2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

සත්පුරුෂයන් සමඟ විසීමෙන් උවදුරු මඟහැරේ

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

සැවැත්නුවරට දුර ගමක තිසරණ සරණ ගිය උපාසකයෙක් උන්නා. ඔහුට බුදුන් දැක වැඳගන්න ආසා හිතුණා. පා ගමනින් සැවැත්නුවර බලා ආවා. සෑහෙන දුරක් ආවට පස්සේ අචිරවතී ගඟ හමුවුණා. ඔහු ගඟ ඉවුරට වී වටපිට බැලුවා. ඔරුවක් පාරුවක් පෙනෙන තෙක් මානෙක තිබුණේ නෑ. කල්පනා කර කර හිටියා. එගොඩ යන්න ක්‍රමයක් ලැබුණේ නෑ. එහෙත් බුදුන් දැක වැඳගන්න තිබෙන ආශාව මඳක්වත් අඩුවුණේ නෑ. ඔහු බුද්ධාලම්බන ප්‍රීතියෙන්ම ගඟට බැස්සා. ගඟ දිය ඔහුට ගල් පොත්තක් වගේ දැනුණා. පය දිය යට ගියේ නෑ. එම නිසා මේ උපාසක ගඟ දිය උඩ ඇවිදගෙන ආවා. ගඟ මැද්දට ආවා.

උපාසක ආපසු හැරී බැලුවා. තමන් සිටි ඉවුර ඈතයි. ඔහු මේ ගඟ දිය තදවීම ගැන හිතන්න වුණා. බුද්ධාලම්බන ප්‍රීතිය සිතේ තරමක අඩුවුණා. ඒ සමඟම ගඟදිය මුදු වීගෙන ආවා. උපාසක බිය වුණා. යළි තිසරණ සරණ පැතුවා. බුදුන් වහන්සේ ගැනම සිතන්න වුණා. යළිත් ගඟ දිය තද වුණා. උපාසක ඇවිදගෙන එතෙරට ගියා. විඩා හැරියා. යළි සැවැත්නුවර බලා ගමන් ඇරඹුවා. සැවැත්නුවරට පැමිණුනා. 

• ගඟ තරණය පා ගමනින්

දෙව්රම් විහාරයට ගිය උපාසක බුදුන් වැන්දා.
එකත්පස් වුණා.

උපාසක දුර බැහැර ඉඳලද පැමිණියේ. බුදුරජාණන් වහන්සේ විචාළා.
එසේය ස්වාමීනි!
මඟතොට අවහිර සිදුවූයේද?
ස්වාමීනි! කරදරයකට වූයේ අචිරවතී නදියයි.
ඔබ එය තරණය කෙළේ කෙසේද?
එය මහ පුදුම ලෙස සිදුවූයේ ස්වාමීනි!
ඒ කෙසේද?

මට හැමදාම තෙරුවණ ගැන විශ්වාසය තිබුණා. මම පිරී ඉතිරී ගිය බුද්ධාලම්බන ප්‍රීතියෙන් ගඟට බැස්සා. හරි පුදුමයි. ගඟ දිය ගල් තලාවක් වගේ වුණා. එම නිසා මම පා ගමනින්ම ගඟ තරණය කළා. උපාසක එය පුදුමයක් නොවේ. තිසරණ සරණ ගිය සත් පුරුෂයන් තිසරණ සරණින් රැකබලා ගන්නවා. උපද්‍රවවලින් මඟහරවා ගන්නවා. ඔබ පමණක් නොවෙයි, පෙර කළ උන් උපාසකවරුත් බුද්ධාලම්බන ප්‍රීතිය නිසා ජීවිත රුකගත්තා යැයි බුදුන් වහන්සේ පවසා මේ කතාව ගෙනහැර පෑවා.
යටගිය දවස කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුන පැවැති කළ තිසරණ සරණ ගිය උපාසකයෙක් උන්නා. මේ උපාසකට නැවක නැගී ගමනක් යන්න සිදුවුණා. ඔහු නැව්තොටමුණට ගියා. කුඩා නැවකට නැග්ගා. ඒ නැවට කරණවෑමියකුත් නැග්ගා. නැවේ ටික දුරක් යනවිට උපාසකයි කරණවෑමියායි කතාබහෙන් මිතුරන් බවට පත්වුණා.

