2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

පරම්පරා උරුමය

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 112

සැවැත්නුවර සමහරු දෙව්රම් විහාරයට තනි තනිව දන් දුන්නා. සමහරු හතර පස් දෙනෙක් එක්වී දානය දුන්නා. එසේ දන් දෙන්න අපහසු අය බොහෝදෙනා එක්කරගෙන දන් දුන්නා. මේ අතර එනුවර උන් තීර්ථකයන් නිගන්ඨනාථ පුත්‍රයන් වැනි ආගමික නායකයන් අදහන අය මේ දන්දීමට විරුද්ධ වුණා. මේ දානය බුදුන් ඇතුළු සංඝයාට පමණක් නොවේ. අනෙක් ආගමික නායකයන්ටත් දෙන්න ඕනෑ කිව්වා. ඊට බෞද්ධයෝ විරුද්ධ වුණා. එය දිගට ගොස් මහ අවුලක් බවට පත්වුණා.

මේ අවුල විසඳන්න එක් බුද්ධිමතෙක් මැදිහත් වුණා. ඔහු සියල්ල නිහඬ කරවූවා.

මෙනුවර වැසියන්ගෙන් බහුතරය කුමන ශාස්ත_න් වහන්සේද අදහන්නේ? ඔහු පිරිසගෙන් ඇසුවා.

බුදුන්වහන්සේ අදහන්නෝ වැඩියි. අනෙක් නායකයන් අදහන්නේ ඉතා සුළු පිරිසක්. ඔවුන් කිව්වා.

අනෙක් ශාස්ත_න්ටත් දානය දීමට යෝජනා කළාට පලක් නෑ. වැඩිදෙනාගේ යෝජනාවට මුල් තැන දිය යුතුයි. ඒ බුද්ධිමතා කිව්වා.

වැසියන් එය පිළිගත්තා. දෙව්රම් විහාරයට දානය දෙන්න වුණා. බුදුන් සරණ නොගිය අය දන්දීමෙන් වැළකී පැත්තට වුණා.

මේ සිද්ධිය දම්සභාවේ සාකච්ඡාවට යොමුවුණා. තීර්ථකයන් වැනි අය සරණ ගිය වැසියන් අපේ තථාගතයන් වහන්සේට දෙන ලාභ සත්කාර වළක්වන්න හැදුවා. එය අසාර්ථක වුණා. එක් හිමිනමක් පැවැසුවා.

ඉන් සිදුවුණේ මෙනුවර වැසියෝ තව තවත් භික්ෂු සංඝයාට සත්කාර කිරීමට උනන්දු වුන එකයි. තවත් භික්ෂුවක් පැවැසුවා. 

මහණෙනි! දැන් මතු නොව පෙරත් මට ලැබෙන පුද සත්කාර නැති කරන්න ඔවුන් උත්සාහ ගත්තා. එයත් පලරහිත වුණා. බුදුන්වහන්සේ වදාළා.

ස්වාමීනි! අපටත් දැනගන්න එය වදාළ මැනවි. භික්ෂූන් ඉල්ලා සිටියා.

එවිට බුදුන්වහන්සේ මෙම කථාව වදාළා.

• හස්ති යාගයේ ධන සම්පත්
පෙර කල බරණැස සුසීම නම් බඹදත් රජකෙනෙක් රජකම් කළා. ඒ රජතුමාට ගුණවත් පුරෝහිත බමුණෙක් සිටියා. ඒ බමුණා ත්‍රිවේදය පරතෙරට උගතෙක්. ඒවාගේම හස්ති ශිල්ප ශාස්ත්‍රය ප්‍රගුණ කළ කෙනෙක්. එබැවින් හස්ති ලක්ෂණ දැන වසරක් පාසා හස්ති යාගය කළා. ඉන් බොහෝ ධන සම්පත් ඔහුට ලැබුණා. මේ ගැන අනෙක් බමුණෝ පුරෝහිත ගැන ප්‍රසාදයක් දැක්වූයේ නැහැ. ඔවුන්ට කරගත යුත්තක් නැතිව උන්නා.

මේ පුරෝහිතට උන්නේ එක පුතයි. ඒ කුමරු කුඩා කල සිටන්ම නැණවතෙක් වුණා. පියා වාගේම දස්කම් පෙන්නුවා. ඒ කෙසේ වෙතත් කුමරුගේ ළමා විය ඉකුත්වීමට පෙර පුරෝහිත බමුණු තෙම මියගියා. ඉන් ඒ පවුල අසරණ වුණා. හස්ති යාගයද නතර වුණා. රජතුමාද ඊට උනන්දුවක් දැක්වූයේ නැහැ. මේ හේතු නිසා පුරෝහිතගේ අඹු දරුවන්ට සම්පත් හීන වුණා.

