2019 ජනවාරි 12 වන සෙනසුරාදා

මුතුරාජවෙල ගිනි ගන්නවාද? ගිනි තියනවාද?

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 271

නව වසරේ ආරම්භක දිනයේම මුතුරාජවෙල අභයභූමිය තුළ ගිනිදැල් ඇවිළුණි. ජනවාරි පළමු වැනිදා හවස එලෙස හටගත් ගිනිදැල් අභයභූමියේ දකුණු ප්‍රදේශයේ පට්ටියගම සහ පුබුදුගම අතර ප්‍රදේශයේ අක්කර 200ක පමණ බිම් කොටසක් විනාශ කළේය. ගින්න හටගත් පෙදෙස පිහිටා ඇත්තේ කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට සමාන්තරවය. ගුවන් හමුදාව සහ පොලීසියත් ප්‍රදේශවාසී ජනතාවත් එක්ව විශාල වෙහෙසක් දරා ජනවාරි 2 දිනය වනවිට ගින්න පැතිරීම වැළැක්වූවද පවත්නා සුළං සහිත වියළි කාලගුණය නිසා එය කළ පාරිසරික හානිය නම් විශාල විය.

මුතුරාජවෙල මෙලෙස ගින්දරට බිලිවීමට ඉඩදිය යුතු පාරිසරික පද්ධතියක් නොවේ. මිනිසුන්ගේ එළිකිරීම්වලින්, කසළ හෙළීමෙන් බැටකන මෙම තෙත්බිම ගිනි රතුසාගෙන් ද බැට කෑමට පටන්ගෙන තිබේ.

“අවුරුද්දකට සැරයක් දෙකක් ගිනිගන්න එක මුතුරාජවෙලට දැන් සාමාන්‍ය දෙයක් වෙලා. මුතුරාජවෙල දකුණු කොටසේ එවැනි ගිනි ගැනීමක් ඇතිවූ විටම රජයෙන් මැදිහත්වෙලා නිවනවා. මේ පාරත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර්වලින් ඇවිත් ගින්න නිවන්න කටයුතු කළා. ඒකට හේතුව ගෑස් ගබඩා සංකීර්ණය, ඛණිජ තෙල් ගබඩා ආදිය මේ ප්‍රදේශයේ තිබෙන නිසා. නමුත් අභයභූමියේ උතුරු පැත්තේ ගින්නක් ඇති වූ විට කවුරැත් අවධානය යොමුකරන්නේ නැහැ. මෙවර ගින්න ඇති වූ පුබුදුගම කියන ප්‍රදේශයේ පාරකින් අභයභූමිය වෙන්වෙනවා. ඒ ප්‍රදේශයේ ජනාවාස රාශියකුත් තිබෙනවා.” අප සමඟ එලෙස පැවසුවේ මුතුරාජවෙල අභයභූමිය සුරුකීමේ සංවිධානයේ භාණ්ඩාගාරික දිනුෂ නානායක්කාරය. ඔහු මුතුරාජවෙල තෙත්බිමට යාබද පදිංචිකරුවෙකි.

පසුගියදා හටගත් ගින්න ගැන පමුණුගම පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ඒ පිළිබඳව මේ වනතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. මුතුරාජවෙල තෙත්බිම් පරිසරයේ වැදගත්කම නිසා එය අභයභූමියක් ලෙස ප්‍රකාශ කළේ 1996 ඔක්තෝබර් 31 වැනිදාය. අංක 947/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එහි හෙක්ටයාර් 1284.95ක් අභයභූමියක් බවට ප්‍රකාශ කෙරිණි. අභයභූමියේ වැදගත්කම පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සවිකළ නාමපුවරු තැනින් තැන දැකගත හැකිය.