නැව කෙමෙන් සයුර මැදට ආවා. ගල් පරයක ගැටුණා. නැව කැඩී බිඳී ගියා. උපාසකයි කරණවෑමියයි මුහුදට වැටුණා. ඔවුන්ට බිඳුණු නැවේ ලී කොට දෙකක් හමුවුණා. එය බදාගත්තා. පීනන්න වුණා. ඉවක් බවක් නැතිව පීනන ඔවුන් ටිකක් ඈත දූපතක් දැක්කා. වැර යොදා මේ දෙන්නා ඒ දූපතට පීනුවා. එය රමණීය දූපතක්. මිනිස් වාසයෙන් තොර එකක්. ඒ වුණාට සරුසාර ගස් වැල් තිබුණා. ඒ නිසා බොහෝ කුරුල්ලන් උන්නා. එහෙත් එහි මේ දෙන්නට කන්න දෙයක් තිබුණේ නෑ.

• දූපතෙන් මිදෙන හැටි

කරණවෑමියා කුරුල්ලන් අල්ලා මරාගෙන කෑවා. උපාසකටත් දුන්නා. ඔහු කුසගින්නේ සිට මැරෙන නිසා කරණවෑමියා දුන් මස් කෑවා. ඒ ප්‍රසන්න සිතකින් නොවේ. උපාසක නිතර කල්පනා කළා. ඒ මේ දූපතෙන් මිදී ගමට යන හැටි. එසේම ඔහු තිසරණ සරණ පැතුවා. මේ මුහුදේ විශාල නාගරාජයෙක් උන්නා. තිසරණ සරණ පතන උපාසකව ඌට පෙනුණා. එසේම සාගරයේ අධිපති දෙවියන්ටද උපාසක දැක පිහිට වෙන්න හිතුණා. නාගරාජුද උපාසක ගලවා ගන්න සිතා ශරීරය නැවක් විලස මවා ගත්තා. සාගර දෙවියෝද නා රජුට එක්වුණා. මාලකාරයකුගේ වෙස්ගත්තා. දූපතට ආවා. මාලකාරයා උපාසක ළඟට ගියා. අපි බරණැස යනවා ඔබත් එනවාද ඇසුවා.

උපාසක ඔව් කිව්වා. එසේ නම් නැවට නගින්න මාලකාරයා කිව්වා. උපාසක කරණවෑමියාත් අඬගහගෙන ආවා.
හා... හා... ඔබට විතරයි යන්න පුළුවන් මෙයාට බෑ. මාලකාරයා කිව්වා.

ඒ ඇයි උපාසක ඇසුවා.
මෙයා තිසරණ නොරකින්නෙක් සතුන් මරන්නෙක්. පව්කාරයන්ට මේ නැවේ යන්න බෑ.
මා සතු මාර රකින යම් ශීලයක් වේ නම් මේ අසරණ කරණවෑමියාටත් එය හිමිවේවා. උපාසක පැතුවා.
ස්වාමීනි! මා අතින් පිනක් කරගන්න නුපුළුවන් වුණත් ඔබවහන්සේ දුන් පින් අනුමෝදන් වූවා. කී කරණවෑමියා උපාසක ගැන ශ්‍රද්ධාවක්ද ඇතිකර ගත්තා. දැන් ඔබත් නැවට නගින්න. මාලකාරයාගේ වෙස්ගත් සාගර දෙවියෝ කිව්වා. ඔවුන් දෙන්නා රැගෙන මුහුදෙන් ගඟට විත් ගඟ ඔස්සේ බරණාසට ගෙන ගොස් ඇරලුවා.

උපාසක තිසරණ රකින්නාට මුහුද මැද වුවද අතුරු ආන්තරාවක් වෙන්නේ නෑ. එසේම ඒ සත්පුරුෂයා සමඟ සිටින්නටද ඔහුගේ ආනුභාවයෙන් පිහිට ලැබෙනවා. බුදුන් වදාළා.

ශීලානිසංස ජාතකය ඇසුරින්