2019 ජනවාරි 12 වන සෙනසුරාදා

අවයව දන්දෙන්නන්ට ආණ්ඩුවෙන් හරසර

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 111

මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබන්නේ ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්යසාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධවය. මේ සඳහා ගුවන් හමුදාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නේ වකුගඩු, අක්මා සහ හදවත සැත්කම් සඳහා කඩිනමින් ගුවන් හමුදාවේ අනුග්‍රහය සහිතව අවශ්‍ය රෝහල් කරා ප්‍රවාහනය කිරීමට කටයුතු යෙදීමටය. මෙම ගිවිසුම අත්සන් කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතරය.

මහනුවර ශික්ෂණ රෝහලේ මොළේ මියගිය අයගේ අවයව ලබාගැනීමේ සම්බන්ධීකරණ අංශය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා විසින් මේ සඳහා අනුමැතිය ලබාදී ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීහු 45000ක් පමණ සිටිති. බොහෝ විට ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා සිදුකරනු ලබන්නේ රුධිර පිරිසිදු කිරීමේ ප්‍රතිකාර ක්‍රමයයි. එය ඉතා අපහසු, පහසුකම් නොමැති දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියක් බවත් වකුගඩු රෝගීන් ඇතුළු අවයව බද්ධ කළ යුතු රෝගීන්ගේ අවසන් සහ සාර්ථක ප්‍රතිකාර ක්‍රමය එම අවයව බද්ධ කිරීම බවත් මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කළහැකි වනු ඇති බවත් ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවල මහතා දේශයට පැවසීය.

බොහෝ විට සිදුවන්නේ මෙසේ අවයව අවශ්‍ය වූ විට පවුලේ ඥාතියකු මිත්‍රයකු සිය අවයව ලබාදීමය. නමුත් අදාළ රුධිර සාම්පල සොයාගැනීමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පාන්නට සිදුවේ. නමුත් මෙම ව්‍යාපෘතිය හරහා අවශ්‍ය අවයව ඉතා කඩිනමින් මහනුවර හා මාලිගාවත්ත මොළේ මියගිය අයගේ අවයව බද්ධකිරීමේ විශේෂ ඒකක වෙත ප්‍රවාහනය කරනු ලැබේ. දැනට ලංකාවේ මහනුවර ශික්ෂණ රෝහල හා මාලිගාවත්ත රෝහල මෙම සැත්කම් කටයුතු සිදුකරයි.

වාර්තාවන වන අන්දමට දැනට ලංකාවේ දනකට මාර්ග අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව 5ක් 6ක් අතර වෙයි. නව අවුරුද්දේ හදිසි අනතුරු නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 15/16ක් අතර ප්‍රමාණයක් වේ.

ජනාධිපති කාර්ය සාධක බලකාය පොලිස් දෙපාර්තමේන්තුව හා එක්ව මෙසේ පුද්ගලයන් මියයන හා තුවාල සඳහා ලක්වෙන රෝගීන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් මේ හරහා ක්‍රියාත්මක කරන බවද  වැඩිදුරටත් පැවසේ.

මේ වනවිට අවයව බද්ධ කිරීම් සිදුකරනු ලබන්නේ අක්මාව, හදවත්, වකුගඩු, ඇස් හා බඩවැලේ  කොටස්ය. මොළය මිය යෑමේදී එම කොටස් ද ඉතා ඉක්මනින් මියයන අතර ගුවන් හමුදාව විසින් මේවා කඩිනමින් ගෙනඒමෙන් ඒ තත්ත්වයට අවයව පත්වීම මඟහරවා ගතහැකි වේ.

දැනට වකුගඩු රෝගියෙක් සඳහා ජනාධිපති අරමුදලෙන් පුද්ගලයකුට ලක්ෂ 5ක මුදලක් පිරිනමනු ලබන අතර මෙම ව්‍යාපෘතිය අනුව ගුවන් හමුදාව හරහා අවයව ප්‍රවාහනය සඳහා වැයවන්නේ ද ලක්ෂ 5ක මුදලකි. එක් අයකුගේ අවයව මගින් පුද්ගලයන්ගේ ආසන්න වශයෙන් තිදෙනකුගේ ජීවිත බේරාගත හැකි බව ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා පැවසීය. එමගින් රෝගියාට සජීවී අවයව බද්ධ කිරීම් සිදුකර ගැනීමේ හැකියාව වැඩියෙන් ලැබෙනු ඇත.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේම කොටසක් ලෙස අවයව දන්දෙන්නට කැමති පුද්ගලයන් ඒ බව සිය ජාතික හැඳුනුම්පතේ හා රියදුරු බලපත්‍රයේ දත්ත හරහා සටහන් කිරීමේ ක්‍රමවේදයක් ද සැලසුම් කෙරෙමින් පවතී.

ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය බලකාය මෙම ව්‍යාපෘතිය සඳහා ජනතාවට අවබෝධයකින් යුතුව එක්වන ලෙස ආරාධනා කරයි. අවශ්‍ය ඕනෑම මොහොතක මහනුවර ශික්ෂණ රෝහල හා මාලිගාවත්ත රෝහල හරහා සම්බන්ධවෙමින් අවයව දන්දීමට කැමති පුද්ගලයන්ට තවත් ජීවිතයක් බේරාගැනීමේ කාර්යයට එක්විය හැකි බව ප්‍රකාශ කර සිටී. එමෙන්ම මේ ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වන පුද්ගලයන් අගය කරමින් විශේෂ අනුග්‍රහ දැක්වීමට ද රජය කටයුතු කරනු ලබන බව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය දේශයට පැවසීය.

එම්. ඉෂාක්