2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ජීව විද්‍යා උසස් පෙළ සිලබස් අවුල

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 231

ජීවවිද්‍යා විෂය නිර්දේශ ගුරු අත් පොත් අවුල පිළිබඳ කතාබක් පසුගිය සතියේ ඇතිවිය. එය නිමිති කොට මෙම සටහන තබමු. සත්‍ය අසත්‍ය පිළිබද විචාර බුද්ධියෙන් යුතුව විමසීම ඔබට භාරය. ප්‍රථමයෙන්ම ජීවවිද්‍යා විෂය අර්බුදයේ මුල් අදියරට අපි පිවිසෙමු. සාමාන්‍ය පරිදි මෙරට වසර හතකට පමණ වරක් විෂය මාලාවන් සංශෝධන සිදුවේ. ඒ අනුව 2017 වසරේදී විෂය සංශෝධන සිදුවිය. එම වෙනස් වීම අනුව උසස් පෙළ විභාගය පවත්වනු ලබන්නේ 2019 වර්ෂයේදීය. මෙම විෂය සංශෝධන සිදුකරනු ලබන්නේද එම විෂයන්ට අදාළ විෂය නිර්දේශ, ගුරු අත්පොත් ආදිය සකසනු ලබන්නේ ද ජාතික අධ්‍යාපන ආයතනය හරහාය.

ජීවවිද්‍යා විෂයට අදාළව නැගුණු චෝදනාව වූයේ විෂය නිර්දේශ ගුරු අත්පොත් නිසි කලට ගුරුවරු අතට පත් කිරීමට බලධාරීන් අසමත් වී ඇති බවයි. මෙම චෝදනාවට සම්බන්ධ කරුණු රාශියක් විදුහල්පතිවරු ගුරු සංගම් හා දෙමාපියන් විසින් සෘජුම ඉදිරිපත් කර තිබේ. ඔවුහු 2018 මාර්තු මාසයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ. එමෙන්ම අප කළ විමසීමකදී ජීවවිද්‍යා විෂය අවුල සත්‍යයක් බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා සනාථ කළේය. ඊට අමතරව පාසල් ගුරුවරුන්ද නිර්නාමිකත්වය මේ පිළිබඳව තම අදහස් දක්වා තිබිණි.

ඒ අනුව පසුගිය සතියේ අප කළ විමසීමකදී ජාතික අධ්‍යාපන ආයතනය දීර්ඝ පැහැදිලි කිරීමක්ද සහිතව මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේය. පසුව තවත් මාධ්‍ය ඔස්සේද ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රකාශ කර සිටියේ තම වගකීම නිසි පරිදි ඉටුකර ඇති බවයි. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය හා විද්‍යා විෂය අධ්‍යක්ෂතුමන් අප සමග දක්වන ලද අදහස් අප මේ සටහන සමඟම දක්වා තිබේ.

මෙම දෙපාර්ශවයෙන් කවර පාර්ශ්වයක් සත්‍ය පවසනවාද යන්න පිළිබඳ ඇත්තේ සැබෑම ගැටලුවකි. මෙහි වරදකරුවා කවුරුන් වුවද අවසානයේ අගතියට පත්වන්නේ ශිෂ්‍ය ප්‍රජාව බව ඉතා පැහැදිලිය. එම නිසා මෙයි තවත් ගැඹුරුට යාමට තීරණය කළෙමු. විද්‍යා විෂය අධ්‍යක්ෂවරයාගේ පැහැදිලි කිරීමට අනුව ගුරුවරුන් සඳහා පළමු සම්මන්ත්‍රණ පවත්වා ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ඇතැම් සිංහල මාධ්‍ය ගුරුවරුන් මේ හරහා අපහසුතාවයට පත්වුණ බව කියැවේ. විෂය නිර්දේශයේ මුල් කොටසද මුද්‍රණය කර ලබාදී ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් බව ගුරුවරුන්ගේ පාර්ශ්වයෙන් කියවේ. විද්‍යා විෂයන්ට අදාළ කරුණු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදෙනවිට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් නොමැති නම් එය වටහාගැනීම අපහසු බව සිංහල මාධ්‍ය ගුරුවරුන්ගේ පාර්ශ්වයෙන් කියවෙයි. එහෙත් සිංහල මාධ්‍යයෙන්ද සම්මන්ත්‍රණ පැවැත්වූ බව ජාතික අධ්‍යාපන ආයතන පාර්ශවයෙන් ප්‍රකාශ කර තිබේ.

