2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

කන ඇතුළේ කරන භාෂා පරිවර්තනය

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. එය පැරැණි කියමනකි. පැරැණි, පරිණත වියත් පුද්ගලයෝ ස්වකීය අත්දැකීම් මතු පරපුරේ ප‍්‍රයෝජනය තකා ව්‍යවහාරයට එකතු කළහ. ඒවා ජනශ‍්‍රැති වශයෙන් පවතී. අපගේ සංස්කෘතියෙහි වැදගත් කොටසකි. එක වාක්‍යකින් දෙකකින් බලවත් පණිවුඩයක් නිකුත් කෙරේ. මෙහි කතා කරන්නේ සිහි බුද්ධියෙන් අහන්නට නැඹුරු විය යුතුය යන අදහස නොවේ. කියන දේ පැහැදිලිව තේරුම් ගැනීමට සැලැස්වීමය. අනෙක් භාෂාවකින් කතාකරන දේ එහෙම භාෂාවක් ගැන නොදන්නා පිරිසකට වැටහෙන පරිදි පරිවර්තනය කරන ක‍්‍රමය ගැනය.

භාෂා පරිවර්තකයන්ගේ රාජකාරිය හමාරයි 
භාෂා පරිවර්තනය ඉහළ පෙළේ වෘත්තියකි. එහි සෑහෙන බරපතළ වගකීමක් තිබේ. පරිවර්තනයක් කරන ආකාරය අනුව එය තවත් දුෂ්කරය. කෘතියක් කියවා එය අධ්‍යයනය කර පරිවර්තනයට කාල වකවානුවක් ඇත. නැවත කියවා වරද නිවැරදි කරගැනීමටද ඉඩක් තිබේ. එහෙත් කතාවක් ඒ අවස්ථාවේදීම කරන පරිවර්තනය භාරදූර කර්තව්‍යයකි. මුල් කතාව කරන ස්ථානය, එම දේශනය කරන තැනැත්තාගේ පසුබිම අනුව මෙකී පරිවර්තනය තවත් සංකීර්ණ බව නිසැකය.

පරිවර්තන රාජකාරි කරන විශාල පිරිසක් ලෝකය පුරා සිටිති. භාෂා ඇති ප‍්‍රමාණය පමණක් නොව ඒවා අනෙක් භාෂාවකට හරවා ගන්නට ඇති අවශ්‍යතාවය තිබෙනතාක් කල් එම වෘත්තියෙහි අගය ඉමහත්ය. භාෂාවක ගැඹුර හොඳින් හදාරන මෙම වෘත්තිකයෝ ලෝක ප‍්‍රජාවගේ සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් ඉටුකරන මෙහෙවර වැදගත්ය.

එහෙත් අලුතින් ලැබෙන තොරතුරු අනුව ක්ෂණයකින් භාෂාවක් අනෙක් භාෂාවකට හරවා ගත හැකි මෙවලමක් නිපදවා තිබේ. එය පහසුවෙන් කන අසල සවි කරගත හැකි අතර සන්නිවේදනයෙහි නිරත පුද්ගලයාගේ භාෂාව අනුව එය තමන්ට වැටහෙන බසකට හරවා ගත හැකිය. දැනට මෙම මෙවලමට ශ‍්‍රවණයට සකස්කර ගත හැකි භාෂා ගණන විස්සක් බව දැක්වෙයි.

පරිවර්තන මෙවලම මුලින්ම ජපානයෙන්
ජපානයට එන විදේශිකයන්ට වැටහෙන පරිදි භාෂාව පරිවර්තනය කළ හැකි ඇප් එකක් පළමුවෙන් ජපානයේදී නිර්මාණය වූ අතර එයය ජංගම දුරකතනය හා එකට සම්බන්ධ වී ක‍්‍රියාත්මක වූ එකකි. 1999 දී පමණ කාලයේදී කන්සායි විද්‍යා නගරයේදී අත්හදා බලා තිබේ. දුරකතනයට කතාකළ විට එය අනෙක් භාෂාවකට හරවා අසන්නා වෙත ලැබෙන අතර එම තාක්ෂණයේදී සරල කතාබහට පමණක් සීමාවීම කැපී පෙනිණි. පසුකාලයක ලිඛිත දේ පවා එන ලිපියක් හෝ එස්.එම්.එස්. පණිවුඩයක් ඉක්මනින් අනෙක් බසකට හැරවෙන පහසුව ලැබුණි. 2004 වසරේදී ට‍්‍රාන්ස්ක්ලික් යනුවෙන් එය භාවිතාවට පැමිණ ඇති අතර 2006 වනවිට එය වඩාත් දියුණු තත්ත්වයට පැමිණ තිබේ. අදටත් අන්තර් ජාලයේ මෙම තාක්ෂණය ඇති අතර ස්කෑන් කරන ලිපියක් පවා පරිවර්තනය කළ හැකි බව දැක්වෙයි.

එයට පසු ජපානයේ නෙක් සමාගම ජපාන වචන පනස් දහසක ඉංග‍්‍රීසි වචන තිස් දහසකට හැරවිය හැකි කුඩා පරිවර්තකයක් හදා එය සංචාරකයන්ගේ භාවිතයට නිකුත් කරන ලදී. 2009 වන තෙක් එය නිල වශයෙන් එළි දැක්වීමෙන් වළකින ලද අතර යම් පරිවර්තන දෝෂයක් ඇති වුවහොත් එයින් සිදුවිය හැකි අයහපත සලකා ඉතා පරෙස්සමෙන් වෙළඳපොළට එවන්නට වගබලා ගත් බව සඳහන්ය. 

ගූගල් පරිවර්තකයාගේ පිහිට ලැබුණ හැටි
ගූගල් සමාගම භාෂා පරිවර්තනයට අත ගැසූ අතර එය ක‍්‍රමයෙන් විහිදිණ. එය දැනට ඇති වඩාත්ම වේගයෙන් ව්‍යාප්ත වූ යාන්ත‍්‍රික පරිවර්තන මෙවලමකි. ඩිජිටල් කැමරාවක් හා අන්තර්ජාල සම්බන්ධතාවයක් මෙම සන්නිවේදනයට අවශ්‍ය අතර එහි ආධාරයෙන් ක්ෂණයකින් භාෂාවක් අනෙක් භාෂාවකට විශේෂයෙන්, චීන, ජපන් හා ඉංග‍්‍රීසි පරිවර්තනය කරගත හැකි විය. අද පවා සංචාරකයන් හා වෙළඳපොළට පැමිණ භාණ්ඩ මිලදී ගන්නා ගැනුම්කරුවන් තමන්ගේ ජංගම දුරතකනයට එබී කතාකරන අතර එය පරිවර්තනය වන ආකාරය අනුව දෙපාර්ශවය අතර සාර්ථක සන්නිවේදනයකට මග පාදා ගනී.  එය හුදෙක් පුද්ගලාන්තර සන්නිදෙව්නයක් වන අතර අන්තර්ජාල සම්බන්ධතා නැති අවස්ථාවකදී එයින් ප‍්‍රයෝජනයක් නැත. වාර්තා දක්වන අන්දමට දැනට කළ හැකි භාෂා අටකට කරන පරිවර්තනයක් පමණකි. එහෙත් ඒවායේදී ද තාක්ෂණික ප‍්‍රශ්න තිබේ. වචන හසුරැවන ශෛලිය හා කටහ‍ඬේ ස්වභාවය අනුව නියම අර්ථය මගහැරෙන අවස්ථා තිබේ. 

අලුත් මෙවලම දියුණු තාක්ෂණයකි
අලුත් මෙවලම නිෂ්පාදනය කරනලද සමාගම එය WT 2 යනුවෙන් නම් තබා ඇති අතර එමගින් කිසිම අපහසුවක් නැතිව කනට පැළඳගෙන සාමාන්‍ය කතාබහක යෙදෙන ආකාරයට කතාව කරගෙන යා හැකි බව දක්වා තිබේ. නුදුරු කාලය තුළ එය වේගයෙන් ලොවපුරා පැතිරෙනු ඇති බව දැක්වෙයි. පහසු මිලක් නියමවන්නට  බැරි නැති බව ද ප‍්‍රකාශ වන කරුණකි.

මෙවලම හඳුන්වා දෙන සමාගම දක්වන ආකාරයට එය හොඳ ශබ්ද සවන්දිය හැකි උපකරණවලින් සමන්විත වන අතර වචන හැර අනෙක් බාහිර ශබ්ද පෙරා වෙන්කළ හැකි තරමට දියුණු කර තිබේ. වහාම එම වචන ක්වුඩ් තාක්ෂණයෙන් පරිවර්තකය වෙත යොමු වන අතර එහි දී ක්ෂණයකින් අනෙක් පාර්ශවයේ භාෂාව බවට හැරේ. මෙම සිද්ධි මාලාව සඳහා තත්ත්පරයෙන් ඉතාම කුඩා එනම් ‘මයික්‍රෝ’ වෙලාවක් ගන්නා හෙයින් දෙපාර්ශවය අතර සන්නිවේදනයේදී ඉරියව් හා ප‍්‍රතිචාරවලදී කිසිම බාධාවක් විය නොහැකි බව පෙන්වාදී ඇත.

පරිවර්තනය වැදගත් සාධකයක් වෙන්නේ ඇයි?
ප‍්‍රවාහනය හා නවාතැන් ගැන දැනට ඇති වියහියදම් හා කාලය ගැන ඇති ප‍්‍රශ්න විසඳා ගත හැකි නමුත්  නිදහස් කතා බහට ඇති බාධාව ලෝකයේ සංචාරක කටයුතු ඉදිරියට නොයන එකක හේතුවක් වශයෙන් අනාවරණය කරගෙන තිබේ.  2011 දී එංගලන්තයේ හා වේල්ස් හි මිලියන 56.1 ක ජනගහනයක් පදනම් කරගෙන කරන ලද සමීක්ෂණයට අනුව එම තෝරාගත් නියැදියෙන් ‘ඔබගේ ප‍්‍රධාන භාෂාව කුමක්ද?’ යනුවෙන් ඇසූ විට ලැබුණ උත්තර ප‍්‍රමාණය 600කට වැඩි බව දැක්වෙයි. බි.බී.සී පුවත් සේවය එම අනාවරණය කරන ලද අතර කෙසේ නමුත් මෙම පිරිසගෙන් සියයට අනූ පහකට ඉංග‍්‍රීසි පුළුවන්වීම සන්නිවේදන ගැටලු දුරුකරන ලද බව දක්වා තිබුණි.

ලෝක ප‍්‍රජාව මුලින් විශ්වයට ගැලපෙන එක පොදු භාෂාවක් ගැන අවධානය යොමු කරමින් සිටියේය. එය හැදෑරීමෙන් සියලු බේද මැඬ ගෝලීය ජාතියක් බිහිවනු ඇතැයි කල්පනා කළහ. නමුත් එයට බාධා තිබේ. නවීන තාක්ෂණය අනුව බලගැන්වෙන හිතාගත නොහැකි මෙවලමකින් පරිවර්තනකාර්යය සම්පූර්ණ කළ හැකි අනාගත යුගයකදී පැවැත්ම අදට වඩා ලෙහෙසි එකක් වනු නොඅනුමානය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමුකළ හැකිය.
► මිලින්ද මොරගොඩ