2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

රජතුමා හරි මඟට ගත් දිළිඳු මිනිසා

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

බරණැසට නුදුරු සැඩොල් ගමක් තිබුණා. එහි හැඩිදැඩි තරුණයෙක් උන්නා. ඔහු නැණවතෙක් ද වුණා. නිසි කල ආවිට අඹුවක් ගෙන ආවා. දෙදෙනා සතුටින් විනෝදෙන් කල් ගත කළා. එසේ කල් ගෙවන විට ඔහුගේ අඹුවට දොළක් උපන්නා. ඒ අඹ කෑමට. ඒ බව සැමියාට කිව්වා. ඔහු පුදුම වුණා. ඒ අඹ අවාර කාලය නිසා. ඔහු මෙසේ කිව්වා.

“සොඳුර මේ අඹ අවාර කාලයයි. ඉතින් මම කෙසේ අඹ සොයම් ද? වෙනත් පළතුරක් ගෙනත් දෙන්නද?”
“එපා. එපා. මට ඕනෑ අඹ. එය නොලැබුණොත් මගේ ජීවිතය නැති වී යන්න පුළුවන්.” ඈ කිව්වා.

සැඩොල් තරුණයා බිය වුණා. කෙසේ අඹ සොයන්නද? කියා කල්පනා කළා. එකල බඹදත් රජතුමාගේ මඟුල් උයනේ නිරන්තරයෙන් අඹ හටගන්නා ගසක් තිබුණා. ඒ ගස ඔහුට මතක් වුණා. ඔහු මැදියම් රැය ගෙවෙන විට මඟුල් උයනට ගියා. අඹ ගහට නැග්ගා. කළුවර නිසා අඹ ගෙඩි හරියට පෙනුණේ නෑ. එබැවින් අඹ ගහේ හැම අත්තකටම නැග අත ගගා ඉදුණු අඹ සෙව්වා. ඊට සෑහෙන වෙලාවක් ගත වුණා. නොදැනීම අලුයම උදා වුණා. ඒ සමඟම බඹදත් රජතුමාත් පුරෝහිතත් අඹ ගහ යටට ආවා.

රාජ සේවකයෝ අඹ ගහ ළඟට උස් පුටුවකුත් මිටි පුටුවකුත් ගෙනත් තැබුවා.

සැඩොල් පුරුෂයා බිය වුණා. සද්ද බද්ද නැතිව ගහ උඩට වෙලා උන්නා. අසු වුණොත් මරණය බවත් දැනගත්තා. 
බඹදත් රජතුමා උස් පුටුවේ ඉඳගත්තා. පුරෝහිත බමුණා මිටි පුටුවේ වාඩිවුණා. ඔහු රජතුමාට මන්ත්‍ර කියා දුන්නා. රජතුමා ඒවා ඉගෙන ගත්තා.

අඹ ගහේ උන්න පුරුෂයා ඒ දෙස බලා කල්පනා කරන්න වුණා.

මේ රජතුමා උස් අසුනේ සිට යම්තාක් කල් මන්ත්‍ර උගනී ද ඒ තාක් කල් එතුමා අධාර්මිකය. පුරෝහිත බමුණු තෙමේ නීච (මිටි) අසුනේ සිට යම්තාක් කල් මන්ත්‍ර කියා දෙයිද? ඒ තාක්කල් ඔහු අධාර්මිකය. එසේම බිරිඳක් නිසා ජීවිතයට ගරු නොකොට හොරෙන් අඹ කඩන්න මේ ගහට නැග්ග මමත් අධාර්මිකයැයි සිතුණා. කමක් නෑ. වෙන දෙයක් වුණාවේ මම අඹ ගහෙන් බහිනවා කියා තීරණය කළා. ඔහු ගහේ අත්තක් අල්ලාගෙන බහින්න හැදුවා. “දේවයන් වහන්ස!” කිව්වා.

රජතුමාත් පුරෝහිතත් බිය වුණා. පුටුවලින් ඉබේ නැගිටුණා. උඩ බැලුවා.

“දේවයන් වහන්ස! ඔබ වහන්සේ මෙපුර මහා බලවතාය. ඒ වගේම ප්‍රබල ක්‍රියා ඇත්තෙක් පුරෝහිත.”

