2019 ජනවාරි 05 වන සෙනසුරාදා

නොඉල්ලිය යුතු දේ ඉල්ලීමේ විපාකය

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

අලව්පුර එදා බොහෝ භික්ෂූන් වැඩවිසුවා. මේ භික්ෂූන් එ පුර වැසියන්ට මහත් කරදරයක් වුණා. ඒ හැමදෙයම ඉල්ලාගෙන නිතර එන නිසා. එපමණක් නොවේ, වැසියන්ට කියනවා පන්සල්වල වැඩකර දෙන්ට කියාත්. ඒ වැඩවලට ගියාම ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු ප්‍රමාද වුණා. ඉන් කලකිරුණු වැසියෝ භික්ෂූන් දකින විට මඟහැර යන්න පටන් ගත්තා. දාන පවා දීමෙන් වැළකුණා.

කාශ්‍යප තෙරණුවෝ දිනක් අලව්පුරට පිඬුසිඟා වැඩියා. උන්වහන්සේ දුටු වැසියෝ බොහෝ දෙනෙක් සැඟවුණා. පිඬු ලැබුණොත් ස්වල්පයයි. එකල බුදුන් වහන්සේ වැඩසිටියේ අලව්පුරයට කිට්ටුව අග්ගාල් විහාරයේ. කාශ්‍යප තෙරණුවෝ බුදුන් හමුවට වැඩියා.

ස්වාමිනී! අලව්පුර වැසියෝ ඉස්සර වාගේ නොවෙයි. අප වැඩියාම මඟහරිනවා. පිඬු පුදනවාත් අඩුයි. වදාළා. 

ඒ ඇයිද? බුදුන් විචාළා.

එහි වසන සංඝයා වහන්සේලාගෙන් කුමක් හෝ වරදක් සිදුවී ඇතැයි හිතන්න පුළුවන්.

බුදුන් වහන්සේ, හොඳයි. මම සොයා බලන්නම් යැයි පවසා ඒ ගැන තොරතුරු සොයන්න වූවා. පසුව බුදුන් වහන්සේ දැනගත්තා එහි සංඝයා වහන්සේලා නොයෙක් දේ ඉල්ලා වැසියන්ට කරදර කරන බව.

බුදුන් වහන්සේ අලව්පුර විසූ භික්ෂූන් කැඳෙව්වා.

භික්ෂූන් වැඩම කළා.

ඔබ ඇයි අලව්පුර වැසියන්ට කරදර කරන්නේ?

ස්වාමිනී! එසේ දෙයක් අප කරන්නේ නෑ.

නැත්තේ ඇයි? නොයෙක් නොයෙක් දේ ඉල්ලනවා. ඔවුන් පන්සල්වල වැඩවලට කැඳවනවා. ඉන් ඒ අයගේ එදිනෙදා වැඩ අවුල් වෙනවා. ඉන් වුණේ ඒ වැසියන් සංඝයා වහන්සේලා මඟහැරීම. දැන් ඔබට දාන පවා හරියට ලැබෙන්නේ නෑ නේද?

එසේය ස්වාමිනී!

ඔවුන්ට මා පැවසූ ලෙස කරදර කරනවාත් නේද?

එසේය ස්වාමිනී!

මහණෙනි! ඉල්ලීම හොඳ දෙයක් නොවේ. බොහෝ සම්පත් ඇති අය පවා නිතර ඉල්ලනවාට කැමැති නෑ. අපට තියෙන්නේ ඒ අය දෙන දෙයක් පමණක් ගැනීමයි. පවසා බුදුන් වහන්සේ මේ කතාව වදාළා.

යටගිය දවස බරණැස් නුවර බමුණු පවුලක් උන්නා. ඒ පවුලේ පුත්තු දෙන්නෙක් උන්නා. මේ දෙන්නා බමුණු සිප්සත හොඳින් හැදෑරුවා. පංචකාමයේ ආදීනව දැනගත්තා. මව්පියන් පුතුන් දෙන්නාට සරණ මංගල්ලයක් කර දෙන්න උත්සාහ කළා. දෙන්නාම ඊට කැමැති වුණේ නෑ.

ඔබ දෙදෙනා පමණයි අපට ඉන්නේ. එබැවින් මේ සම්පත් රැකගැනීම, පරම්පරාව ගෙන යාම ඔබ සතු දෙයක්. මව්පියෝ කිව්වා.

මව්නි! පියාණෙනි! අප ගිහිගෙට කොටු කරන්න හදන්න එපා. අපට ඊට ආශාවක් නෑ.

හොඳයි. අපි නැතිවුණාට පස්සේ නුඹලාට යන කල දවස කුමක්ද?

ඔබ දෙදෙනා නැති දවසට අපි තපසට යනවා. ඔවුන් කිව්වා. මව්පියෝ එය නොපිළිගෙන පුතුන් දෙන්නා ගිහිගෙයි තබාගන්න වෙරදැරුවත් හරිගියේ නෑ. ඒ ගැන කම්පාවෙන් හිටියා.

