් නොවුණි. මුරලිදරන් දේශපාලනයට සම්බන්ධ වීමට යන බව බොහෝ කලක පටන් ප්‍රකට කට කතාවකි. මෙම කතාව මාධ්‍යවලට රසවත් මාතෘකාවක් වූ අතර එහි ඉතිහාසය පසුගිය 2013 වසර දක්වා දිවයයි. එකල මුලින්ම කියවුනේ පළාත් සභා මැතිවරණයේදී මෙරට ප්‍රකට පළාත් සභාවක මහ ඇමැති අපේක්ෂකයා ලෙස මුරලි ඉදිරිපත් වන බවයි. ඉන් අනතුරුව 2015 මහ මැතිවරණ සමයේ ද මේ කතාව දිග ඇදුණි. කෙසේ නමුත් එම වකවානුවේ  මුරලිදරන් මෙම දේශපාලන කතාවට පිළිතුරු දී තිබිණි. 2015 ජුනි මාසයේ දී විහාරමහා දේවි උද්‍යානයේ පැවති වැඩසටහනක දී මාධ්‍ය ඇසූ පැනයකට ඔහු පිළිතුරු දී තිබුණේ මෙසේය.

“මට ආරාධනා ලැබුණත් මම ඡන්දය ඉල්ලන්න ඉදිරිපත් වෙන්නේ නෑ. දේශපාලනය කිරීමෙන් ක්‍රීඩකයෙක්ගේ ප්‍රතිරූපයට හානි වෙනවා. ඒ නිසා මම ඡන්දෙට කොයි පක්ෂයකින්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ."

මුරලි කී ලෙසින්ම එම මහ මැතිවරණට ඔහු ඉදිරිපත් නොවීය. මෙසේ කාලය ගතවන විට  2016 ජුලි මාසයේ දී මුරලිට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුවිය. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකයකු ලෙස මුරලි පත්වීම් ලැබුවේ දින 10 ක කොන්ත්‍රාත්තුවක් වෙනුවෙනි. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරන විට මුරලි නමට දේශද්‍රෝහි ලේබලයක් ඇලවීමට පිරිසක් කටයුතු කළේය. ඔහු දින දහය අවසානයේ කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වූ අතර කලකිරීමට පත්ව සිටියේය.

“ඕස්ට්‍රේලියාව මගෙන් ඇහුවේ තරගාවලියටම මගෙන් පුහුණුව ලබාගන්නයි. මම කිවුවා මට එය කළ හැක්කේ දින 10ක් පමණයි කියලා. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරගයකදී ප්‍රතිවාදීන්ගේ ක්‍රීඩාගාරයේ රැඳී සිටින්න මට අවශ්‍ය වුණේ නෑ. එය සදාචාරාත්මක නෑ”

මෙම සිදුවීමේදී එවක ක්‍රිකට් සභාපතිවරයා ද මුරලිට විරුද්ධ විය. සංගා මහේල ආදී ක්‍රීඩකයන් මුරලි වෙනුවෙන් හඬ නැගූහ. අවසානයේ මේ සිදුවීම හරහා මෙරට දේශපාලනය ගැන මුරලි තුළ වූයේ දැඩි කලකිරීමකි. දේශපාලන ප්‍රශ්නය විසඳන ආකාරයට ක්‍රීඩාවේ ප්‍රශ්නය විසඳිය නොහැකි බැව් කී මුරලි තමන් ශ්‍රී ලංකාවට ආදරය කරන බව කියා සිටියේය. මේ වන විට මුරලි විවිධ සමාජ සුභසාධනයන්වල නිරතව සිටි අතර දේශපාලනය සම්බන්ධ විවේචනාත්මකව කතා කරන්නට පටන්ගෙන තිබුණි.