නමුත් මුතුරාජවෙල “නමට පමණක් අභයභූමියක්* ද යන්න පසුගිය කාලයේ එහි ක්‍රියාත්මක දෑ දෙස බලනවිට සිතේ. පරිසරවේදීන් පවසන අන්දමට මත්කුඩුවලට ඇබ්බැහිවූවන් වන සතුන් ඝාතනය කිරීමට ද ගිනිතැබීම සිදුවේ. මීමින්නා, තලගොයා, හඳුන්දිවියා, ඉබ්බා සහ නිල්කිතලා වැනි සතුන් මරාගැනීම එහි අරමුණකි. මෙම සතුන්ගේ මස් අවට හෝටල්වලට අලෙවි කර කීයක් හෝ ලබාගෙන එය මත්කුඩු මිලදී ගැනීමට වැයකිරීමට ඔවුහු පෙළඹී සිටිති. සති කිහිපයකට පෙර කඳාන පොලිසීය මගින් මහා පරිමාණයෙන් ඉබ්බන් මරා මස් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනිණි. මරාදැමූ ඉබ්බන් 12, බිත්තර, මස් සහ ඉබිකටු 200ක් පමණ එහිදී පොලිසීයට හමුවිය.

“බොහෝවිටි ගිනි හටගත්තේ මිනිසුන් මසුන් මැරීමට යන ප්‍රදේශවලයි. හාවා, ඉත්තෑවා, කිඹුලා වැනි සතුන් මැරීමටත් වටකරලා තබන ගින්න යොදාගන්නවා. අපට හොයාගැනීමට බැරි නිෂ්ඵල හේතුවලටත් මුතුරාජවෙලට ගිනි තැබීම සෙල්ලමක් වෙලා. හෙලිකොප්ටර්වලින් ගින්න නිවපු අවස්ථාවක ආයෙත් ඒ විදිහට ගිනි නිවනවා බලන්න විනෝදෙට ගිනි තිබ්බා. අපිම නිරීක්ෂණය කරන්න ගිය අවස්ථාවක ගිනි තබමින් හිටියේ පාසල් යන වයසේ දරුවන්. වනජීවී දෙපාර්තමේන්තුවෙනුන් ආවා. පසුව පොලීසියට ගෙනිහින් ඔවුන්ට අවවාද කර නිදහස් කළා. අවබෝධයත් නැතිකම නිසා තමයි මේ වටිනා පරිසරය මේ විදිහට විනාශ කරන්නේ. මේ පාර ගින්නෙන් පිළිස්සී ගිය ප්‍රදේශයේ ඇවිදගෙන ගියොත් මැරුණු සතුන්, සත්ව වාසස්ථාන, බිත්තර එහෙම අපට දැකගත හැකියි. මුතුරාජවෙල පර්යටනික පක්ෂීන් විශාල වශයෙන් එන තැනක්. මේ විදිහට ගිනිතිබ්බාම උන්ගේ වාසස්ථාන විනාශ වෙනවා. ගස්වැල් විනාශ වෙනවා. කාලෙකින් පාරිසරික චක්‍රය නැවත ආරම්භවීමට යනවිටම යළිත් ගිනිතබනවා. මේක විශාල අපරාධයක් වන්නේ ඒ නිසායි.” දිනූෂ නානායක්කාර වැඩිදුරටත් කීවේය.

ගම්වැසියන් පවසන්නේ මෙලෙස අභයභූමිය ගිනිතැබීම බහුලව ආරම්භ වූයේ වසර හතරකට පෙර සිට බවයි. එම කාලය තුළ මෙහි ජනාවාස වර්ධනය ද සීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ. ඉලුක්, මානා වැනි තෘණවර්ගවලට මෙන්ම කඩොලාන ශාකවලට ද ගින්න පැතිරී ගිය විට එය මර්දනය කිරීම අසීරුය. ඒ වේගවත් සුළඟක් මුතුරාජවෙල හරහා හමනා හෙයිනි.

“සමහර පුද්ගලයන් මුතුරාජවෙල පෞද්ගලික බූදලයක් විදිහට සලකා වැඩකරනවා. ලෝකයම පිළිගත් තෙත්බිමක් මෙලෙස විනාශ කිරීම අපරාධයක්. ගිනිපටි සැකසීම, ඇළවල් කපා ගින්න පැතිරීම වැළැක්වීමට කටයුතු කිරීම අවශ්‍යයි. අපි මුතුරාජවෙල විනාශ කිරීමට මුල්වූ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඉදිරියේදී තෙත්බිම් වැදගත්කම ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා මුතුරාජවෙල අභයභූමිය මීගමුව කලපුව දක්වා ව්‍යාප්ත කිරීමට. ඒ සඳහා වන සිතිගම සකස් කරලා අවසන්. නමුත් තවම භූමිය ගැසට් කරලා නැහැ.” මුතුරාජවෙල අභයභූමිය සුරැකීමේ සංවිධානයේ භාණ්ඩාගාරිකවරයා කීවේය.

