2019 ජනවාරි 12 වන සෙනසුරාදා

අපක්ෂපාතී සෙනට් සභාවක් ඕනෑ...

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 191

ඉන්දියාවේ හිටපු අගමැති ඉන්ද්‍රකුමාර් ගුජ්රාල් අවුරුදු 20කට පෙර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය හොඳින් ක්‍රියාත්මක කැපී පෙනෙන මට්ටමක පවතින බවයි. එහෙත් මෑත අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකය රට අපකීර්තියට පත්කරන හැසිරීම්වලින් යුක්ත තැනක් බවට පත්ව ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ක් වන මන්ත්‍රී සංඛ්‍යාවෙන් 60කට අධික සංඛ්‍යාවක් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත් නොවූ පිරිසකි. ආණ්ඩුවේ පියන් තනතුරකට යාමටත් සාමාන්‍ය පෙළ ඉල්ලන සමයක උත්තරීතර පාර්ලිමේන්තුව නූගත් අශීලාචාර පිරිසකගෙන් පිරී පැවතීම ඉතා කනගාටුදායකය. 

මෙම තත්ත්වය පිළිබඳව අප සමඟ කතා කළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ පැවසුවේ පාර්ලිමේන්තු සෙනෙට් සභාව යළි පිහිටුවා එයට මේ රටේ උගත් බුද්ධිමත් පිරිසක් නියෝජිතයන් සේ පත්කර වැරදි පාරේ යන රට නිවැදි මාර්ගයකට ගතයුතු බවයි.

බොහෝ රටවල්වල පාර්ලිමේන්තුවල උගත් දක්ෂ බුද්ධිමත් පිරිසක් සහිත අනුමණ්ඩල ක්‍රමයක් තිබෙනවා. ඒකට තමයි සෙනෙට් සභාව කියන්නේ. බලය ලබාගෙන පාර්ලිමේන්තුවට ඒමට දැනඋගත්, තැන්පත්, බුද්ධිමත් හුඟක් අයට තැනක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා බලය පවත්වාගෙන යන ආණ්ඩුවට එවැනි තැන්පත් දැනඋගත් මණ්ඩලයකින් සහයෝගය ලබාගැනීමට තමයි සෙනෙට් සභාව තිබෙන්නේ.

ලංකාවෙත් කලින් සෙනෙට් සභාවක් තිබුණනේ. පාර්ලිමේන්තුවෙන් සම්මත වන යෝජනාව ඊට පසු සෙනෙට් සභාවට යොමුකරනවා. එතැනදී සාකච්ඡා කර අඩුපාඩු තිබෙනවා නම් නැවත පාර්ලිමේන්තුවට ඒ ගැන දැනුම් දෙනවා. කතානායකතුමා ඒ ගැන පාර්ලිමේන්තුවට කියා නැවත සංශෝධනයකට පියවර ගන්නවා. සෙනෙට් සභාවට ඇහුම්කන් නොදී ඒක කරන්න බෑ. ඒ සභාව පාර්ලිමේන්තුවට ඉහළින් තිබෙන්නේ.

අද පාර්ලිමේන්තුවේ වාද විවාද කරනවා. පනත් සම්මත කරනවා. ඒ හැමෝම උගත් අය නොවෙයි. උගත් අය වගේම නූගත් අයත් ඉන්නවා. ඒ කා අතිනුත් අඩුපාඩු සිදුවෙනවා. රජ කෙනෙකුගෙන් වුණත්, භික්ෂූන් වහන්සේ නමකගෙන් වුණත් ප්‍රශ්න ඇතිවිය හැකියි. ඒ නිසා එවැනි ගැටලු ගැන උපදෙස් ලබාගැනීමට උගත් බලමණ්ඩලයක් තිබිය යුතුයි. සෙනෙට් සභාවට මන්ත්‍රීවරු වගේ විශාල ගණනක් සිටිය යුතු නැහැ. ඒ සඳහා සමහරවිට හැට ගණනක් වගේ පත්විය හැකිවේවි. රටේ ජීවත්වන හැම ආගමකින්ම, හැම ජාතියකගෙන්ම මේ නියෝජිතයන් තෝරාගත යුතුයි.

කලාකරැවන්, නීතිඥයන්, වෛද්‍යවරු, ජාත්‍යන්තර සමාජ හා දේශපාලන දැනුමක් සහිත වෘත්තීයමය පිරිසක් තමයි පත්කළ යුතු වන්නේ. මුල් කාලයේ මේ සඳහා පත්වීම ලබාදුන්නේ අවුරුදු තුනකට පමණයි. පුරාණ කාලයේ ඉන්දියාවේ භෝජ රාජ සභාවේ සිටි එවැනි උපදේශකයන් ගැන ව්‍යාසකාරය කියන පොතේ සඳහන් වෙනවා.