2017 වසරේ මුරලි පිළිබඳව නිර්මාණය වූ ප්‍රමුඛතම පුවත් ද්විත්වයකි. ඉන් එකක් වූයේ ශූරයන්ගේ කුසලාන අතරතුරදී ලොව විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් පිදෙන "හෝල් ඔෆ් ෆේම්" සම්මානයෙන් මුරලි පිදුම් ලැබීමයි. අනෙක් පුවත වූයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයෙන් මුරලිගේ නම ඉවත් කිරීමයි. මේ පිළිබඳ මුරලිගේ පියා වන සින්නයියා මුරලිදරන් මහතාට විශාල කනගාටුවක් ඇතිවිය. ඔහු මල්වතු අස්ගිරි මහා නාහිමියන්ට මේ අවනඩුව කියනු ලැබීය. එවක ක්‍රීඩා අමාත්‍යාවරයාගෙන් නාහිමියන් මේ පිළිබඳ විමසූ බව සඳහන් වෙයි.

කෙසේ නමුත් ලෝක පූජිත මුරලිට ලක්වාසීන්ගේ නොමද ආදරය ලබුණි. එහෙත් ඔහුට ක්‍රීඩා බලධාරීන්ගෙනුත්, දේශපාලකයන්ගෙනුත් දිගින් දිගටම සිදුවූයේ අකටයුතුකම්ය. මුරලිට මෙරට ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරන්නට ඉඩ කඩක් නොවිණි. මේ නිසාවෙන්දෝ 2018 දී මුරලි විසින් දේශපාලනය හා ක්‍රීඩා බලධාරීන් අරඹයා කඩුලු සුණුවිසුණු කරන දුස්රාවන් කිහිපයක් එල්ල කළේය.

“ක්‍රිකට්‌ හදන්න නම් දේශපාලනයෙන් මේක අයින් වෙන්න ඕන. ඊටපස්‌සෙ හරි කට්‌ටියකට භාර දෙන්න ඕන. දේශපාලනය ක්‍රිකට්‌වලටත් බලපෑවොත් ඒකත් ඉතිං රටේ තත්ත්වය වගේ තමයි. ඒ නිසා ක්‍රිකට්වලින් දේශපාලනය අයින් වෙන්නෙ නැතිව ක්‍රිකට්‌ ව්‍යවස්‌ථාව තියා මුකුත් ගැන කතා කරලා වැඩක්‌ නැහැ. මොකද ක්‍රීඩා ඇමැති කෙනෙක්‌ ඉන්නවා. එයා තමයි ක්‍රිකට්‌වලටත් වග කියන්න ඕන. නැතිනම් ප්‍රධාන විධායක නිලධාරියෙක්‌ ඉන්නවා. පුහුණුකරුවන්ගේ ප්‍රධානියෙක්‌ ඉන්නවා. මේ අය කියන්න ඕන ක්‍රිකට්‌වලට මොකද වෙලා තියෙන්නෙ කියලා. ඒ ඇරෙන්න පැත්තක ඉඳලා අපි මොනවා කිව්වත් වැඩක්‌ නැහැ. ඒ අය තමයි මේකට වග කියන්න ඕන."

ඒ මුරලි 2018 ජුනි මාසයේ දී පුවත්පතකට කී කතාවකි. කියන්න තියන දෙයක් නොසඟවා කියන අව්‍යාජ මිනිසකු ලෙස මුළු ලෝකයම මුරලිව දනී. මුරලි කියන දෑ පිළිබඳ සරලව සැමට සිනහවක් ගෙනෙන පරිදි ඔහු කියයි. මේ නිසාවෙන්දෝ මුරලිගේ ප්‍රකාශ පසුගිය කාලයේ දී බොහෝ දෙනා එතරම් ගණනකට ගත්තේ නැත.

