2019 ජනවාරි 12 වන සෙනසුරාදා

රාජ්‍ය ආයතනවලට ලොක්කන් පත්කිරීමේ අලුත් නීතිය

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් හා අධ්‍යක්ෂකවරැන් පත්කිරීමේදී ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දන්වා තිබුණේ පසුගිය සතියේදීය. මේ බව ඉදිරියට අමාත්‍යවරුන් ද ලිඛිතව දැනුම්වත් කරන බව පැවසේ. 

එමෙන්ම මෙම ඉහළ තනතුරුවලට පත්කිරීම් සිදුකිරීමේදී සුදුසුකම් පරික්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් ද පත්කර තිබේ. මෙම කමිටුවට අගමැතිවරයා පත්කරන නියෝජිතයෝ දෙදෙනෙක් හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝජිතයන් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ දෙදෙනෙක් ඇතුළත් වෙති. ප්‍රධානියා වශයෙන් හිටපු ජනපති ලේකම් ඩබ්ලිව්.ජේ.එස්. කරුණාරත්න කටයුතු කරයි. 

රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය ව්‍යවසායන් සඳහා මේ වන විට පත්කර තිබෙන නියෝජිතයන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ නම් මෙම විශේෂ කමිටුවට ඉදිරිපත් කරන්නැයි ද ජනාධිපතිවරයා අමාත්‍යංශ ලේකම්වරැන්ට උපදෙස් දී තිබේ. 

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018 – 12 – 31 දින PS/ PCMD/ 19/ 2018 අංක දරන චක්‍රලේඛය මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා මෙසේ විශේෂ නියෝගයක් දීමට ආසන්න හේතුවක් වී ඇත්තේ රජයේ වාහන පරිහරණය පිළිබඳ විධිමත් වාර්තා පවත්වාගෙන නොයෑම සහ එයින් සිදුවෙතැයි පැවසෙන අක්‍රමිකතා නිසාය. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජයේ වාහන සංචිත පිළිබඳ තොරතුරු විධිමත්ව පවත්වාගෙන යෑමට මුදල් අමාත්‍යංශය හා ප්‍රවාහන අමාත්‍යංශය එක්ව විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

රජයේ වාහන සංචිතයේ තොරතුරැ ඕනෑම අයකුට බැලීමට හැකිවන පරිදි අන්තර්ජාල ගත කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

සෑම අමාත්‍යංශ ලේකම්වරයකුටම මාස තුනකට වරක්වත් තමන් යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩලයට ගොස් ඒවාගේ ප්‍රගතිය සොයාබැලිය යුතු බවට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

ඒ අතර මෙම තීරණය පිළිබඳව අගමැතිවැයා ද සිය ප්‍රසාදය පළකර තිබිණි.

බොහෝ විට දේශපාලන ජයග්‍රහණයන්වලින් පසුව සිය ගජ මිතුරන් හෝ ඥාතීන් රජයේ ඉහළ තනතුරැ සඳහා පත් කිරීම සාමාන්‍ය පිළිවෙත විය. ඔවුන්ගේ සුදුසුකම් පරික්ෂා කර බලන්නේ නැත. මෙවැනි ඇතැමුන්ගේ නොමනා ක්‍රියා නිසා රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලැබීම සිදුවෙයි. රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් යනු රජයට මහා පරිමාණයෙන් ලාභ උපයා දෙන ආයතන නොවේ. එහෙත් ඒ සඳහා පත්කරන පාලක මණ්ඩල සඳහා විශේෂ වැටුප් තල ඇතුළු විශේෂ වරප්‍රසාද ලබාදීම සිදුකරනු ලබන අතර ඒවා දේශපාලන තොරොම්බල් ලෙස වෙන්දේසි වනු බොහෝවිට දකින්නට පුළුවන.

රාජ්‍ය ව්‍යවසායන්වල අධ්‍යක්ෂවරුන් ලෙස පත්වන පුද්ගලයන්ගේ ධුර කාලය උපරිම අවුරැදු තුනක් වනු ඇත. එසේම රාජ්‍ය ව්‍යවසායන්වල පත්වීම් ලැබීමට පෞද්ගලික ආයතන අධ්‍යක්ෂවරුන්ට අවස්ථාව ලැබෙන්නේ ඔවුන් උපරිම ආයතන තුනකට අඩුවෙන් අධ්‍යක්ෂවරැන් ලෙස සිටී නම් පමණි.

එමෙන්ම ඉහළ තනතුරැවලට පත්වන පුද්ගලයන් සිය රාජකාරි ක්ෂේත්‍ර ක්‍රියාකාරීත්වය තුළ ළබැඳියාවන් අතර ගැටුම් හටගතහොත් එවිට සේවය අත්හිටුවීමට සිදුවන අතර අධිකරණය මගින් සාපරාධී වරදකරුවන් බවට පත්කළ සහ දූෂණ චෝදනා හා බරපතළ අපරාධවලට සම්බන්ධව චෝදනා ලැබූවන්ද සලකා නොබලනු ඇත. එෙස්ම බංකොළොත් භාවයට පත්වූවන්ටද සුදුසුකම් නොලබනු අැත.