ජනාධිපතිවරයා ගිය වසරේ මුතුරාජවෙල නිරීක්ෂණ චාරිකාවකට ගියවිට කසළ එක්කිරීම, ඉඩම් ගොඩකිරීම ආදී නීති විරෝධී කටයුතු රැසක් කෙරෙන ආකාරය දුටුවේය. ප්‍රදේශයේ නීති විරෝධී ක්‍රියා වැළැක්වීමට විශේෂ කාර්ය බලකා මුරපොළක් පිහිටුවිණි. එම මුරපොළ මාස හයකට පසු ඉවත්කරගත් අතර විවිධ කටයුතුවලින් ඉඩම් ගොඩකිරීම සිදුවන බව නොරහසකි. රජයේ සේවකයන්ගේ නිවාඩු දින වන සෙනසුරාදා සිට සඳුදා පාන්දර දක්වා එලෙස ගොඩකිරීම සිදුවන බව පැවසේ.

පාරිසරික වැදගත්කම

කැළණි නදී මෝයේ සිට මීගමුව කලපුව අතර මුතුරාජවෙල තෙත්බිම් පද්ධතිය පිහිටා තිබේ.  කොළඹට කී.මී. 20ක් උතුරෙන් ආරම්භ වී කී.මී. 30ක් දුර පිහිටි මීගමුව කලපුව දක්වා එය විහිදීයයි. මුහුදට සමාන්තරව ඇදීයන මෙම තෙත්බිම බටහිරින් හැමිල්ටන් ඇළට සහ නැගෙනහිරින් පැරණි ඕලන්ද ඇළටත් සීමාවෙන මෙය වත්තල සහ ජා-ඇළ මැතිවරණ කොට්ඨාසවලට අයත්ය. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වැඩිම කොටසක් වැටීඇත්තේ මේ පරිසර පද්ධතිය මැදිනි.

මේ බිම අදින් වසර 5000කට පමණ පෙර ආරම්භ වන්නට ඇති බව භූවිද්‍යාඥයන්ගේ මතයයි. කෝට්ටේ යුගයේ දී (15-16 සියවස) මුතුවන් සහල් ලබාදුන් විශාල වෙල්යායක් මේ ප්‍රදේශයේ පැතිර තිබුණි. ඒ නිසා මුතුරාජවෙල නම් විය. මෙයට යාව පිහිටි මීගමු කලපුව සහ වරාය කෝට්ටේ යුගයේ දී ප්‍රධන නැව් තොටක් වශයෙන් ද වැදගත් විය. පෘතුගීසීහු කැළණි මෝයේ සිට මීගමුව දක්වා මේ වෙල්යාය හරහා ඇළ මාර්ගයක් කැපූහ. ඊට පසු ලුණු මිශ්‍ර ජලය වෙල්යායට කාන්දුවන්නට වූ අතර මේ නිසා වෙල්යායේ සාරවත් බව අඩුවුණු බව ලන්දේසි ලේඛනවල දැක්වේ.

මෙය ආසියානු තෙත්බිම් නාමාවලියට ද ඇතුළත් අභයභුමියකි. අභයභූමියට ඇති වියහැකි බලපෑම අවම කිරීම සඳහා ප්‍රේරණ කලාපයක් (Buffer Zone) නම් කළ අතර අභයභූමියට ප්‍රබල පරිසර හානි සිදුවීම නිසා විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රේරණ කලාපය, පාරිසරික ආරක්‍ෂණ කලාපයක්‌ ලෙස ප්‍රකාශයට පත්කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කොට තිබේ.

