2019 ජනවාරි 12 වන සෙනසුරාදා

කිතුල් පොල්ලෙන් තලා පිච්චි කරන හැටි

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 256

[අතීතයේ ලෙලි පල්කළ සැටි සහ කරත්තවලින් ලෙලි තොග ගෙනැවිත් ගමේ බවලතුන් අතර බෙදා දුන් සැටි පසුගිය සතියේ අපි ඔබට කීවෙමු. අද කතාවෙන් එම ලෙලි තලා කොහු ගන්නා අයුරු ඔබට කියමු.]

අරුණාලෝකය බටහිර වෙරළේ ගමගොඩැලිවලට වැටෙන්නේ පමාවිය. එනිසාම  හිමිදිරි යාමය දීර්ඝ වූවක් මෙන් හැඟේ. අපි නැවත අතීතය බලා යාත්‍රා කළෙමු. මේ යාමයේ සයුරේ රළ ගැටෙන හඬ කෙමෙන් මැකී යත්ම අරුණ කලියෙන් ගම පුරා රැව්දෙන හඬක් විය. එක්තරා රිද්මයකට යමකට තට්ටු කරන හඬකි. උදෑසන අවදි වන කොයි කාටත් මෙය සවන් වැකේ. එය දුරාතීතයේ පටන් ගම්මානයේ රැව්දෙන හඬකි. එක්දහස් නවසිය පනස් ගණන්වල හැට ගණන්වල ද ගම්මුන්ට මේ හඬ අරුමයක් නොවීය. ඒ ලෙලි තලන හඬයි.

ගම තැන තැන බවලතුන්ට තලන්නට ලෙලි ලැබී ඇත. ඔවුන් මෙසේ ලෙලි තැලීමේ රාජකාරි උදෑසනම ඇරඹීමට හේතු කාරණා තිබේ. මෙම කර්මාන්තය බවලතුන් සියලු දෙනා සිදුකරන්නේ ගෙදර දොරේ වැඩ කටයුතු මධ්‍යයේය. එසේ හෙයින් ඔවුන්ට උදෑසනම මේ රාජකාරි සිදුකිරීම පහසුය. අනෙක් අතට උදෑසන ලෙලි තලා ලබාගන්නා කොහු වේලීමට මුළු දවසම තිබේ.  එවිට සැන්දෑවට ලණු ඇඹරීම ඇරඹිය හැකිය.

ලෙලි තැලීමට පොල් කොටයක් ද, කිතුල් පොලු කැබැල්ලක් ද අවැසිය. ගමේ බවලතුන් සතුව ඒ හැම තිබිණි. ඔවුහු දියෙහි පොඟවා පල් කරගත් ලෙලි තලන්නට සැරසෙති. ඇතැමුන් එක්කාසු වී ලෙලි තැලීම සිදුකරන අතර තවත් පිරිසක් තනිවම මෙය සිදුකරති. ඒ අනුව ගම පුරා විවිධ තැන්වල මේ කටයුතු සිදුවෙයි.

එක්කාසු වී ලෙලි තලන්නේ නම් හිමිදිරියේම කතුන් එම නිවස බලා එති. පඬු පැහැ ගැසුණු රෙද්ද හැට්ටේ හැඳි ඔවුහු දෙව්ර වැසෙන ලෙස රෙද්දක් පොරවාගෙන සිටිති. සමූහ වශයෙන් ලෙලි තැලීම සිදුකරන්නේ නම් පේළියකට මෙන් ඔවුහු තැන තැන රැදෙති. ලෙලි තට්ටුවක් ඔවුන් අසලින් තබනු ලබයි. ඒවා එකින් එක ගෙන පිරිස ලෙලි තැලීම සිදුකරති.

ලෙලි තැලීමට එක්තරා ක්‍රමයකි. ඒ අනුව ලෙල්ලේ පටු වූ යට පැත්තෙන් අල්ලා කොටය මත තබා කිතුල් පොලු කැබැල්ලෙන් එක්තරා රිද්මයකට තැලීම සිදුකරයි. තලන අතරේ ලෙල්ල සොලවයි. එවිට කොහුබත් පහළට වැටේ. තරමක් තලා පොත්ත ගලවා දැමීම සිදුකරනු ලබයි. බොහෝ විට ලෙලි තැලීමට කලියෙන්ම පොත්ත ගැලවීම සිදුකරයි. පෙඟුණු ලෙල්ල තැලීමෙන් පසු පොත්ත ගැලවීම අපහසු නොවේ. පෙර දා අප කියූ ලෙසින් මේ වනවිට පොල්ලෙලි හොඳ හැටි මෙලෙක් වී තිබේ. ඉන් පසු වතුර මිරිකා හරිනු ලබයි. දැන් නැවත මුඩ්ඩෙන් අල්ලා තැලීම සිදුකිරීම අරඹයි. කොහුබත් හැලී කොහුකෙඳි පෑදී අපූරු මලක් මෙන් දැන් පොල්ලෙල්ල දිස්වෙයි. මේවා එක් පසෙකින් තට්ටුවක් ආකාරයෙන් ගොඩ ගැසේ.