පුත්තු දෙන්නා මව්පියන් හොඳින් රැකබලා ගත්තා. කාලය ගෙවී ගියා. මහලු මව්පියෝ මියගියා. පුත්තු මව්පියන්ගේ අවසන් කටයුතු හොඳින් සිදුකළා. උරුමයට ලැබුණු සම්පත් සියල්ලම දන් දුන්නා. දෙන්නත් එක්ක තපසට හිමාලයට ගියා. ගඟක් සමීපයේ අසපු දෙකක් හදාගත්තා. තපස් රකින්න වුණා. මේ තවුසන් නිතර හමුවුණෙත් නෑ. ඉඳහිට තමයි වැඩිමහල් තවුසා බාල තවුසා බලන්න එන්නේ.

මේ අතර ගඟෙන් මතුවී එන නාගරාජයෙක් මිනිස් වෙස්ගෙන බාල තවුසාගේ අසපුව ළඟ සක්මන් කරන්න වුණා. බාල තවුසා ඒ ගැන විමසීමක් කළේ නෑ. තපස් ව්‍රතයේම උන්නා. නාගරාජයා තවුසා ගැන පැහැදුණා. තවුසා සමඟ මිතුරු වුණා. පසුව නාග වේශයෙන්ම තවුසා වෙත ගියා. ඒ තවුසා නාගයාට කරුණාව දැක්වූවා. කලක් යනවිට නාගයා තවුසා වටේ දරණ ගහලා හිස උඩින් පෙනය තබා ඉන්න පුරුදු වුණා.

මේ ක්‍රියාවට තවුසා බිය වුණා. එහෙත් පෙන්නුවේ නෑ. නිහඬව උන්නා. මේ බිය නිසා තවුසා දුර්වල වුණා. කෙසඟ වුණා.

වැඩිමහල් තවුසා දිනක් බාල තවුසා බලන්න ආවා. බාල තවුසා දුර්වල වී ඉන්නා හැටි දැක ඔබට කුමක්ද වුණේ යැයි ඇසුවා.

එවිට නාගයා දරණ ගසා පෙනය හිස මත තබන හැටි කිව්වා. මට දැන් ඉන් ගැලවෙන්න ක්‍රමයක් නැතැයිද කිව්වා.
ඒ නාගයා කුමක්ද පැළඳගෙන එන්නේ ඇසුවා.

මැණිකක් කරේ පැළඳ ඉන්නවා.

හොඳයි. නාගයා නැවත ආ විට ඒ මැණික ඔබ ඉල්ලන්න. වැඩිමහල් තවුසා කිව්වා. යන්න ගියා.

පසුදා නාගරාජයා ආවා. සුපුරුදු ලෙස ළඟට ආවා. තවුසා මැණික ඉල්ලුවා. නාගයා යන්න ගියා. පසුදාත් නාගයා ආවා. තවුසා යළි මැණික ඉල්ලුවා. නාගයා එසැණින් යන්න ගියා.

තුන්වැනි දවසෙත් නාගයා ආවා. තවුසා මැණික ඉල්ලුවා. මට බොහෝ සම්පත් ඔබට දෙන්න පිළිවන්. ඇයි මේ මැණිකම ඉල්ලන්නේ. මේ මා සතු අනර්ඝම වස්තුවයි. එය දෙන්න බෑ. මම යළිත් ඔබ දකින්න එන්නේ නෑ. කිව්වා. නාගරාජයා ගියා. ඉන් පසු ආවේ නෑ. නාගයාගේ නොපැමිණීම ගැන තවුසා දුක් වුණා. ඒ සංවේගය නිසා තවුසා තවත් දුර්වල වුණා. ඒ අතර වැඩිහිටි තවුසා මේ තවුසා බලන්න ආවා. ඔබ ඇයි තවත් දුර්වල වෙලා. ඒ නාගයා තාම එනවද?
නෑ. ඌට වුණු දේ ගැන හරි දුකයි. පව් ඌ මට හරිම ලෙන්ගතුව හිටියේ.

ඒ ගැන හිතන්න එපා. ඌ ආයේ එන්නේ නෑ. කෙනකුගෙන් ඉල්ලිය යුතු දේත් තියෙනවා. නොඉල්ලිය යුතු දේත් තියෙනවා. ඔබ දැන් හිත හදාගෙන තපස් රකින්න. මේ දුකින් මිදෙන්න හිතන්න. වැඩිහිටි තවුසා කිව්වා. ඒ බාල තවුසා හිත හදාගත්තා. තපස් ව්‍රතය රැක්කා. ඒ නිසා උපාසකවරුන්ට කරදර නොකර කටයුතු කරන්න. බුදුන් වදාළා.

(මණිකණ්ඨ ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක