2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

සත්‍ය සොයා ගිය බමුණු කුමරා

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

ජේතවනාරාමයේ වැඩවිසූ භික්ෂුවක් පිඬුසිඟා වඩින විට රූමත් ස්ත්‍රියක් දුටුවා. ඈ ‍ළෙන්ගතුව පිඬු පිදුවා. භික්ෂුන් වහන්සේට ගරුසරුව නමස්කාර කළා. මේ තරුණ භික්ෂුවට ඇය කෙරේ සිත ගියා. විහාරයට පැමිණ ඇය ගැන සිතා උකටලීව සිටියා. මේ බව අනෙක් භික්ෂුන් දැනගත්තා. ඒ හිමියන්ට අවවාද කළා. උන්වහන්සේ එ ගණන් ගත්තේ නෑ. බලාගත් අත බලාගෙනම සිටියා.

ඒ භික්ෂුන් වහන්සේලා ඒ හිමියන් ගැන බුදුරජාණන් වහන්සේට දැන්වූවා. බුදුන් වහන්සේ භික්ෂුව කැඳවා ඒ ගැන විමසා මහණ, කුණුප ස්ත්‍රී රුවක් නිසා ඔබ උකටලී වී ඇත. නුවණැත්තෝ එසේ නොවේ. මේ ක්ලේශ නසන මාර්ගය සොයනවා. ඔබ ඒ මාර්ගය සොයන්න ඇවිත් සිටී. ඒ මඟ යන්න. පෙර නුවණැත්තෝ කාමභෝගී බොහෝ සැප සම්පත් කුණුකෙළ පිඬක් සේ සැලකුවා. තපසට ගොස් නොයෙක් දුක් විඳ ව්‍රත රැක්කා යැයි පවසමින් මේ කතාව වදාළා.

පෙර බරණැස සිටි බඹදත් රජතුමකුගේ අගබිසව පුතෙක් බිහිකළා. එදිනම එම වෙලාවට එතුමාගේ පුරෝහිතගේ බිසවත් පුතකු වැදුවා. බඹදත් රජතුමා සතුටුවෙලා කුමාරවරු දෙදෙනාම රජගෙදර එකට ඇතිදැඩි කරන්න වුණා. කිරි මව්වරුන්ද පත් කළා. කාලය ගෙවී ගියා. දෙදෙනා හොඳ මිතුරෝ වුණා. එකට සෙල්ලම් කළා. කෑවේ බීවේ එකට. මේ අතර ශිල්ප හදාරන වයස එළැඹුණා. රජතුමා තෑගිබෝග දී දෙදෙනාම තක්සලාවට යැව්වා. එහිදී කුමාරවරු ගුරුහිත නොරිදවා හොඳින් ශිල්ප හැදෑරුවා.

ශිල්ප කාලය නිමාවුණා. ශිල්පායතනයෙන් නික්ම යාමේ උත්සවය පටන් ගත්තා. මේ කුමරුන් දෙන්නා දස්කම් පෑවා. ගුරු ආශිර්වාද ලැබගෙන බරණැසට ආවා.

බඹදත් රජතුමා පුත් කුමරුට යුවරජකම පැවැරැවා. ඒ කුමරු වැසියන්ගේ සිත් දිනාගත්තා. රාජ සැප සම්පත් ලබමින් ජීවත් වුණා. එහෙත් මිතුරා අමතක කළේ නෑ. ඔහු නිතරම වගේ කැඳවාගත්තා.

පුරෝහිත බමුණු කුමරු යුවරජතුමා විඳින රාජ සම්පත් දැක කලකිරුණා. පංචකාම සැප සම්පත් ගැන කලකිරුණා. මේ ගිහිගෙදර පල රහිතයි. තාවකාලිකයි. අසත්‍යයයි. සත්‍ය සොයා යා යුතුයි සිතුණා. ඒ ගැන කල්පනා කරමින් සිටියා. එහෙත් ඔහුට නිවී සැනසිල්ලේ කල්පනා කරන්න ඉඩක් ලැබුණේ නෑ. යුවරජතුමා මා නිතර කැඳවනවා. මා අගරජ වුණු දාට ඔබයි මගේ පුරෝහිත කියා කියනවා. ඒ මදිවාට යුවරජතුමා සමඟ සැප පහසු විඳින්නත් ඕනෑ. බමුණු කුමරු ඊට සහභාගි වුණේ හිතකින් නොවේ. මිතුරුකම රැකගන්න.