ලංකාවට සෙනෙට් සභා ක්‍රමය මුලින්ම හඳුන්වා දුන්නේ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගිනි. එය 1947 වර්ෂයේ මැතිවරණයෙන් පිහිටවනු ලැබූ ව්‍යවස්ථාදායක මණ්ඩලය යටතේද එය ක්‍රියාත්මක විය. එවකට ලංකාව පාලනය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙනි. 1948 පෙබරවාරි 4දා නිදහස ලැබුණද සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත්කළ සෙනෙට් සභාව දිගටම ක්‍රියාත්මක විය.

එවකට පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍ය වෙස්ට් මිනිස්ටර් ක්‍රමය මත පදනම් විය. එකල පාර්ලිමේන්තුවට තරග කළේද උගත් රාජනීතිඥවරු, වෘත්තීයවේදීන්, ව්‍යාපාරික පවුල්වලින් පැමිණි අය, ප්‍රභූවරැ වැනි ඉහළ සමාජ පිළිගැනීමක් සහිත පිරිසකි. මෙලෙස පත්වන පහළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මන්ත්‍රීවරු 101ක් දෙනෙකි. ඔවුන් අතරින් 95 දෙනකු මැතිවරණයෙන් තෝරා පත්කරගත් අතර 6 දෙනෙක් අග්‍රාණ්ඩුකාරයා විසින් පත්කරන ලදී. උත්තර මන්ත්‍රී මණ්ඩලය වූ සෙනෙට් සභාව 30 දෙනකුගෙන් සමන්විත වූහ. ඒ අතරින් 15ක් නියෝජිත මන්ත්‍රණ සභාවට අයත් පක්ෂ නියෝජනය කරමින් පත්කළ අතර ඉතිරි 15 දෙනා පත්කළේ අග්‍රාණ්ඩුකාරයා විසිනි.

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතිකළ 8 වැනි සංශෝධනයට අනුව 1971 ඔක්තෝබර් 21දා සෙනෙට් සභාව අහෝසි කෙරැණි. පසුව 1972දී ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත් අතර ඊට පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවට ඒක මණ්ඩල ජාතික රාජ්‍ය සභාව ආරම්භ විය.

ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාවක ක්‍රියාත්මක වන්නේ ද්විමණ්ඩලයීය ව්‍යවස්ථාදායක සභාවකි. එංගලන්තය, අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය ඒ අතරින් කිහිපයකි. එවැනි ව්‍යවස්ථාදායක සභාව ඉහළ මන්ත්‍රී මණ්ඩලය (සෙනෙට් සභාව) උගත් වෘත්තීයවේදීන් පිරිසකගෙන් සමන්විත වන අතර, පහළ මන්ත්‍රී මණ්ඩලය ජනතා ඡන්දයෙන් තේරී පත් වේ. රටක අනාගතය කෙරෙහි බලපෑම් එල්ල කරන නීති අණපනත් සම්මත කර ගැනීමේදී මෙන්ම ඉතා වැදගත් ඉහළ තනතුරැ සඳහා පුද්ගලයන් පත්කර ගැනීමේදීද බොහෝ රටවල් සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කරගනී. නූතන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එලෙස සෙනෙට් සභාවක සහාය ලබාගැනීමේ දේශපාලන මූලධර්මය නම් ප්‍රජාතන්ත්‍රවාදය 100%ක් විශ්වාස නොකිරීමය. කළු සල්ලිවලින්, දූෂණයෙන්, චණ්ඩ බලයෙන් ජනතාව ගොනාට අන්දවා පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්වීමේ අවස්ථාව දැන් වැඩිය. එයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉතා හොඳ උදාහරණයකි. මේ නිසා හුදු මහජන ඡන්දයෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය පිරික්සීමට යාම තරමක් භයානක කාර්යයක් බව ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක් පිළිගෙන තිබේ.

මුහුකුරා ගිය බුද්ධිය තමයි මෙහිදී රටට අවශ්‍ය වන්නේ. එවැනි පුද්ගලයන් විවිධ අංශවලින් පත්කළ යුතුයි. වෙළෙඳාම හා වාණිජ අංශය, වෛද්‍ය වෘත්තිය, නීතිය, කලාව, විද්‍යාව, සමාජ විද්‍යාව ඇතුළු සෑම අංශයකින්ම නියෝජිතයන් සෙනෙට් සභාවට පත්කළ යුතුයි.* කොටුගොඩ ධම්මාවාස මහනායක හිමියෝ පැවසූහ.

සෙනෙට් සභාවටත් තමන්ට පක්ෂ පිරිසක් පමණක් පත්කළොත් නායක හාමුදුරුවනේ?

ඒක නම් ඇත්ත. ඒ ගැන නම් අපිත් කනගාටු වෙනවා. අපේ රටේ තමන්ට පක්ෂ නම් හිතවත් නම් එබඳු අය තනතුරැවලට පත්කරනවා මිස වැඩේට ඔබිනවාද කියලා කල්පනා කරන්නේ නැහැ. බලයට පත්වූ ආණ්ඩුවට පක්ෂ අය පමණක් පත් කරගත්තොත් වැඩේ කෙරෙන්නේ නැහැ. උන්වහන්සේ පිළිතුරු දුන්හ.

I කුසුම්සිරි විජයවර්ධන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00