2020 ජුනි 27 වන සෙනසුරාදා

පශ්චාත් කොරෝනා ජවනිකා

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 168

මහ මැතිවරණය වැඩි උණුසුමකින් තොරවම නිමා විය. කොරෝනා වසංගතය ද, සියයට සියයක්ම දුරුවී, නැතිවී ගියේය. රට සෑම අතින්ම සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇත. මේ අතර, මැතිවරණ කොමසාරිස්තුමා මට මුණගැසුනේ අහම්බෙන් මෙනි. මාධ්‍යවේදීන් මඟහැරීමේ සිරිතක් නැති එතුමා මා දැක මොහොතකට නතර වුණේය.

ඔබතුමා කොහෙද මේ කලබලෙන් වගේ?
මම මේ. බාබර් සැලූන් එකක් හොයාගෙන යන ගමන්. පේනව නේද මගෙ හැටි? පහුගිය කාලෙ කොණ්ඩෙයි, රුවුලයි කපා ගන්ඩවත් වෙලාවක් ලැබුණයැ. ඒ මදිවට කොරෝනා නිසා සැලුනුත් වැහුවනෙ...
අර පොතේ වැඩ ඉවරද සර්?
මොන පොතද?

කොමසාරිස් තාත්තා.... සර්ගෙ පුතා ලියනව කිව්වෙ...
මොන බොරුද මල්ලි, ඕවා තමුසෙල වගේ පත්තරකාරයන්ගෙ විහිළුනෙ... මැකෝතුමා හඬනගා සිනාසුණේය.
සමහරු කියනවා, ඔබතුමා තමයි මේ දශකයේ ජනප්‍රියතම රාජ්‍ය සේවකයා කියලා... ඒ නිසා වෘත්තීය ජීවිතය ගැන පොතක් ලිව්වොත් නරකද?
තාම නං එහෙම අදහසක් නෑ. ලිව්වොත් ලියන්නෙ, ආතතියෙන් තොර නිලධාරියෙක් වන සැටි වගේ පොතක්.
එතුමා, යළිත් සුපුරුදු, නිදහස් සිනාව දැමුවේය.

පාර්ලිමේන්තුවේ පැරණි මුහුණු කිසිවක් දක්නට නැත. ඡන්දදායකයන්, මෙවර බුද්ධිමත්ව තම ඡන්දය භාවිතා කර ඇත. උගත්, වියත්, තරැණ මන්ත්‍රින්ගෙන් සභා ගර්භය පිරී ගොසිනි. මේ නිසා අභිනව ජනාධිපතිතුමා, නව ඇමැති මණ්ඩලයක් තේරීමේ අභියෝගයට මුහුණ දී සිටී. එහෙයින් පැරණි ඇමති මණ්ඩලය තවමත්, තම නිල නිවාසයන්හි රැඳී නිල රථ භාවිතා කරමින්, අඛණ්ඩ ජනතා සේවයක යෙදී සිටිති.
මෙවර සන්ධානගතව තරග කළ, ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, විපක්ෂයේ බලය අත්පත් කර ගැනීම නව වාර්තාවක් විය. එම පක්ෂයන්හි නායක දෙපළ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආසනය සහෝදරත්වයෙන් යුතුව, මාරැවෙන් මාරුවට භාවිත කිරීමටද එකඟව සිටිති.

සිරිලංකාවේ ප්‍රථම වතාවට, සමාජවාදි පක්ෂ දෙකකට විපක්ෂයේ බලය හිමිවීම ගැන සියලුම වාමාංශිකයෝ මහත් සතුටට පත්ව සිටිති. ජ්‍යෙෂ්ඨ වාමාංශික නායකයෙකු වන වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමාද, (සහෝදරයාද) ජ.වි.පෙ. සහ පෙ.ස.ප. නායකයින්ට තම විප්ලවීය ආචාරය පිරිනැමීමට අමතක නොකළේය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළින්, ලාංකීය විප්ලවය සිදුකිරීමට නැවත වරක් අවස්ථාවක් උදාවීම, තමාට විප්ලවීය ආස්වාදයක් ගෙනදෙන බවද එතුමා පැවසීය. එසේම, පාර්ලිමේන්තුව තුළදී එල්ලවිය හැකි ප්‍රතිගාමී හා ප්‍රතිවිප්ලවවාදි මිරිස් කුඩු ප්‍රහාර හා පුටු ප්‍රහාර ආදිය ගැන අවදියෙන් පසුවන ලෙස අවවාද කළ එතුමා, වාද විවාදයන්හිදී අශික්ෂිත වචන භාවිත නොකර, වැදගත් හරවත් දේ පමණක් ප්‍රකාශ කරන මෙන්ද උපදෙස් දුන්නේය.