නව ජීවවිද්‍යා විෂය මාලා අනුව සැකසී ඇති පාඩම් ඒකක ගණන 10ක් වන අතර වෙන් වී ඇති කාලච්ඡේදය ගණන 600කි. මෙම පාඩම් ඒකක 5කට අදාළ විෂය නිර්දේශයන් පමණක් දැනට ලැබී ඇති බවද ඇතැම් පිරිස් සඳහන් කරයි. පැරැණි විෂය මාලාවට සාපේක්ෂව සැලකියයුතු වෙනසක් නව විෂය මාලාවේ සිදුව තිබේ. එමෙන්ම මෙහිදී මතුකළ යුතු තවත් කාරණාවක් නම් උසස් පෙළ විද්‍යා විෂය ධාරාවේ අනෙක් විෂයන්ට සාපේක්ෂව අවම විශිෂ්ට සාමාර්ථ (A) ප්‍රමාණයක් ලැබෙන්නේ ජීවවිද්‍යා විෂයට බවයි. ඊට හේතුව ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයන් බොහෝ දෙනාගේ පිළිගැනීම ගුරු මාර්ගෝපදේශක සංග්‍රහයේ ඇතුළත් වචන විභාගයේදී භාවිත කිරීමට සිදුවීමයි. මෙම සියලු කරුණු සැලකීමේදී ජීවවිද්‍යා විෂයේ අවුලක් ඇතැයි කියන පාර්ශ්වයේ තර්කයන් සත්‍යයක් නම් මෙවර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශ යටතේ පෙනී සිටින සිසුන්ට සිදුවන්නේ බරපතළ අසාධාරණකි.

තවද විටින් විට අන්තර් ජාලය එක්කරන ලද විෂය නිර්දේශයේ ඒකකයන් ගැනද ඇත්තේ අවුලක් බව ඇතැම් තැනක කියැවේ. ඊට අනුව ඇතැම් කොටස් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වීමත් ප්‍රායෝගික පරිසරය සම්බන්ධ සඳහනක් නොවීමත් ගැටලුවකි. තවද විෂයට අදාළව පරිශීලනය කළයුතු බව දන්නවා ඇති පොතපත සොයාගැනීම ඉතා අපහසු බවද කියවේ. මේ කරුණු ද සත්‍යයක් නම් සමස්ත ක්‍රියාවලියේම ඇත්තේ අවිධිමත් ප්‍රායෝගිකත්වයෙන් තොර ස්වාභාවයක් බව අපට පෙනේ.

එය එසේ නමුත් අප දක්වන ලද ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශයන්ට අනුව ඔවුන් ද සැලකිය යුතු කරුණු දැක්වීමක් සිදුකර තිබේ. සියල්ල විධිමත් සිදුකර ඇති බව ඔවුහු අවධාරණය කරති. දෙපාර්ශයම මනාකොට කරුණු දක්වා ඇති හෙයින් මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බලා විමර්ශනයක් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම වෙයි. ගුරු සංගම්වලට අනුව අර්ථික විද්‍යාව, ජනසන්නිවේදනය ඇතූළු තවත් විෂයන්වල මේ ආදී වූ ගැටලු තිබේ. කෙසේ නමුත් උසස් පෙළ විභාගය තව ඇත්තේ මාස කිහිපයකි. එම නිසා මෙම අවනඩුව කඩිනමින් විභාගය කිරීම අතිශය වැදගත් බව අපගේ අදහසයි.