මේ ලෙස වසර කීපයක්ම හස්ති යාගය නැවැතී ගෙවී ගියා. ඒ අතර බරණැස උන් අනෙක් බමුණෝ රජතුමා හමුවුණා.

දේවයන් වහන්ස! හස්ති යාගය නතර කිරීම රාජ්‍යයට හොඳ නෑ. බොහෝ අයහපත් දේ සිදුවෙන්න පුළුවන් යැයි කිව්වා. 

මොනවද ඒ අයහපත් විපත් රජතුමා ඇසුවා.

සොබාවික විපත්....

ඒ විපත් කෙසේ වෙතත් හස්ති යාගය කිරීමට බැරිවීම ගැන මමත් කනගාටු වෙනවා.

දේවයන්වහන්ස! අපි යාගය කරමු. 

කරන්නේ කොහොමද? ඒ යාගය ගැන දන්නා පුරෝහිතතුමා නෑනේ.

දේවයන්වහන්ස! එයා නැතුවට යාගය කරන්න අපට පුළුවන්. ඔබවහන්සේ ආරම්භ කරන්න. බමුණෝ ඉල්ලා සිටියා. ඒ යාගය නිසා ඔවුන්ට සම්පත් ලැබෙන නිසා.

රජතුමා ඔවුන්ගේ ඉල්ලීම පිළිගත්තා.

මේ ආරංචිය පුරෝහිතගේ බිරිය දැනගත්තා. අඬන්න වුණා. පුරෝහිතගේ පුතා මව අඬනවා දැක්කා.

අම්මේ අයි අඬන්නේ? ඇසුවා.

• බොරු කරලා සම්පත් ගන්නවා

රජතුමා බමුණු කණ්ඩායමක් එක්ක හස්ති යාගය කරන්න හදනවා. ඒ යාගය මීට පෙර කළේ ඔබේ පියා. ඊටත් පෙර කෙළේ ඔබේ පියාගේ පියා. කොටින්ම හස්ති යාගය ඔබ පරම්පරාවට මිසක් අනිත් අයට අයිති නෑ. ඔය බමුණෝ යාගය ගැන හරියට දන්නේ නෑ. බොරු කරලා සම්පත් ගන්න හදන්නේ ඈ කිව්වා.

මෑණියෙනි! හස්ති යාගය කවදාද කරන්නේ?

දිනය තාම නෑ. ටික දවසක් යයි.

මවුනි! යාගය කිරීම ගැන හරියට දන්නේ කවුද?

දිසාපාමොක් ඇදුරුතුමා.

මෑණියෙනි! දුක්වෙන්න එපා. මම දැන්ම තක්සලාවට යනවා. යාගය ගැන ඉගෙන ගෙන එනවා. කී ඔහු තක්සලාව බලා ගියා. ඇදුරැතුමා හමුවුණා. සියලු විස්තර කිව්වා. ඇදුරිඳු කුමරැට අනුකම්පා කළා. හස්ති ශාස්ත්‍රය කියා දුන්නා. කුමරු දිවා රැය නොතකා ඉගෙන ගත්තා. උපතින්ම නැණවතකු නිසා ඉක්මනින්ම ත්‍රිවේදයද හැදෑරුවා. දින කිහිපයකින් සිප් හදාරා ගුරු සිත දිනාගෙන බරණැසට ආවා. ඒ එනකොට හස්ති යාගයට රජතුමා ලැහැස්ති වෙමින් සිටියා. ඇත්තු සියයයක් තෝරාගෙන උන්නා. රන් දද රිදී දද වලින් යාග ශාලාව අලංකාර කර තිබුණා. දිනය උදාවුණා. බමුණෝ පේවී ශාලාවට ඇවිත් සිටියා. රජතුමාද පිරිවර සමඟ ආවා. යාගය පටන් ගන්න හැදුවා. කුමරැ එසැණින් ආවා. දේවයන්වහන්ස! මේ යාගය පටන්ගත යුත්තේ මමයි. මගේ පරම්පරාවට අයිති දෙයක් කිව්වා. 

ඔබට අයිති වුණත් ශාස්ත්‍රය දන්නේ නෑනේ, රජතුමා කිව්වා.

එවිට කුමරු හස්ති ශාස්ත්‍රය ගැන දිගු විස්තරයක් කළා. බමුණෝ බිය වුණා. පසු බැස්සා. රජතුමා කුමරැට යාගය කරන්න දුන්නා. කුමරැ හොඳින් කළා. සම්පත් ලැබුවා. බුදුන් වදාළා.

සුසීම ජාතකය ඇසුරින් 
බී.පී.කේ. තිලක

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00