2020 මාර්තු 14 වන සෙනසුරාදා

යහපත්කම නිසා නැතිවුණු වාසස්ථානය

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

බුදුන්වහන්සේ ජේතවන විහාරයේ වැඩවසන සමයේ පසල් දනව්වක භික්ෂූ නමක වැඩ විසුවා. උන්නාන්සේ වැඩ විසුවේ රමණීය පන්සලක. ඒ පන්සල පිහිටා තිබුණේ සිත්කළු පරිසරයක. ඒ පරිසරයේ සිසිල් මදනල නිරතුරැ හැමුවා. නොසිඳෙන සීතල ජල දහරා අවට පිහිටා තිබුණා. සුන්දර පරිසරයක් නිසා පන්සලේ දායකයෝ ද සොඳුරු මිනිසුන් වුණා. භික්ෂූන්වහන්සේට සිව්පසෙන් නිතර පුදපූජා කළා. 

කාලය යහපත්ව ගෙවී ගියා. ආගන්තුක හිමිනමක් හදිස්සියේ මේ පන්සලට වැඩියා. විහාරාධිපති හිමියන් වෙත ගියා. වැද නමස්කාර කළා. 

“ඇයි ස්ථවීර?” උන්වහන්සේ ඇසුවා.

“ස්වාමීනී! මට ටික දවසකට නවාතැන් පහසුකම් ලබා දෙන්න.” ඒ භික්ෂුව ඉල්ලා සිටියා.

විහාරාධිපති හිමියන්ට භික්ෂුව ගැන සැක හිතුණේ නෑ. මේ පන්සලේ ඕනෑ තරම් ඉඩ තියෙනවා. එසේම අපේ දායකයොත් බොහොම හොඳයි. ඒ නිසා කරදරයක් වෙන්නේ නෑ. නවතින්න කිව්වා. කැඳවා ගෙනගොස් නවතින්න කුටියකුත් දුන්නා.
ආගන්තුක භික්ෂුව නොසෑහෙන්න විහාරාධිපති හිමියන්ට පැසසුවා. එහි නතර වුණා. ටික දිනක් යනකොට මේ හිමිවරු දෙන්නා බොහෝම කුළුපඟ වුණා. විහාරධිපති හිමි දායකයන්ටත් ආගන්තුක හිමිනම හඳුන්වා දුන්නා. ගුණ වර්ණාවකුත් කළා. තවත් ටික කලක් ගෙවී ගියා. ආගන්තුක භික්ෂුව දායකයන් කුළුපග මිතුරන් කරගත්තා. විහාරධිපති හිමි ඒ තරම් දායකයන්ට ළංවී උන්නේ නෑ. පන්සලේ උවමනාවකට පමණයි සාමීචියේ යෙදුණේ. ආගන්තුක හිමියෝ දායකයන් සමඟ අවැසිදේයි අවැසි නැති දේයි කතා කරමින් කාලය ගෙව්වා. මේ අතර ආගන්තුක භික්ෂුව කල්පනා කළා පන්සල අයිති කර ගන්න. විහාරධිපති භික්ෂුව පන්ලෙන් එලවාගන්න. ඒ ගැන උපායක් හිතා උන්නා. අදහසක් ආවා. විහාරාධිපති හිමි හමුවුණා.

“ස්වාමීනී! ඔබවහන්සේ බුද්ධෝපස්ථානයට වැඩම කර නැද්ද?”

“තාම බැරි වුණානේ.” විහාරාධිපති හිමි පැවසුවා.

“ආ... බුදුන් නොදැක වාසය කරන්න හොඳ නෑ..නේ... දෙව්රම්වෙහෙරට එතරම් දුරකුත් නෑනේ.”

“දුරක් නැති එක ඇත්ත. එහෙත් පන්සල දාලා යන්නේ කොහොමදැයි? කවුද දායකයන්ගේ වුවමනා ඉටුකරන්නේ. මම දෙව්රමට ගියොත් පන්සල පාළු වෙනවා.”

“හොඳයි ස්වාමීනි! ඔබවහන්සේ ගිහින් එනකම් මම පන්සල බලා ගන්නම්. දායකයොත් දැන් ඔබ අඳුනනවානේ. ඔවුන්ගේ කටයුතුත් කරන්නම්. ඔබවහන්සේ දෙව්රමට වඩින්න.” කිව්වා.

විහාරාධිපති හිමියෝ මේ භික්ෂුව විශ්වාස කළා. දායකකාරකාදීන් කැඳෙව්වා. විහාරාධිපතිකම ආගන්තුක භික්ෂුවට ඒ හිමියෝ පැවැරෙව්වා. බුදුන් දැක උපස්ථාන කිරීමට දෙව්රම්වෙහෙරට වැඩියා.

ඒ අතර ආගන්තුක භික්ෂුව ක්‍රියාත්මක වුණා. පළමු කොට දායකයන්ට හිටපු භික්ෂුවගේ වැරදි කිව්වා. මුසා උන්වහන්සේ ගැන ගොත ගොතා කිව්වා. අනුවණ දායකයොත් ඒවා පිළිගත්තා. ඒ යහපත් භික්ෂුව ගැන පිළිකුලක් ඇති කරගත්තා. ඉන් ආගන්තුක භික්ෂුව නොමඳ සතුටක් ලබාගත්තා.