මේ අතර බඹදත් මහරජතුමා මියගියා. යුවරජ අගරජකමට පත් වුණා. බමුණු කුමරු බිය වුණා. ඒ තමන් පුරෝහිත කරනවාට. ඔහුට ඕනෑකර තිබුණේ ඒ වනවිට සත්‍ය සොයා වනගත වී තපස් රකින්න. වහා ක්‍රියාත්මක වුණා. මව්පියන් වැඳ අවසර ගත්තා. නිවෙසින් පිටවුණා. සිංහ කොටි වග වලසුන් ඉන්න හිමාල වනයට ගියා. ඈත වනයේ සිත්කලු භූමි භාගයක අසපුවක් හදාගත්තා. ඉසිවරයකු සේ දැහැන්ගත වී උන්නා. අවට ඒ බියකරු සතුන් ගැවසුණාට මේ තවුසාට උන්ගෙන් හිරිහැරයක් වුණේ නෑ. බිය නැතිව මහ වනයෙන් ඵල වැලද නෙලාගත්තා. සත්‍ය සොයා යෑමේම නියැළුණා.

යුවරජතුමා අගරජ වූ පසුව මිතුරා කැඳවාගෙන එන්න යැව්වා. ඔහු නිවෙසේ නෑ කියා රාජපුරුෂයෝ කිව්වා. ඔවුන්ට මිතුරා ආ ගිය අතක් සොයන්න කියා යැව්වා.

පලක් වුණේ නෑ.

රජතුමා කම්පාවට පත් වුණා. එතුමාට හිතවත් බමුණු කුමරුගෙත් මිතුරකු වූ සයිහ නමැති ඇමැතියෙක් උන්නා. ඔහු කැඳවූවා. ඇමැතිතුමනි, මගේ වැලිකෙළියේ පටන් උන් මිතුරා මටත් නොකියා කොහේද ගිහින්. මට ඔහු සොයා ගෙනත් දෙන්න. කොපමණ මඟට වැය වුණත් කමක් නෑ. යන්න. රජතුමා කිව්වා.

හොඳමයි දේවයන් වහන්ස කී ඇමැතිවරයා මුලින්ම බමුණු යුවළ හමුවුණා. කුමරු තපසට ගිය බව දැනගත්තා. අනුපිළිවෙළින් ගමෙන් ගමට ගියා. එක් පිටිසර ගමකට ආවා. ඒ ගමේ කෙළවර හිමාලය. එහි වසන තවුසෝ මේ ගමට අවැසි දේ සිඟා එනවා. ඇමැතිවරයා තවුසන් එන මඟ කුටියක් තනාගෙන දවස් කිහිපයක් උන්නා. සොයන තවුසා ආවේ නෑ. පසුව ඔහු වැදි පුරුෂයෙක් සොයාගත්තා. ඔහුගෙන් විස්තර දැනගෙන ඔහුත් සමඟ වන වැදුණා. තවුස් අසපුව වෙත ගියා. ඒ වනවිට තවුසා දැහැන්ගතව සිටියේ.

ඇමැතිවරයා තවුසාට වැඳ පසෙකට වුණා.

තවුසා දැහැනින් මිදුණා. ඇයි ඇමැතිය මෙහේ ආවේ? ඇසුවා.

තාපස උතුමාණෙනි! ඔබ නැතිව මහරජතුමා අසීමිතව ශෝකයෙන් පසුවෙනවා. එතුමා මට කිව්වා ඔබ කැඳවාගෙන එන්න. පුරෝහිත තනතුර බාරදෙන්න.

ඇමැතිතුමනි! මට දැන් පුරෝහිත නොවේ මේ මුළු දඹදිවටම අගරජකම හෝ චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තිය ලබාදුන්නත් නොපිළිගන්නවා.

එසේ නොකියන්න. රජතුමා කම්පාවෙන් ඉන්නේ. එතුමා සැනසෙන්න පුරෝහිත තනතුර ලබාගන්න. ඔබවහන්සේගේ කුඩා කල පටන්ම මිතුරා නේද? ඒ ගැනත් හිතන්න.

ඇමැතිතුමනි! නුවණැත්තෝ දමනය කළ ක්ලේශ නැවත ග්‍රහණය කරගන්නේ නැත. ඔය රාජ්‍ය තනතුරු මට දැන් කුණුකෙළ පිඬක් සමානය. ගෘහ වාසය අතහැර සියලු සතුන්ට මෙත් සිතින් සැහැල්ලුවෙන් සිටිනවා. එය මට ඔය රාජශ්‍රීයට වඩා උතුම්. ඇමැතිතුමනි, ඔබ යන්න. රජතුමාට කියන්න මා ගැන කම්පා නොවී දැහැමි පාලනයක් ගෙන යන්න. දැන් ඔබ යන්න. තවුසා කිව්වා. තවුසා කැඳවා ඒමට අපොහොසත් වූ ඇමැතියා බරණැසට ගියා.

මේ කතාව අවසානයේ භික්ෂුවගේ නුවණ පෑදුණා. සෝවාන් ඵලය ලබාගත්තා.

(සයිහ ජාතකය ඇසුරින්) 
බී.පී.කේ. තිලක

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00