අමාත්‍යවරුන්ට සිය විෂයයන්ට අදාළ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු රාජ්‍ය ආයතනවලට පත් කළ යුතු පුද්ගලයන්ගේ නම් යෝජනා කළ හැකි වුවද ඔවුන් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගනු ලබන්නේ කමිටුව මගිනි.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායන්වලට අධ්‍යක්ෂවරුන් පත්කිරීම පිළිබඳ විශේෂ කමිටුව සම්පූර්ණ වන්නේ අගමැතිවරයා පත් කරනු ලබන නියෝජිතයන් දෙදෙනකුගෙන් හා භාණ්ඩාගාර ලේකම් විසින් පත් කරන නියෝජිතයකුගෙන්ය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා භාණ්ඩාගාර නියෝජිතයා ලෙස නම් කරනු ලැබ සිටී. අගමැතිවරයාගේ නියෝජිතයන් දෙදෙනා පත් කරනු ලැබීමට නියමිතය.

වාර්තා වන ආකාරයට නව කමිටුව ලබන සතිය පමණ වනවිට රාජ්‍ය ව්‍යවසායන්වලට පත්කරනු ලබන අධ්‍යක්ෂවරුන් ඇතුළු ඉහළ පත්කිරීම්වලට අදාළ සුදුසුකම් තීරණය කර අවසන් කිරීමට නියමිත වේ.

බොහෝ විට මීට පෙර සිදුවූයේ නව අමාත්‍ය මණ්ඩලයක් පත්වූ විට ඊට පෙර රාජ්‍ය ව්‍යවසායන්වල අධ්‍යක්ෂ තනතුරු දැරූවන් ධූරාවලිය ඉල්ලා අස්වී නව අධ්‍යක්ෂවරුන් පත් කිරීමට ඉඩ ලබාදීමය.

කෙසේ වුවද මෙම සුදුසුකම් සලකා බැලීමේ නිත්‍යනුකූලභාවය පිළිබඳ සභානායක හා රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කරන අතර ජනාධිපතිවරයාගේ මෙම තීරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් තුළ විරෝධයක් පවතින බවද සඳහන්ය.

ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් අනුව චක්‍රලේඛය මගින් රාජ්‍ය ව්‍යවසායන් සඳහා පුද්ගලයන් පත්කිරීමේදී අවුරැදු 70 වයස සීමාවක් පනවා තිබේ. එමෙන්ම අධ්‍යක්ෂක මණ්ඩල පත්කිරීම් සිදුකිරීමේදී එකී ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් අධ්‍යක්ෂ පදවිවලට පත් නොකළ යුතු බවද නියම කර තිබේ. නමුත් කීර්තිමත් විශේෂ වෘත්තීයවේදීන් හෝ කළමනාකරුවන් පත්කිරීමේදී අවුරුදු 70ක වයස සීමාව බල නොපානු ඇත. 

රාජ්‍ය ව්‍යවසායන් විශාල වශයෙන් ලාභ නොලබන තත්ත්වයන් තුළ ඒවා පාඩු නොලබන සේ ක්‍රියා කරවීමේ වගකීම පැවරෙන්නේ එකී ආයතනවල පාලක මණ්ඩලවලටය. ඒ සඳහා සුදුසුකම් සපුරාලූ අයවලුන් පත්කිරීමට දැඩි තීරණයක් ගැනීම යහපත් පියවරකි. විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසායන් සඳහා පත්කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අනිවාර්යයෙන් උපාධිධාරීන් විය යුතු බවට නියමයක් පනවා තිබේ.

රාජ්‍ය ව්‍යවසායන්වලට අදාළව පවතින ඇතැම් ආයතන ගැන ජනතාව තුළ තිබෙන මතය වනුයේ ඒවා වැඩි වැටුපක් සහිතව අඩු වැඩ ප්‍රමාණයකින් යුතු තනතුරු සහිත ස්ථාන බවයි. 

පෞද්ගලික අංශ හා කරට කර සටන් කිරීමට නම් රාජ්‍ය ආයතන පද්ධතීන් ද ඒ හා සමානව කාර්යක්ෂම විය යුතුය. රාජ්‍ය සේවය ඵලදායක වන්නේ එවිටය. රාජ්‍ය ආයතන ලාබ ලබන ජනතාවට බරක් නොවන ආයතන බවට පත් කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයන් පත් කිරීම ඵලදායී යෝජනාවකි.

නමුත් පෙර කලට වඩා වර්තමාන රාජ්‍ය ව්‍යවසායන්වල වර්ධනයක් පවතින බවද පැවසිය හැක. ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇතැම් බස් ඩිපෝ පෞද්ගලික බස් සේවාව තරම්ම කාර්යක්ෂම සේවා සපයනවා අප ඇතැම්විට දැක තිබේ.

 එම්. ඉෂාක්