සෑහෙන කලක් දෙව්රම්වෙහෙරේ වැඩසිටි යහපත් භික්ෂුව තමන්ගේ පන්සල බලා ආවා. ආගන්තුක භික්ෂුව මේ විහාරාධිපතිට එතරම් ගෞරවයක් දැක්වූයේ නෑ. එයා අයිතිකාරයා වගෙ පන්සලේ කටයුතු කරගෙන ගියා. ගිලන්පසවත් දුන්නේ නෑ. විහාරාධිපති හිමියෝ පාත්‍රය ගෙන පිඬුසිඟා ගියා. වෙනදා භක්තියෙන් පිඬු බෙදූ දායකවරු උන්වහන්සේ දුටු විටදොර වැසුවා. සමහරු අහක බලගත්තා.

විහාරාධිපති හිමියෝ සිල්වත් කෙනෙක් නිසා කෝප වුණේ නෑ. කල්පනා කළා. තමාට විරුද්ධව කුමක් හෝ ක්‍රියාවක් සිදුවී ඇති බව හිතුණා. ඊට මූලික ආගන්තුක භික්ෂුව යැයි තීරණය කළා. දායකයන්ට මම එපා නම් ඒ පන්සලේ ඉන්න අවශ්‍ය නෑ. මම පැවිදි වුණේ තෘෂ්ණාව ක්ෂය කරන්න. ඒ නිසා මට හිමි පන්සල වුණත් මම බලෙන් ඉන්නේ නෑ කිව්වා. ආපසු ජේතවන විහාරය බලා වැඩියා.

මේ යහපත් භික්ෂුවට සිදුවූ අයහපත ගැන දම් සබාවේ හිමිවරු කතාබහ වුණා.

“මහණෙනි! ඔය භික්ෂුවට පෙර කලකත් ඔය වැනි අකටයුත්තක් වුණා.” බුදුන්වහන්සේ වදාළා.

“ස්වාමීනී! අපටත් දැන ගන්න ඒ කතාව වදාළ මැනවි.” හිමිවරු ඉල්ලා සිටියා. එවිට බුදුන්වහන්සේ මෙම කතාව වදාළා.

පෙර කල හිමාල වනසේ ගල් බෙනක කුඩා වඳුරෙක් වාසය කළා. හිමවතට වැසි සමය උදාවුණා. දිනක් මේ කුඩා වඳුරා වැස්සේ තෙමී කෑම සොයායන්න කම්මැලි වී ගල්බෙනය තුළට වී උන්නා. ටික වෙලාවකින් ලොකුම වඳුරෙක් තෙමි තෙමි ගල් බෙනය ළඟට ආවා. නොතෙමී ඉන්න කුඩා වඳුරා දැක්කා. යහළුවා මටත් නොතෙමී ඉන්න බෙනයෙන් ඉඩ ටිකක් දෙනවද? යැයි කුඩා වඳුරාගෙන් ඇසුවා.

“එන්න. එන්න” කියා ඌ ලොකු වඳුරා බෙනය තුළට ගත්තා. ලොකු වඳුරා බෙනයට ගිය පසු දැනගත්තා වඳුරා කුසගින්නේ බව. ඌ බඩපුම්බා ගත්තා. මිතුර මට අද පලවැල ගොඩාක් හමුවුණා. කෑදරකමට කෑවා. බඩ ඉස්තාමුරුත්තෙට ඇවිත්. ඔබ නම් කුසගින්නේ වගෙයි නේද? ඌ ඇසුවා.

“ඔව් වැස්ස නිසා කෙහේටවත් ගියේ නෑ. කොහේද ඔය පළවැල ගොඩාක් තියෙන්නේ මටත් යන්න බලන්න. කුඩා වඳුරා ඇසුවා.

ඉස්සරහට යන්න එතකොට නුග ගසක් හමුවෙනවා. එතැනින් දකුණට හැරෙන්න ටික දුරක් යන විට පළවැල පිරිලා” ඌ කිව්වා.

කුඩා වඳුරා උගේ කීම අසා කී විලසට ගියා. එහේ පලවැල තබා කුඩා දඹගෙඩියක්වත් තිබුණේ නෑ. වඳුරා ආපසු ආවා. එනකොට ලොකු වඳුරා බෙනය තුළ නිදාගෙන උන්නා. කුඩා වඳුරා ආවා ඌ දැක්කා කොහොමද පලවැල තිබුණාද? නෑනේ කුඩා වඳුරා කිව්වා. මම දන්නවා ඒ බව, මට ඕනෑ වුණේ ඔබ බෙනයෙන් එළවා ගන්න. ඒක හරි ගියා. දැන් මේ ගල් බෙනය මගේ. ලොකු වඳුරා කිව්වා. 

මිතුර ඇයි ඔහොම කියන්නේ ඔය බෙනය මගේනේ. මමයි දිගු කලක් ඔතැන උන්නේ. ඔබ මේක හදාගත් එකක්ද? නෑනේ. මේක සොබාදහමෙන් හැදුණ එකක්. ඒ හින්දා මටත් අයිතියි. ලොකු වඳුරා කිව්වා. ඌත් එක්ක රණ්ඩු නොකර කුඩා වඳුරා යන්න ගියා. ඒ වඳුරන් තමයි ඔය භික්ෂූන් දෙන්නා. බුදුන් වදාළා.

(උදුම්බරා ජාතකය ඇසුරින්) 
බී.පී.කේ. තිලක  

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00