සිලබස් නොලැබුණා කියන කතාව බොරුවක්
අශෝක ද සිල්වා - විද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ, ජාතික අධ්‍යාපන ආයතනය

විෂය නිර්දේශ සංශෝධනයක් සිද්ධවුණාම අපි උසස් පෙළදී ගුරුවරුන්ව සෘජුව දැනුම්වත් කිරීමක් සිදුකරනවා. පළාත්වල ගිහින් එහෙම නැත්නම් ජාතික අධ්‍යාපන ආයතනයට කැඳවීමෙන්. ඒ අනුව 2017 විෂය නිර්දේශ වෙනස් වුණාම පස්සේ ඒකේ පිටපත් ගුරුවරුන්ට ලබාදීලා. ළඟ පළාත්වල අය ජාතික අධ්‍යාපන ආයතනයට කැඳවලා ඈත පළාත්වලට ගිහිල්ලා 2017 මැයි මාසේ ජූනි මාසේ වෙනකොට සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශ අතට දීලා. සම්පූර්ණයෙන්ම 12 ශ්‍රේණිය සම්බන්ධ කොටස දැනුවත් කළා. ඒ සඳහා ගුරුවරු 1246ක් සම්බන්ධ වෙලා තියනවා. 12 සහ 13 සිලබස් එක තනි පොතක් හැටියට තමා නිකුත් වෙන්නේ. අපි එම පුහුණුවේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගුරුවරුන් ලබාදීලා තියෙනවා. පුහුණුවේදී අපි කතාකළේ 12 වන ශ්‍රේණියට අදාළ කොටස ඒකට හේතුව ගුරුවරුන්ට හඳුන්වා දුන්න අවුරුද්දේ උගන්වන්න සිද්ධවෙන්න 12 වැනි ශ්‍රේණියට අදාළ කොටස. ඒ අනුව මේ පුහුණු 2017 දී සිද්ධවුණා. අපට ගුරුවරුන්ව කැඳවලා දෙන්නේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු හරහා.

අපිට ඉතුරු වුණේ 2018 අදාළ 13 වැනි ශ්‍රේණිය කොටස. ඒ අනුව නැවත වතාවක් ගුරුවරු කැඳවලා 13 වැනි ශ්‍රේණිය සම්බන්ධ පුහුණු වැඩසටහනක් මුළු දිවයිනම ආවරණ වන පරිදි සිදුකළා. ඒ සඳහා ගුරුවරු 1176 දෙනෙක් සහභාගී වුණා. ඒ අනුව සිංහල මාධ්‍ය දෙමළ මාධ්‍ය දෙකෙන්ම හැම පළාතකටම ගිහින් ගුරුවරු පුහුණු කරලා තියනවා. ඒ අනුව විෂය නිර්දේශ ගුරුවරුන් අතට ලැබිලා තියනවා. අපේ වෙබ් අඩවියේ ඒවා මාධ්‍ය තුනෙන්ම තියනවා.

2017 වසරේ මුල් කාලයේ සකස් කරලා අනුමත වෙච්ච විෂය නිර්දේශයේ වෙනසක් කරන්න සිදුවුණා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ආපු යෝජනාක් අනුව. ඒ වෙනස ඇතුළත් වුණ අදාළ ගුරු අත් පොත අපි ඒ වෙලාවෙම සකස් කරලා උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන හැම පාසලකටම ලැබෙන්න සැලැස්සුවා. ඊට අමතරව පුහුණුවට පැමිණි ගුරුවරුන්ට ඒ අයගේ මාධ්‍ය අදාළ ගුරු අත් පොත් ලබාදීලා තියෙනවා. විෂය නිර්දේශයේ සීයට දහයක වගේ ප්‍රමාණයක තමා වෙනසක් වෙලා තියෙන්නේ. වෙනස් වුන හැම කොටසක් සම්බන්ධ ප්‍රවීණයන් මහචාර්යවරුන් ආචාර්යවරුන් එක්ක තමයි මේ පුහුණු වැඩසටහන් කළේ.

විෂය නිර්දේශ නොලැබුණා කියන එක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්. විෂය නිර්දේශ ලබාදීල මේ කණ්ඩායම් 12ට 13ට වෙන වෙනම පුහුණු කරලා තියනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ රාජකාරිය තමයි විෂය නිර්දේශ සකස්කරන එක, ගුරු අත්පොත් සකස්කරන එක සහ ඒ සම්බන්ධයෙන් වන ගුරු පුහුණුව පැවැත්වීම. ඔය කාර්ය තුනම අපි කරලා තියෙනවා.

කිසි ගැටලුවක් නෑ. 
ආචාර්ය  ජයන්ති ගුණසේකර - අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික අධ්‍යාපන ආයතනය 

කිසිම ගැටලුවක් නෑ. ලොකු සාවද්‍ය තොරතුරක් රටපුරා ගෙන යනවා පුදුම විදිහකට.