එහෙත් මුරලි 2018 නොවැම්බර් 07 වැනිදා BBC හමුවේ කළ ප්‍රකාශය මෙරට සමාජ දේශපාලන තුළ හොඳ හැටි දඟ කැවෙන පන්දුවක් විය. මේ ප්‍රකාශ මුරලි සමාජ දේශපාලන චින්තන රට හමුවේ තැබීමක් වූයේය. එය දේශපාලන වේදිකාවල ද සංවාදයට ලක්විය. ඔහු කී දෑ සම්බන්ධ විවේචන මෙන්ම අගයකිරීම් ද සමාජ ජාල මාධ්‍යයේ දක්නය ලැබුණි. ප්‍රධන ධාරාවේ මාධ්‍ය සඳහා මෙම ප්‍රකාශ ප්‍රමුඛ පුවතක් විය. මේ හරහා මුරලි පිළිබඳ අලුත් කියවීමක් රටට ලැබුණ බව නොවලහා අප කිව යුතුය.

අද වන විට මෙරට බොහෝ දෙනා  සමාජ දේශපාලන කෝණයකින් මුරලිදරන් දෙස බැලීමට පටන්ගෙන අවසානය. එහෙත් මුරලි දේශපාලනට නොයන බව තවමත් කියයි. කවදත් මුරලි කළ සමාජ සත්කාර දෙස දැන් බොහෝදෙනා දේශපාලනිකව දකිමින් සිටී. පසුගිය පස්වැනිදා හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් 22 ක දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමට එක්වූ මුරලි කියූ දෙයින් හා ඒ වටා ගෙතුණු පුවත්වලින් ඒ පිළිබඳ පැහැදිලි වෙයි.

“මම දේශපාලනයට කොහොමත් එන්න කැමති නෑ. මගේ ඉතිහාසේ ගත්තම ක්‍රිකටර් කෙනෙක් විදිහට තමා මිනිස්සුන්ගේ හිත දිනා ගත්තේ. දේශපාලනයට එන්නම ඕනේ නෑ වැඩ කරන්න. ඒ කියන්නේ හදවතින් වැඩක් කරන්න ඕනෑ නම් දේශපාලනය ඕනේ නෑ. දේශපාලනයට ඕනා ජනප්‍රිය වෙන්න. ජනප්‍රියත්වය මට තියනවා ඕනෑ තරම්. පොලිටීෂියන් කෙනෙක් කියන්නේ හැමදාම බයෙන් ජීවත්වෙන ජීවිතයක්. ඒ වගේ ජීවිතයක් ගතකරන්න මම කැමති නෑ. මට අවශ්‍යතාවයකුත් නෑ."

මෙම මාධ්‍ය හමුවේ දී ක්‍රීඩාව සම්බන්ධයෙන් ද ඔහු කතා කර තිබේ. කෙසේ වෙතත් අද වනවිට මුරලි නම් ක්‍රීඩකයාට සමාන්තරව සමාජ සේවකයෙක්  මෙන්ම  ප්‍රබල සමාජ විවේචකයෙක් ද මතුවෙමින් තිබේ. සාමාන්‍යයෙන් එවන් සිදුවීමක අවසානය දේශපාලනය බව පොදු සමාජ පිළිගැනීමයි. නොඑන බව කියූ බොහෝ දෙනා දේශපාලනයට ආ බව අපට මතකය. මුරලිදරන් එසේ වේදැයි අපට දන්නේ නැත. එහෙත් අද මුරලි යනු රටක් ආදරය කරන අව්‍යාජ නිහතමානීම ලාංකිකයෙකි.

මුරලි යම් හෙයකින් දේශපාලනයට පැමිණියහොත් අද මුරලි හෙට කවර පරිවර්තනයකට බඳුන් වේදැයි අපි නොදනිමු. ඇතැම් විට ඉම්රාන් කාන් කෙනෙක් වන්නට ද බැරි නැත. ඒ කෙසේ නමුත් මෙම මජර දේශපාලනය විසින් ඔහු මතින් වර්ගවාදී සලකුණු තබනු ඇත. මුරලි දේශපාලනයට නොයන බව කියා ඇති පසුබිමක අප තව දුරටත් අනාගතවාදී පුරෝකතන ලබා දීමට නොයමු.

චමිඳු නිසල් ද සිල්වා