“බ්‍රහ්මයාණෙනි! ඔබ පෙර පින් ඇති කෙනෙක්. එහෙත් කනගාටුයි. අනුවණයි.”

“තොප කවර කරුණක් නිසාද අපට එසේ කියන්නේ?” රජතුමා ඇසුවා.

“දේවයන් වහන්ස කරන ලද පහත් ක්‍රියා නිසා.”

“කුමක්ද අප කළ පහත් ක්‍රියා?”

“සත් පුරුෂයන්ගේ උතුම් ක්‍රියාවලට විරුද්ධ ක්‍රියා. එසේ හෙයින් අධාර්මිකයි”

“පුරුෂය තොප කියන දේ මට තේරෙන්නේ නෑ. තේරෙන්න විස්තර ඇතිව කියව.”

“දේවයන්වහන්ස! යමෙක් නීච ආසනයක ඉඳ උගන්වයිද? යමෙක් උස් අසුනක ඉඳගෙන ඉගෙනගනීද? එය බ්‍රහ්මණ දහමට සම්පූර්ණයෙන් පටහැනියි. ඔබ දෙපළ පමණක් නොවේ අඹුවක් පිනවන්න හොරෙන් අඹ කඩන්න ආ නිසා මමත් අධාර්මිකයි.”

“පින්වත් පුරුෂය! ඔබ හරි! මම මිහිරි බොජුන්වලට ඇති කෑදරකම නිසා පුරාතන ඉසිවරුන් දේශනා කළ ධර්ම පිළිවෙත් අමතක කළා.” පුරෝහිත කිව්වා.

“බ්‍රහ්මණයාණෙනි! මේ රජතුමා හැර මේ දඹදිව අන් අයත් මිහිරි බොජුන් ගන්නවා. එසේම බ්‍රාහ්මණය මේ සත්ව ලෝකය ද ලොකුය. ඔබ මෙතැන හැර වෙනත් තැනකට යන්න. අධර්මයෙහි නොහැසිරෙන්න. එසේ යන්න බැරිනම් මෙහි වසන්නේ නම් අධාර්මික නොවන්න. ඔබ පුරෝහිත තනතුරට පැමිණීමෙන් ලබන ලද යසස පිරිවර සැපයට සහ ධනයට නින්දා කරයි. අපායේ ඉපදීමට හේතුයි.”

“ඔබට ජීවිකා වෘත්තියක් ඇද්ද ඊට නින්දා කරයි.” ඒ චණ්ඩාල පුරුෂයා කීවේය.

බඹදත් රජතුමා ඔහුගේ කතාව සාවදානව අසා උන්නා. අවසානයේ මෙසේ ඇසුවා.

“පින්වත් පුරුෂය! තොප කවරජාති ඇත්තෙක්ද?”

“දේවයන් වහන්ස මම චණ්ඩාලයෙක්.”

“පින්වත ඔබ ජාති සම්පන්න වූයේ නම් උසස් රාජ්‍ය සම්පත් දෙනවා.”

“දේවයන් වහන්ස මට ඒ කිසිවක් ගැන ආශාවක් නෑ. ඒ පුරුෂයා කිව්වා.”

“කමක් නෑ. තොප රාත්‍රී කාලයේ මා වෙනුවෙන් මෙපුර පාලනය කර*ව. රජතුමා කිව්වා. පසුව ඒ චණ්ඩාල පුරුෂයාගේ ගෙලෙහි රන් පළඳනාවක් දැමුවා. ඔහුට එනුවර පදිංචිය දුන්නා. ඔහුට රැකවලුන් පත් කළා. එතැන් පටන් ඔහුගෙන් පැවැතෙන අය ගෙලෙහි රත්තන පුෂ්ප මාලාවන් ලබන වංශයේ උදවිය ලෙස නම් කෙරුණා.

පුරෝහිත ද ඒ පුරුෂයාගේ ඔවදන් පිළිගත්තා. එතැන් පටන් උස් පුටුවක ඉඳ මන්ත්‍ර ඉගැන්වූවා.

රජතුමා ද පුරෝහිත බ්‍රාහ්මණයාට ගෞරව කරමින් මිටි පුටුවක ඉඳගත්තා. මන්ත්‍ර ඉගෙන ගත්තා.

ජව ජාතතකය ඇසුරින්
බී. පී. කේ. තිලක

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00