ඉංග්‍රීසි භාෂාවෙන් දුන්නා කියන  එකම වැරදියි
මහින්ද ජයසිංහ - ලේකම් ලංකා ගුරු සේවා සංගමය 

2019 වසරේ උසස් පෙළට ඉදිරිපත්වන දරුවන්ගේ විෂය නිර්දේශ වෙනස් වෙනවා. ඒ අනුව ජීවවිද්‍යා විෂයට අදාළව මේ දරුවන්ගේ විෂය නිර්දේශයන් 2017 වසරේ පංති ආරම්භ කරන ලැබිය යුතුව තිබුණා. මේ වෙනකන් මේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන් දරුවන්ට ලැබිලා නෑ. උසස් පෙළ ඕනෑම විෂයයක් උගන්වන්න පටන්ගන්න කොටම දරුවන්ට ගුරුවරුන්ට දෙමාපියන්ට අවබෝධ තිබිය යුතුයි විෂයේ දිග පළල ගැන. විෂය නිර්දේශ අන්තර්ගත කොටස් ගැන අවබෝධයක් තියෙන්න ඕනා.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂය නිර්දේශ ලබාදුන් බව කීම හරහා ගැටලුවක් මතුවෙනවා. ඉංග්‍රීසි භාෂාවේ තිබෙන සමහර වචන සිංහලෙන් උගන්නන අය පරිවර්තනය කර ගතයුතු වෙනවා. සමහර වචන එහෙම පරිවර්තනය කරාම ඒ වචන නෙවෙයි භාවිතයේ තියෙන්නේ. ඒ නිසා එහෙම ගන්න බෑ. මේ ගොල්ලෝ අර කිතුලට නැග්ග කතාව කියන්නේ. අපි ගිය අවුරුද්දේ මැදදී වගේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා හෙළිදරව් කරා. ඒ වෙනකොට විෂය ඒකක පහක් වගේ ප්‍රමාණයක් තමා ඒගොල්ලෝ නිකුත් කරලා තිබුණේ. ජීවවිද්‍යා විෂය සියයට අනූවක් විතර හදාරන්නේ සිංහල මාධ්‍යයෙන්. ඒ නිසා ඉංග්‍රීසියෙන් දුන්නයි කීමම වැරදියි.

ගුරු අත්පොත් විකිණූ ආණ්ඩුවක් 
ජෝශප් ස්ටාලින් - ලේකම් ලංකා ගුරු සංගමය

ජීවවිද්‍යාව විතරක් නෙවෙයි. උසස් පෙළ රසායන විද්‍යාව, ආර්ථික විද්‍යාව, ඉතිහාස විෂය සංශෝධනයට අදාළ ගුරු අත්පොත් ලබාදීලා නෑ. හතර වසර විෂයත් මේ වගේම ගුරු අත්පොත් ලබාදීලා නෑ. දැන් ජීවවිද්‍යාව ගත්තොත් මේ අය ඉන්ටර්නෙට් එකේ දාලා තියෙන්නෙත් එක කොටසයි. සාමාන්‍යයෙන් ගුරු අත්පොතක් ලබාදිය යුතුයි නව විෂය නිර්දේශයක් ක්‍රියාත්මක වෙනකොට ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතු සඳහා.

ප්‍රථම වතාවට උගන්වන්න තියෙන ගුරු අත්පොත් විකුණුවා. මේක ඉගෙනුම් ආධාරකයක්. මේක සියලුම විෂයන්ට අදාළ ගුරු අත්පොත් විකුණූ ආණ්ඩුවක් බවට පත්වෙලා. ජාතික අධ්‍යාපන ආයතන තමයි ගුරු අත්පොත් ලියන්නේ. ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව තමයි මුද්‍රණය කරන්නේ. මේවා කරලා නැති එක බලපාන්නේ ළමයින්ටනේ. ගුරුවරු පුහුණු කරපු එක ඇත්ත. නමුත් ඒ ගොල්ලන්ට ගුරු අත්පොත් දීලා නෑනේ.

චමිඳු නිසල් ද සිල්වා