2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

දාසයාගේ වෙනස

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

සැරියුත් මහ රහතන් වහන්සේ සෘද්ධි විහාරික භික්ෂුවක් සමඟ දනව් සංචාරයක යෙදුණා. ඒ භික්ෂුව රහතන්වහන්සේ බොහෝම කීකරුව වැඩම කළා. දක්ෂිණ ගිරි දනව්වටත් වැඩියා. එතෙක් හොඳ කීකරුවට උන් භික්ෂූන් වහන්සේට මානයක් ඇති වුණා. රහතන් වහන්සේගේ ඔවදන නොතැකුවා.

“මහණ! මේ දෙය කරව” රහතන්වහන්සේ වදාළා.

“මට බෑ.” ඒ හිමියෝ ප්‍රතික්ෂේප කළා.

සැරියුත් මහ රහතන් වහන්සේ නිහඬව විහාරයට වැඩම කළා. උන්වහන්සේට මේ භික්ෂුවගේ වෙනස  ප්‍රහේලිකාවක් වුණා. බුදුන් වහන්සේ වෙත වැඩම කළා. සිද්ධිය ප්‍රකාශ  කළා. ඇයි එසේ ඒ භික්ෂුව හැසිරුණේ යැයි විමසා සිටියා.
“ශාරිපුත්‍ර! ඔය හිමිනම දැන් පමණක් නොවෙයි.  පෙර භවයේදීත් එසේ හැසිරී ඇතැයි” කියමින් අතීත කතාව වදාළා.
එකල බරණැස බොහෝ ධන සම්පත් තිබුණු සිටුවරයෙක් උන්නා. එතුමා බොහෝ ඇසූපිරූ තැන් ඇති කෙනෙක්. එතුමාට හොඳ මිතුරෙක් ද සිටියා. ඔහුත් සිටුවරයෙක්. උන්නේ පසල් දනව්වක. මේ සිටුවරයා මහලුයි. සිටු දේවිය තරුණයි. සිටු දේවිය පුතෙක් බිහි කළා. මහලු සිටුවරයා කල්පනා කරන්න වුණා. මම මහල්ලෙක්. බිරිය තරුණියක්. මා මියගිය විට ඈ වෙන මිනිහෙක් ගනියි. ඔවුන් මගේ ධනය නාස්ති කරයි. මගේ පුතාට දෙන එකක් නෑ. එතුමාට සිතුණා. ඊට හොඳ වැඩක් කරන්න තීරණය කළා. හිතවත් තරුණ දාසයකුට කතා කළා. ඔහුගේ නම නන්ද. සිටුතුමා සිටු ගෙදර තිබූ සියලු වටිනා භණ්ඩ පෙට්ටියක දාගත්තා. දෙන්නත් එක්කම වනාන්තරයට ගියා. එක් තැනක නැවතුණා. පොළොව හෑරුවා. ධනය දැමූ පෙට්ටිය නිධන් කළා. නන්ද මගේ පුතා ලොකු වුණාම නුඹ ඔහුට ධන පෙට්ටිය වැළලූ තැන පෙන්වාපන් කිව්වා. ආපසු ආවා.

කලක් ගෙවී ගියා. මහලු සිටුවරයා මියගියා. සිටු කුමරු තරුණ වියට පත් වුණා. නන්ද ඒ වනවිට මැදිවියට පත්වෙලා.
සිටු දේවිය දිනක් “පුත ඔබේ පියා නන්ද සමඟ සිටු ගෙදර තුබූ ධන සම්පත් අරන් ගියා. මා ඒ ගැන ඇසුවාම ඒවා පුතාට ලොකු වුණාම ගන්න නිධන් කළා කිව්වා. නන්ද හමුවී ඒ ගැන අහගෙන ගිහින් අරගන්න” කිව්වා.

සිටු කුමරු මවගේ කීම අසා නන්ද හමුවුණා.

“ඔබ මගේ පියා සමඟ ගොස් නිධානයක් තැන්පත් කළාද?”

“ඔව්. එය ඔබතුමාට තරුණ වූවාම අරගන්න. 
නිධන් කළ තැන පෙන්වන්න” කිව්වා.

“එහෙමනම් අපි යමුද?”

නන්ද කැමති වුණා. උදැල්ලක් කූඩයක් අරන් ඒ දෙන්නා වනාන්තරගත වුණා. වනයේත් ටික දුරක් ගියා. නන්ද එක තැනකට වුණා.