මුතුරාජවෙල ශාක විවිධත්වය සැලකීමේදී ප්‍රධාන ශාක ප්‍රජාවන් 07ක්‌ නියෝජනය කරන විශේෂයන් 192ක තුරුලතාවලට මෙය තෝතැන්නක් වී ඇත. මෙහි ඇති ඉතා වැදගත් ශාක ප්‍රජාව ලෙස කලපු ගංමෝය අවට පැතිර තිබෙන කඩොලාන හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති කඩොලාන විශේෂ 22න් 18ක්‌ම මුතුරාජවෙල හා මීගමු කලපුව ආශ්‍රිතව නිරීක්‍ෂණය කිරීමට පරිසරවේදීන්ට හැකියාව ලැබී ඇත. අප රට තුළ දැනට වාර්තා වී ඇති පෘෂ්ඨවංශීන් ගෙන් විශේෂ 232ක්‌ මෙහි ජීවත් වෙති. මේ තෙත්බිම් පරිසර පද්ධතිය නියෝජනය කරන ඉතා වැදගත් සත්ත්ව විශේෂය‍ වන්නේ පක්‍ෂීන්ය. මෙහි කුල 42කට අයත් පක්ෂි විශේෂ 102ක්‌ වාර්තා වන බව ලෝක සංරක්‍ෂණ සංගමය සඳහන් කරයි. මුතුරාජවෙල අභයභූමියේ උතුරු හා මධ්‍යම ප්‍රදේශ ඉතා වැදගත් පක්ෂි අභිජනන මධ්‍යස්‌ථාන ලෙසද මීගමු කලපු ආශ්‍රිත ප්‍රදේශය ගොදුරු හා විවේක ස්‌ථානයක්‌ ද වශයෙන් වැදගත් වේ. මේ පක්ෂි විශේෂ 102න් 19ක්‌ සිසිර ඍතු සංක්‍රමණික පක්ෂීන් වීමද විශේෂ කරුණකි. දියකාවන්, කොකුන්, විවර තුඩුවන්, කෑදැත්තන්, සේරැන්, උකුස්‌සන්, කුරුලුගොයන්, කිරලුන්, සිලිබිල්ලන්, බටගොයන්, බිඟුහරයන්, ගිරවුන්, පිළිහුඩුවන් හා වැහිළිහිණියන් වැනි පක්‍ෂි විශේෂයන් බොහොමයක්‌ මුතුරාජවෙලදී සුලබව දැකගත හැකියි. කුස ඇලි සයුරැකුස්‌සා, පුංචි දියකාවා, පුංචි ගෙඹි තුරුවා, අළු කොකා, කරවැල් කොකා, පොදු දම් කිතලා, කළුපිය ඉපල් පාවා, යුරෝපියානු ගොළු කිරලා, මල් පිළිහුඩුවා, පොම්පදෝරු බටගොයා වැනි පක්‍ෂීන් සුලබයි. එසේම සංචාරක පක්‍ෂින් අතර බටහිර වගුරු හැරිකුස්‌සා, ගෝමර හැරිකුස්‌සා, අළුපිය කාඟුල් ළිහිණියා, නිල් පෙඳ බිඟුහරයා ආදී පක්‍ෂීන් ද සුලබව දැකගත හැකියි. මීගමුව කලපුවේ කඩොලාන වනාන්තර අවට සහ දඩුගම්ඔය මෝය අවට ප්‍රදේශය පර්යටනික පක්ෂීන් නැරඹීමට කදිමයි.

මුතුරාජවෙලින් කුල 14කට අයත් ක්ෂීරපායීන් විශේෂ 22ක්‌ වාර්තාවේ. රිළවා, උණහපුළුවා, ඉත්තෑවා, උරුලෑවා, දියබල්ලා, හඳුන්දිවියා, කොළදිවියා, මීමින්නා ඒ අතර සිටිති. ගැටකිඹුලා (Crocodiles porous) ද මුතුරාජවෙල දිවිගෙවති. අතීතයේ දී මෙහි ඉතා විශාල ගැටකිඹුලන් ගහනයක්‌ වාර්තා වූවද මිනිසුන් මස් පිණිස දඩයම් කිරීම නිසා උන් දැඩි තර්ජනයකට මුහුණ පා සිටිති. 

 

►කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ: ගුවන් හමුදා මාධ්‍ය අංශය සහ මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය