2020 මාර්තු 07 වන සෙනසුරාදා

මෙත් ගුණෙන් රාජ්‍යය බේරාගත් රජතුමා

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

කොසොල් මහ රජතුමාට යහපත් ඇමැතිවරයෙක් උන්නා. ඔහු රාජකාරිය සාධාරණව කරගෙන ගියා. රටවැසියන් සමඟ මිතුරු වුණා. වැසියෝද එතුමාට බොහොම ගෞරව කළා. එසේම මේ ඇමැතිතුමා දෙව්රම් විහාරයේ ප්‍රධාන දායකයෙක් වුණා.

මේ ඇමැතිතුමා අනෙක් ඇමැතිවරුන්ගේ දූෂිත ක්‍රියාවලට නිතර විරුද්ධ වුණා. ඒ නිසා ඒ ඇමැතිවරු මේ ඇමැතිතුමාට වෛර කළා. රජතුමාට කිව්වා මේ ඇමැතිවරයා රටවැසියන් සමඟ එකතු වී රාජ්‍යය පැහැර ගැනීමට කටයුතු කරනවා කියා. කොසොල් රජතුමත් ඒ බොරු කේලාම් විශ්වාස කළා. ඇමැතිවරයා අල්ලා හිරගෙට දැම්මා. ඒ යහපත් හිරකරුවා අනෙක් හිරකරුවන් මෙන් කල්පනා කර කර හිටියේ නෑ. මෛත්‍රී භාවනාව පටන් ගත්තා.

ඒ ඇමැතිතුමාගේ පෙර පින් පල දුන්නා. සෝවාන් ඵලයට පත්වුණා. කලක් ගෙවුණා. කෝසල රජතුමාට තේරුණා මේ ඇමැතිතුමා නිවැරැදිකරුවෙක්, අනෙක් අය කිව්වේ බොරු කියා. එතුමා ඇමැතිතුමා හිරෙන් නිදහස් කළා. පෙර සිටි තනතුරටම පත්කළා.

හිර ගෙදරින් නිදහස් වූ ඇමැතිතුමා දෙව්රම් විහාරයට ගියා. බුදුරජාණන් වහන්ස්ට නමස්කාර කළා. එකත්පස් වුණා.

උපාසක ඔබට දුකක් පැමිණියා නේද? බුදුන් වහන්සේ විචාලා.

එසේය ස්වාමීනි! දුකක් පැමිණියා. ඇමැතිවරයා කිව්වා.

එම දුකින් ඔබ ප්‍රයෝජනයක් ලබාගත්තා නේද? බුදුරජාණන් වහන්සේ විමසුවා.

• මෛත්‍රී භාවනාවේ බලය

එසේය ස්වාමීනි! බුද්ධාලම්බන ප්‍රීතියෙන් සෝවාන් ඵලය ලබාගත්තා.

උපාසක, උත්තමයෝ දුකක් පැමිණි විට ඒ ගැන සිත සිතා දුක්වන්නේ නෑ. ඒ පැමිණි දුක සැපතක් කර ගන්නවා. බුදුන් වහන්සේ වදාළා.

එසේය ස්වාමීනි! මම මෛත්‍රී භාවනාව කළා.

ඔව් උපාසක. පෙර උත්තමයෝ මෛත්‍රී භාවනාව හේතුකොටගෙන නැති වී ගිය රාජ්‍ය පවා ලබාගත්තා.

ස්වාමීනි! එය මටත් දැනගන්න වදාරනු මැනවි. ඇමැතිතුමා ඉල්ලා සිටියා.

එවිට බුදුරජාණන් වහන්සේ මෙම කථාව වදාළා.

යටගිය දවස බරණැස් නුවර දැහැමි බඹදත් රජ කෙනෙක් උන්නා. ඒ රජතුමා නිතර පන්සිල් රකින පොහොය දාට අටසිල් ගන්න කෙනෙක්. වැසියන්ට දසරාජ ධර්මයෙන් පාලනය ගෙන ගියා.

රජතුමාගේ එක් ඇමැතියෙක් රහසිගතව රජතුමාගේ අන්තඃපුරයට යන්න පටන් ගත්තා. වැඩිදිනක් යන්න පෙර ඇමැතිවරයා නොදැනම රහස හෙළිවුණා. රජතුමාටත් ආරංචි වුණා. එතුමා කලබල වුණේ නෑ. තමන්ම එය පරීක්ෂා කරන්න හිතුවා. රාත්‍රියේ සැඟ වී උන්නා. ඔහු රජතුමාගේ අතටම අසුවුණා. රජතුමා නිහඬව සිටියා. පසුදින රාජ සභාවේදී ඇමැතිවරයාට රජතුමා මෙසේ කිව්වා.

ඔබ රාජද්‍රෝහියෙක්. මරණ දඬුවම දිය යුතුයි. එහෙත් මම අන් පණ නසන්න නියෝග දෙන්නේ නෑ. දඬුවම වශයෙන් මගේ රාජ්‍යයෙන් ඔබ පිටුවහල් කරනවා. දැන්ම පිටවී යා යුතුයි.
ඇමැතිවරයා බරණැස් රාජ්‍යයෙන් පිටවුණා. කෝසල රාජ්‍යයට ගියා. කෝසල රජතුමා හමුවුණා.

ඇයි ඔබ මා සොයා ආවේ. රජතුමා ඇසුවා.

• දුර්ජන ඇමැතිගේ බොරුව

දේවයන් වහන්ස! මම බරණැස වැසියෙක්. දැන් සිටින බඹදත් රජතුමාගේ පාලනය දුර්වලයි. ඔබතුමා බලසේනා යැව්වොත් ඒ රාජ්‍යය යටත් කරගන්න පුළුවන්. ඒ දුර්ජන ඇමැතියා කිව්වා.

කෝසල රට රජතුමාටත් බරණැස යටත් කර ගන්න හිතුණා. ඊට පෙර මේ ඇමැතියාගේ කීම ගැන පරීක්ෂා කරන්න තීරණය කළා. හොඳයි ඔබ යන්න මම ඒ ගැන හිතා බලන්නම් කිව්වා. සොර කණ්ඩායමක් කැඳවා බරණැසට අයත් ගමක් කොල්ල කන්න යැව්වා. ඒ සොරු ගිහින් ගම කොල්ල කෑවා. ගම්මු වටවෙලා සොරුන් අල්ලා ගත්තා. බඹදත් රජතුමාට ඉදිරිපත් කළා.

තොප ඇයි මේ ගම කොල්ලකෑවේ. රජතුමා කාරුණිකව සොරුන්ගෙන් ඇසුවා.

දේවයන් වහන්ස සම්පත් නැති නිසා.

තොප මා වෙත ඇවිත් සම්පත් ඉල්ලුවා නම් දෙනවානේ කියා සොරුන්ට සම්පත් දී මීට පසු ගම් කොල්ලකන්න එපා කියා යැව්වා. ඒ සොරු කෝසල රට රජතුමා හමුවී සිදු වූ විස්තරය කිව්වා. කෝසල රට රජතුමා බඹදත් රජතුමා දුර්වලයෙක් කියා හිතුවා. බළසෙන් ගෙන බරණැසට ආවා. යුද ප්‍රකාශ කළා.

බඹදත් රජතුමා සටනට ගියේ නෑ. රාජ්‍යයේ ඇතුළුවීමේ දොරවල් විවෘත කෙරෙව්වා. බඹදත් රජතුමා බිසවත් ඇමැතිවරුත් සමඟ මතුමහලට වී උන්නා.

කෝසල් රට රජතුමා කිසිම උවදුරක් නැතිව නුවරට ඇතුළු වුණා. මතුමහලට නැග්ගා. රජතුමයි බිසවයි අල්ලා ගත්තා. හිරගෙට දැම්මා. කෝසල රට රජතුමා බරණැස සිට දෙරටම පාලනය කළා.

බඹදත් රජතුමා හිරගෙයි සිට මෛත්‍රී භාවනා කළා. ධ්‍යානය උපදවා ගත්තා. බිසවත් භාවනා කරන්න වුණා. රජතුමාගේ මෛත්‍රී භාවනාව නිසා කෝසල රට රජතුමාගේ ශරීරයෙන් නොනවත්වා දහදිය වැගිරෙන්න පටන් ගත්තා. එතුමා ඊට නොයෙක් වෙදකම් කළා. පලක් වුණේ නෑ. රෝගය එන්න එන්නම වැඩිවුණා. කෝසල රජතුමා පේනකාරයන් ගෙන්නුවා. රෝගයට හේතුව පේන බලා කියන්න කිව්වා. ඔවුන් පේන බලා පින්වත් බඹදත් රජතුමාට කළ අපරාධයට ඔය රෝගය හැදුණේ. රජතුමාට නිදහස දෙන්න. එතකොට රෝගය සුවවෙයි. කිව්වා. කෝසල රජතුමා බඹදත් රජතුමා නිදහස් කළා. බරණැස රජකම යළි පැවරැවා. කෝසල රට බලා ගියා. එදා ලේ බිඳක් නොසෙල්වා මෛත්‍රී භාවනාවෙන් රාජ්‍යය බේරාගත්තා. බුදුන් වදාළා.

සේය්‍යංස ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00