“කොතැනද නිධානය” සිටු කුමරු ඇසුවා. 

“දාසි පුත්‍රය. මෙහෙකරු වූ තොපට මෙහි වස්තු කොයින්ද” කිව්වා. කුමරුට බැණ වැදුණා.
සිටු කුමරු එය නෑසුණු ලෙස නන්ද වස්තු ඇති නිධාන කොතැනද ඇසුවා.

යළිත් බැණ වැදුණා.

කුමරු ආපසු හැරුණා.

නන්දත් කුමරු පසුපස ආවා. සිටුපාය ළඟදි නන්ද කුමරු සමඟ සුහදව කතා කළා. සිටු කුමරු ඔහු සමඟ තරහා වුණේ නෑ.

දෙවැනි දවසේ නන්ද ස්වාමීනී! නිධාන ගන්න යමුයි කිව්වා. කුමරුත් ඔහු සමඟ ගියා. ගිහින් එදා වගේම නන්ද එදා උන් තැනටම වුණා. කුමරුට බැණ වැදුණා.

කුමරු ඉවසාගෙන ආපසු ආවා. තුන්වැනි දවසේ නන්දත් අඬගහගෙන කුමරු ගියා. එදත් ඒ තැනටම වී නන්ද පෙරසේම පරුෂ වචන ද කියා කුමරුට බැන්නා.

එදත් කුමරු නිහඬව ඔහු කැඳවාගෙන සිටුපායට ආවා. කල්පනා කරන්න වුණා. මේ දාසයා පායේදී මෙන් හැමතැනදීම මට යටහත් පහත්ව ඉන්නවා. වනයට ගියාම බැණ වදිනවා. ආවේස වූවකු වගේ හැසිරෙනවා. කුමක් හෝ ගුප්ත බලයක් ද දන්නේ නෑ කියා හිතුණා. මේ ගැන කාගෙන්ද අහන්නේ කියා කල්පනා කරනකොට පියාගේ පැරණි මිතුරා වූ බරණැස සිටුතුමා මතක් වුණා. ඔහු එතුමා සොයා එනුවරට ගියා.

සිටුතුමා පැරණි මිතුරාගේ පුතා දැක බොහෝම සතුටු වුණා. ආදරයෙන් පිළිගත්තා. සැලකිලි කළා. පසුව “ඇයි පුතා හදිස්සියේ මා සොයා ආවේ? කුමක් හෝ කරදරයක්ද?”

කරදරයක් නොවෙයි කියා නන්ද ගැන විස්තරය කිව්වා. සිටුතුමා කල්පනා කළා.

“පුතා ඔහු හැමදාම එකම තැන සිට ද ඔබට බණින්නේ?”

“ඔව්. පියාණෙනි! එතැනදී ඔහු අමුතු වෙනවා.”

“පුත ඔබ පියාගේ ධන නිධානය ඇත්තේ එතැන. යළි නන්ද සමඟ යන්න. ඔහු බණිනවිට දාසි පුත පල අහකට කියා සැර වෙන්න. එතැනින් ඔහු ඉවතට ඇද දමන්න. පසුව එතැන බිඳින්න. ධන නිධානය හමු වෙයි.” ඒ නැණවත් සිටුතුමා කිව්වා.

සිටු කුමරු නැණවත් සිටුතුමාගෙන් උපදෙස් ගෙන ආපසු සිටු මැඳුරට ආවා. නන්ද අඬගහගෙන වනගත වුණා. මෙතෙක් බැන්න තැනට ගිය විට නන්ද පෙර ලෙස බණින්න වුණා.

කුමරු ඔහුට බැණ ඈතට තල්ලු කළා. ඔහු සිටි තැන හෑරුවා. නිධාන හමුවුණා. එහි රන්, රිදී, මිණි මුතු මෙන් රනින් කළ මාල ද තිබුණා. කුමරු ඒ  සියල්ල ගෙන සිටුපායට ආවා. තෑගි බෝග ගෙන සිටු කුමරු බරණැස සිටුතුමා වෙත ගියා. එතුමා ඒ කිසි දෙයක් ගත්තේ නෑ. දානශීලාදී පිංකම් කරමින් යහපත් ජීවිතයක් ගත කරන්න කිව්වා.

නන්ද ජාතකය ඇසුරින් - බී. පී. කේ. තිලක