2019 ජනවාරි 12 වන සෙනසුරාදා

දරුවා මරුවාට භාරකළ පාසලේ කොන්ක්‍රීට් කණුව

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

බදාදා දවසේ සුපුරුදු ලෙසින් පාසල් කාලය නිමා විය. විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරකම්වල නිරත දරු දැරියන් අතර අත්පන්දු සහ පාපන්දු ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාසල් ක්‍රීඩාංගණයේ රැඳී සිටියෝය. ඒ අතර තවත් දරු පිරිසක් ඉදි කරමින් පවතින පාසල් ක්‍රීඩා විවේකාගාරය අසල සෙල්ලමේය. සිටුවා තිබුණ කොන්ක්‍රීට් කණුවක් ඔවුන් අසලය. හදිසියේම බිම ඇද වැටුණු කොන්ක්‍රීට් කණුව ළඟ සිටි පසිඳු ක්‍රිෂාන් සිසුවාගේ හිස හා සිරැර ඊට යට වුණේය.

පසුගිය 9 වැනිදා පස්වරුවේ සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව තිබුණු බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය. මෙම අවාසනාවන්ත අනතුරෙන් මියගොස් තිබුණේ පලාගල, බුදුගෙහින්න මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි බුදුගෙහින්න ප්‍රදේශයේ පදිංචිව සිටි එල්. කේ. පසිඳු ක්‍රිෂාන් කරුණාතිලක නැමැති දරුවාය.

බුදුගෙහින්න මහා විද්‍යාලයේ මෙවර පළමු වසර සඳහා ඇතුළත්ව සිටින දරු දැරියන්ගේ මව්පියන්ගේ යම් මුදලක් ඒකරාශී කිරීමට පාසලේ විදුහල්පතිවරයා පියවර ගෙන තිබුණි. එම මුදල් පාසලේ අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා යෙදීමට ද කටයුතු කළේය. ඒ අනුව රුස් කරගත් මුදලින් පාසල් ක්‍රීඩාංගණය ආසන්නයේ ක්‍රීඩා විවේකාගාරය ඉදිකිරීම සිදුකර තිබුණි.

එම කටයුතු සොයා බලා සිදුකිරීම සඳහා පාසලේ දරුවන්ගේ මව්පියවරු දස දෙනකුට බාරකර තිබුණු අතර ඔවුහු එම කාර්ය අධ්‍යයනය කළෝය. මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන කොන්ක්‍රීට් කණු කීපයක් පෞද්ගලික ආයතනයකින් මිලට ගෙන තිබූ අතර ඒවා අදාළ ස්ථානයේ සිටුවා තිබී ඇත. එහෙත් එම සිටුවීම අනාරක්ෂිත බැව් ඊට සම්බන්ධ වූ පෙදරේරු මහත්වරු දැන සිට නැති තරමය.

කෙසේ වෙතත් ඉකුත් දා පස්වරැවේ පාසල් පිට්ටනියට රැස් වූ දරු දැරියන් අතර ඉදිකරමින් පැවති විවේකාගාරය අසලට ගිය පසිඳු ක්‍රිශාන් ඇතුළු පිරිසකි. ඉන් කීපදෙනකු කණුවට හේත්තු වී සිටි බවත් ඒ අතරට ගිය පසිඳු කණුවේ එල්ලි ඇති බවත් කියා ඇත්තේ සිද්ධිය සියැසින් දුටු දරුවන් කීපදෙනෙකි. ඒත් සමඟම ඇදවැටුණු කොන්ක්‍රීට් කණුවට පසිඳු දරැවා යටවූ බවද ඔවුන් ප්‍රකාශ කර ඇත. මෙම සිදුවීම සැලවූ වහාම පාසලේ සෙසු දරුදැරියන් සමඟ ඒකරාශී වූ ප්‍රදේශවාසීන් පාසල් භූමියේදී හා ගලේවෙල ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇතැයි වාර්තා විය. මේ අතර වාර්තා වූයේ ඉකුත් 9 වැනිදා වූ අනතුරට පසුව එදින සවස්වන තෙක්ම විදුහල්පතිවරයා පාසලට පැමිණ නැති බවකි.