නවක මන්ත්‍රීවරු තම මාසික වැටුප පමණක් නොව, විශ්‍රාම වැටුපද ප්‍රතික්ෂේප කර ඇති අතර, තම දිවා ආහාරය නිවසින් රැගෙන එන ඔවුන් පාර්ලිමේන්තු භෝජනාගාරයට යාමෙන්ද වැළකී සිටින බැව් වාර්තා වේ. මෙබඳු ජනතාවාදී ක්‍රියාවන්ගෙන් ඉතිරි කෙරෙන මහජන මුදල්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාර, ගම්බද පාසල් හා ප්‍රාදේශීය රෝහල් ඉදිකිරීම සඳහා යෙදවීමට ඔවුහු බලාපොරොත්තු වෙති.

කොරෝනා සමයේ ඇතිකරගත් පුරුදු තවමත් පවත්වාගෙන යාම ජනජීවිතයට බාධාවක් වී ඇති අයුරැද දක්නට ලැබෙයි. ඉහළ මිල ගණන්වලට ඇති අලංකාර මුඛවාඩම් පැළඳීම දැන් නව පරපුරේ විලාසිතාවක් බවට පත්වී තිබේ. මෙය රටේ ආරක්ෂක කටයුතුවලට බාධාවක් වී ඇති බව පොලිස් හා හමුදා මාධ්‍ය ප්‍රකාශකවරු කියා සිටිති. මේ නිසා, මාර්ග බාධකවලදී, මුඛවාඩම් පැළඳ සිටි අයට ඒවා ඉවත් කිරීමටත් අවවාද කෙරේ.
මගීන්, බස් රථ හා දුම්රියවලදී තදබද වී ගමන් කිරීමෙන් වැළකී සිටීම නිසා, ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව බලවත් ගැටලුවකට මුහුණ පා සිටිති. ආසන ගණනට පමණක් මගීන් නංවා ගැනීමේ ක්‍රමය පැවති නිසා මගීන් මේ තත්ත්වයට පත්ව සිටින බව පැවසූ ලං.ග.ම. නිලධාරියෙක්, නැවත වරක් ඔවුන්ට සිටගෙන යාම සහ තදබද වී යාම වැනි දේ පුහුණු කළ යුතුව ඇතැයිද කීය.

බැඳුම්කර මගඩියෙන් රටට අහිමි වූ මුදල් නැවත ලබා ගැනීමත්, එක් රාත්‍රියක් තුළ මහ බැංකුව මගින් යෝජිත ආර්ථික උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමත් නිසා, සිරිලංකාව දැන් සමෘද්ධියේ මාවතේ ඉදිරියට ගමන් කොට ඇති බව ලෝක බැංකුව පවා පිළිගෙන ඇත. එසේ තිබියදීත්, මහ බැංකුවේ විදුලි පහන් රාත්‍රී කාලයේදීත් දල්වා තිබෙන්නේද පරණ පුරුද්දටම විය යුතුය. එසේම, සෑම උදෑසනකම කොරෝනා සමයේදී මෙන් මහ බැංකු නිලධාරීන්ගේ, නළලට උෂ්ණත්ව මාපකය තබා පරීක්ෂා කෙරෙන්නේ, ජනපති අණින් ඔවුන් තුළ හටගත් උණ තවමත් පහව නොගොස් ඇති නිසා යැයි සමහරු කියති.

තම නිවෙස් තුළ වැඩිපුර කාලය ගත කිරීමට හුරුවීමද, කොරෝනා සමය තුළ සමාජගත වූ නරක පුරුද්දකි. ගමන් බිමන් නොයාම නිසා ප්‍රේම සම්බන්ධතා බිඳ වැටුණු අතර නිතර දෙවේලේ ඇස ගැසීම නිසා අඹු-සැමි ප්‍රශ්නද වැඩිවුණි. මෙය නුරුස්නාව නම් මානසික රෝගී තත්ත්වය දක්වා වැඩිවීමට ඇති හෙයින්, පෙර මෙන්, හැකිතාක් වේලා නිවසින් බාහිරව කාලය ගත කිරීමට හුරුවන මෙන්, සෞඛ්‍ය අංශ, ගෘහ මූලිකයිනට අවවාද කර සිටී.
කොරෝනා සමයෙන් පසු මට දහවල් නින්ද පුරුදු වී ඇත. මා එයට අකමැති නැත්තේ, දවල් සිහිනද දැකිය හැකි බැවිනි. මා එසේ සිහින ලොවෙහි සැරිසරමින් සිටි මොහොතකය, බිරිඳ කෑගසනු ඇසුණේ.
ඒයි, ඔය මාස්ක් එක ගලවල නිදාගන්ඩ. හුස්ම හිරවෙයි. ඇය දොර අසලම සිට ආපසු යාමට හැරුණාය. දැනට මාස කීපයක සිටම ඇය මා අසලට නොඑයි.

අපි දෙන්නා දැන් හුඟක් දුරස්වෙලා... මා පැවසුවේ ගොළු හදවතේ සුගත්ගේ හඬිනි.
හුඟක් නෙවෙයි අනේ... මීටර් දෙකක් විතරයි. 
මෙයද කොරෝනා සමයෙන් පසු, සමාජගත වූ නරක පුරුද්දකි.

කපිල කුමාර කාලිංග