වෙහෙසකර නමුත් කවුරුත් සහයෝගයෙන් මෙම සියලු කටයුතු සිදුකළහ. අතීතයේදී ගම්මානයේ විසූ බවලතුන් වෙත පල්වුණු තෙත බරිත පොල්ලෙල්ලෙන් හමා ආවේ දුර්ගන්ධයක් නොව, සුගන්ධයකි. දරුවන් හතර පස්දෙනෙක් හෝ ඊටත් වැඩියෙන් සිටි පවුල්වල අම්මාවරුන්ගේ ගතින් පවා පොල්ලෙලි සුවඳ හැමීය. ගමේ බොහෝ පිරිමින්, වඩු වැඩ මේසන් වැඩ ආදී වූ දෑතේ රස්සා දැන සිටි නමුත් සැලකිය යුතු වැඩක් ඔවුන්ට නිතිපතා නොලැබිණි. එනිසාම ගෙදර උන්දෑ කළ මේ රාජකාරිය දිවිගමනේ බර දරා සිටින්නට මහත් වූ අස්වැසිල්ලක් විය.

ලෙලි තලා අහවර වනවිට අරුණාලෝකය ගම පුරා වැටී පවතී. කොහු ටික වේලෙන්නට දමන්නේ මේ මොහොතේය. ගෙමිදුලේ මෙන්ම මං මාවත් අයිනේ වේලෙන්නට දමා තිබූ කොහු කාගේත් නෙතට හුරැ දසුනක් විය. යමෙක් ගමේ සංචාරය කළේ නම්  උදෑසන මෙන්ම හැන්දෑවේද අව්වේ වේලෙන්නට දමා ඇති කොහුවල තරම දැකගත හැකිවිණි. කොහු වේලෙන්නට දැමූ එකල ගම්මානයේ විසූ බවලත්හු සිය ගෙදර දොරේ වැඩ කටයුතු සිදුකළහ.

හැන්දෑව වනවිට කොහු වේලී තිබේ. දැන් කොහු නෙළීම හෙවත් පිච්චි කිරීම සිදුකළ හැකිය. මෙහිදී සිදුකරනු ලබන්නේ තවත් කොහුබත් තිබේ නම් ඒවා ඉවත් කර මහත රළු කෙඳි සහ ඝණකම කොටස් වෙන් කිරීමය. මෙසේ පිච්චි කිරීමේදී කොහු කෙඳිවල හොඳ කොටස් පහළට වැටේ. ඒවා දිගට ලෑල්ල මෙන් බිම අතුරයි. එය හඳුන්වන්නේ පිල්ල යන නමිනි. පිල්ල මත ගලක් තබා පැදුරක් මෙන් රෝල් කරගත හැකිය. ඒ අනුව කොහු නෙළා සකසාගත් මෙම පිල්ල බවලත්හු පිළිවෙළකට රෝල් කරගනිති. දැන් සියල්ල අවසානයේ හොඳ කොහු ටික වෙන්වී තිබේ. මේ කටයුත්ත සිදුවන්නේ හැන්දෑවේ වුවත් කොහු හොඳින් වේලී ඇති ඕනෑම මොහොතක මෙය සිදුකළ හැකිය.

මෙසේ සකස් කරගත් කොහු භාවිතයෙන් සිදුකළ හැකි නිෂ්පාදන බොහෝය. කොසු බැඳීම, පාපිසි හෙවත් බුමුතුරුණු විවීම ඒ අතරින් කිහිපයකි. එකල වෙරළකරයේ විවිධ ප්‍රදේශ එකින් එකට වෙනස් කොහු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධියක් ඉසිලීය. අද ද දකුණු ලක මෙම කර්මාන්ත ඇසුරින් විවිධ නිෂ්පාදනය සිදුකරනු ලබයි. වෙරළකරයේ වූ මෙම ගම්මානයේ නම් කොහු ඇසුරෙන් සිදුකළ ප්‍රමුඛතම කාර්යය වූයේ ලණු ඇඹරීමයි. අපේ කොහු කතාවේ ඊළඟ කොටස වෙන් වන්නේ ඒ වෙනුවෙනි.

චමිඳු නිසල් ද සිල්වා