මේ අතුරතුර එක් කොන්ක්‍රීට් කණුවකින් සිදු වී ඇති නිසා සෙසු කණු පිළිබඳව ද අවදානමක් ඇතැයි සිතූ පිරිස ඒ කණු පෙරලා බිම දැමීමට පියවර ගෙන තිබුණි. එහිදී පිරිස අනාවරණය කරගෙන තිබුණේ කොන්ක්‍රීට් කණුව යකඩ කම්බි මගින් අත්තිවාරමට හෝ පොළවට සම්බන්ධ කර නැති බවය. එය දැඩි අනාරක්ෂිත ක්‍රියාවකි.

මේ අතර සිදුවීම ගල්කිරියාගම පොලීසියට සැලකර තිබුණු අතර නිලධාරීන් පැමිණ පරීක්ෂණ අරඹා තිබිණ. සිදුවීම ඇසින් දුටු දරුවන් කීපදෙනකු කියා තිබුණේ පිරිසක් කණුවට හේත්තු වී සිටි බවත් ඒ අතරට ආ මියගිය සිසුවා කණුවේ එල්ලීමත් සමඟ කණුව ඇද වැටී ඔහු යට වූ බවය.

මේ හැර සිදුවීම පිළිබඳව පාසලේ වගකිව යුතු පුද්ගලයෙක් ප්‍රකාශයක් ලබා නොදීම කනගාටුදායකය.

අනතුරකට පසුදා පෙරවරැවේ විදුහල්පතිවරයා පාසලට පැමිණ තිබුණි. එහිදී විරෝධතාවය පාන්නට රැස් වූ ප්‍රදේශවාසීන් විදුහල්පතිවරයා පැය හතරක පමණ කාලයක් විද්‍යාලයේ කාමරයක සිරකර තිබුණි. මේ අතරතුර කාලයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු මවුපියන් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා හා පෙදරේරුවන් අත්අඩංගුවට ගතයුතු බවය. ඒ අතර අධ්‍යාපන බලධාරීන් හා මව්පියන් අතර විශේෂ සාකච්ඡාවක් පාසලේදී පවත්වා තිබිණි. අනතුරැව මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවේ පවත්වනු ලැබීය. අධ්‍යාපන බලධාරීන් විසින් විදුහල්පතිවරයා පාසලෙන් පිටතට ගෙන යාමට උත්සාහ කර ඇති අතර ප්‍රදේශවාසීන් එය වළක්වා තිබුණි.

මේ සිදුවීමත් සමඟ අධ්‍යාපන බලධාරීන්, පොලීසිය හා ගම්වාසීන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබිණ. එහිදී ගල්කිරියාගම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. සී. පෙරේරා මහතා ඇතුළු පිරිසක් තත්ත්වය සමථයට පත්කරනු ලැබීය. අනතුරුව ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දුන් පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් අතර කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී විදුහල්පතිවරයා ඇප මත මුදාහැර තිබුණි. එසේම අවදානම් ලෙස ඉදිකිරීම් සිදුකළ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයම්පත් රත්නදිවාකර මහතා නියෝග කළේය.

මෙම සිදුවීම හේතුවෙන් ඉකුත් සිකුරාදා (11) දිනය බුදුගෙහින්න මහා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු නවත්වා එදින නිවාඩු දෙන බව පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් දරුවන්ට හා මව්පියන්ට දැනුම් දුන්නේය. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණය කඩිනම් කරන බව දන්වා සිටියේය. එමෙන්ම ආණ්ඩුකාර කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය හරහා පරීක්ෂණ දෙකක් සිදු කරන බවද කියා තිබිණ.

 

සිදුවීම සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. සී. පෙරේරා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන චන්ද්‍රසේන හා වීරබණ්ඩාර මහත්වරු විමර්ශනය සිදු කරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර