2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ගෙවලා දාමු අපි කාබන් බද්දත්!

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 138

අවුරුදු 44ක් තිස්සේ මෙරටට ගෙන්වනු ලබන සියලුම වාහන සඳහා දුම් පරීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දී දැනට වසර දාසයකි. 2003 ජුනි 30 වැනිදා 1295/ 11 ගැසට් නිවේදනය ප්‍රකාරව ලංකාවේ රථවාහන හා යතුරුපැදි සඳහා නිකුත් කරන වායු විමෝචන සමත් කිරීමේ අගයන් ප්‍රසිද්ධ කර තිබුණි. තත්ත්වය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙද්දි 2018 මූල්‍ය පනත යටතේ ඩීසල් සහ පෙට්‍රල් වාහන සියල්ල සඳහා 2019 ජනවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව කාබන් බද්දක් පනවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.

වාහනය නිෂ්පාදිත වර්ෂය වසර 5ට අඩු නිෂ්පාදිත වර්ෂය වසර 5 – 10 අතර මෙන්ම නිෂ්පාදිත වර්ෂය වසර 10කට වැඩි යන කාණ්ඩ තුන යටතේ මෙම කාබන් බද්ද අයකිරීම සිදු වේ. විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් රථ මෙම කාබන් බද්දට ඇතුළත් වන්නේ නැත. එහෙත් ඩීසල් සහ පෙට්‍රල් වාහනවලට බද්ද පැනවීම සිදුවන්නේ ඉන්ධන භාවිතාව මතය.

මේ අනුව පෙට්‍රල් හෝ ඩීසල් භාවිතා කරන හයිබ්‍රිඩ් (දෙමුහුන්) වාහන සඳහා එහි එන්ජින් ධාරිතාව හා නිෂ්පාදිත වර්ෂය වසර පහකට අඩුනම් ඝන සෙන්ටිමීටරයකට සත 25ක්ද නිෂ්පාදිත වර්ෂය වසර පහත් දහයත් අතරනම් ඝන සෙන්ටිමීටරයට සත 50ක්ද නිෂ්පාදිත වර්ෂය වසර දහයකට වැඩිනම් ඝන සෙන්ටිමීටරයට රුපියලක් වශයෙන් ද බද්ද අයකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේය. ඩීසල් හෝ පෙට්‍රල් භාවිත කරන සාමාන්‍ය මෝටර් රථවල නිෂ්පාදිත වර්ෂය අවුරැදු පහකට අඩුනම් ඝන සෙන්ටිමීටරයකට සත 50ක්ද නිෂ්පාදිත වර්ෂය පහත් දහයත් අතරනම් ඝන සෙන්ටිමීටරයට රුපියලක් ද නිෂ්පාදිත වර්ෂය දහයකට වැඩිනම් ඝන සෙන්ටිමීටරයකට රැපියල් 1.50ක් ද වශයෙන් කාබන් බද්ද අයකිරීම සිදු කෙරේ.

මීට අමතරව පොදු ප්‍රවාහනයේ මගී බස්රථවල නිෂ්පාදිත වසර අවුරුදු පහකට අඩුනම් රැපියල් 1000ක්ද නිෂ්පාදිත වර්ෂය අවුරුදු පහත් දහයත් ඇත්නම් රැපියල් 2000ක් සහ නිෂ්පාදිත වසර අවුරුදු දහයකට වැඩිනම් රැපියල් 3000ක් වශයෙන් බදු පනවා ඇත. අදාළ බදු මුදල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පළාත් කොමසාරිස්වරැන් වෙත නියමිත ගෙවීම සිදුකළ හැකි අතර එය අදායම් බලපත්‍රයට එක්කර ඇති බවද වාර්තා වේ.

රථවාහන සඳහා පනවන ලද කාබන් බද්ද 2019 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කෙරැණ ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ඒ අනුව මේ වසරේදී කාබන් බද්ද ගෙවීමට නොහැකි වන වාහන හිමියන්ට කිසිම දඩ මුදලකට යටත් නොවී එළඹෙන 2020 වර්ෂයේදී වසර දෙකටම අදාළ ගෙවීම එකවර සිදු කළ හැකි බවද කොමසාරිස්වරයා සඳහන් කළේය. ඒ මහා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලබන වසරේදී කාබන් බද්ද නොගෙවන වාහන හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

පවතින වාහන දුම් බද්දට අමතරව නව කාබන් බද්ද නමින් තවත් මුදලක් අයකිරීම ජනතාවට ගැටලුවකි. ලොව දැඩි වාහන පිටාර වායු නියාමනයක් සහිත අමෙරිකා එක්සත් ජනපදයේ වාහන දුම් පරික්ෂාව, පැරැණි වාහන සඳහා සෑම වසර දෙකකටම වරක් සිදු කරයි. නව වාහනවල කාණ්ඩය අනුව වසර හතරක සහ හයක නිදහස් කාල සීමාවක් නියම කර ඇති අතර ලංකාවේ ජනතාව බාල මාදිලියේ වාහන බාල ඉන්ධනවලින් ධාවනය කරමින් රථය ලියාපදිංචියේ සිට හැම වසරකම දුම් සහතික ලබා ගනිමින් නොයෙක් බදු ගෙවීම් සිදු කරයි. මෙසේ වසර දාසයක් පමණ ලංකාවේ වාහනවල දුම් පරික්ෂාව සිදු කළද පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් ධාවනයෙන් ඉවත් කළ වාහන පිළිබඳ වාර්තාවක් නොමැත. ඒ අනවශ්‍ය පරිදි දුම් පිටකරන ඕනෑම වාහනයක් සඳහා නියමිත දුම් සහතිකය ලබා ගැනීමට හැකි නීති විරෝධී දූෂිත මාර්ග ගණනාවක් ඇති බැවිනි.

දුම් පරික්ෂාව අනිවාර්ය කිරීමෙන් පසුව අද දක්වා රජයට අමතර බදු මුදලක් එකතු වූවා මිස රටේ පරිසරයට සිදු වූ යහපතක් පිළිබඳ තොරතුරු නොමැත. එබැවින් ජනතාවට කාබන් බද්ද පිළිබඳව ඇත්තේ ද එවැනිම අදහසකි. මේ හරහා යම් විටෙක තවත් සේවා හා සම්බන්ධ ආයතන පෝෂණය වීමක් සහ යම් යම් දූෂිත ක්‍රියාවන් රාජ්‍ය ආයතන පද්ධතියටත් එක්වීමට ඉඩ ඇති බවද පැවසිය යුතුය.

ඉකුත් 2018 වර්ෂයේදී එන්ජින් ධාරිතාවය 1000cc ට අඩු මෝටර් රථ 64,195ක් ලියාපදිංචි වී තිබෙන බවත් සෙසු මෝටර් රථ 480, 799ක් ලියාපදිංචි වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේය. එය 2008 – 2018 අතර දස වසර තුළ බවද ඊට අමතරව එම වසර දහය තුළ විවිධ රථවාහන 7,727,921ක් ලියාපදිංචි වී ඇති බවද එම දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා කරයි.

 විල්තෙර