2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

හුවාවේ සමඟ තොරතුරු තාක්ෂණයේ පස්වැනි පරම්පරාවට යන බ්‍රිතාන්‍ය

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

ප‍්‍රකට සන්නිවේදන තාක්ෂණ ආයතනයක් වූ හුවාවේ ආයතන බ්‍රිතාන්‍යයේ පස්වැනි පරම්පරාවේ තොරතුරු තාක්ෂණ සන්නිවේදන පහසුකම නිර්මාණය කරන වගකීම භාරගෙන තිබේ. බ්‍රිතාන්‍ය අවශ්‍යතා සම්පාදනය කරනු සඳහා හුවාවේ සමාගම සම්බන්ධ කර ගැනීමට පවතින සූදානම කෙරෙහි බලවත් රටවල් ගණනාවක් නොසතුට පළකර තිබුණි. ඇමරිකා එක්සත් ජනපදය එහි මුලින් සිටි බව නොරහසකි. චීනයට අයත් සමාගමක් බ්‍රිතාන්‍යයේ අතිශය වැදගත් සන්නිවේදන ජාලා සම්පාදනයෙහි හවුල්කරු වනවිට ඇතිවිය හැකි අනතුරු ගැන විවිධ අනතුරු ඇඟවීම් ප‍්‍රසිද්ධියේ එළිදැක්විණ. කෙසේ නමුත් දීර්ඝ විවාදයකට පසු හුවාවේ සමාගම අතට අවස්ථාව පත්ව ඇති අතර බි‍්‍රතාන්‍ය දක්වන පරිදි එය සමස්ත ව්‍යුහයෙන් සියයට තිස්පහක පමණ කොටසක් පමණකි.

• සයිබර් ආරක්ෂාව ගැන සහතිකයක්
පස්වැනි පරම්පරාවේ රැහැන් රහිත තාක්ෂණය ඉතාම දියුණු සන්නිවේදනයකි. එය බාධාවකින් තොරව තොරතුරු හුවමාරු කරගැනෙන අතර විශේෂයෙන් යන්ත‍්‍ර සමග සන්නිවේදනයට ප‍්‍රයෝජනවත්ය. දැනට කරන සන්නිවේදනයේදී ප‍්‍රජාව අතර කෙරෙන අදහස් හුවමාරුවට පළමු තැනක් ලැබේ. එහිදී සිදුවන සන්නිවේදන දෝෂ සමහරවිට දරාගත හැකි තත්ත්වයක පවතී. බිඳවැටීම් බරපතළ ගැටලු ඇති නොකරයි. නමුත් අනාගතයේදී රොබෝ තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වෙන පරිසරයක් තුළ බාධාවකින් තොරව අඛණ්ඩව කෙරෙන සන්නිවේදනය අවශ්‍යය. එහිලා පස්වන පරම්පරාවේ සන්නිවේදනය උපකාරී වෙයි. ලෝකයේ නොයෙක් රටවල් පස්වන පරම්පරාවේ සන්නිවේදනයට නතු වෙමින් පවතින අතර එය සුපිරි වාසියක් හා සමානව සයිබර් අනතුරක් බවද ප‍්‍රකාශ වෙයි.

අන්තර් ජාතික පර්යේෂණ ආයතන අනාගතයේ දී ඇති විය හැකි සයිබර් අපරාධ ගැන සැලකිල්ල යොමුකරමින් තිබේ. තොරතුරු හුවමාරුවේදී සිදුවන දත්ත අනිසි පරිහරණයට ලක්වීම හෝ ඒවා වෙනස් කිරීමෙන් හෝ බලහත්කාරකම්වලට යටත් කිරීමෙන් විශාල ආර්ථික හා සමාජ පීඩාවක් සිදුවිය හැකි බව දක්වයි.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය වාර්තා අනාවරණය කරන පරිදි හුවාවේ ආයතනයේ මෙහෙයුම් වලට බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට හෝ ඉතාමත් වැදගත් ස්ථාන වලට ඇතුළු වන අවස්ථාව නැත. ඉතා සූක්ෂම අවධානයකට පසු හුවාවේ ආයෝජනයට පරිසරය සැකසේ.

• චීනයට පමණක් අත පොවන්නට ඉඩ නැත
බ්‍රිතාන්‍ය වාර්තා අනුව පස්වැනි පරම්පරාවේ සන්නිවේදන මෙමරිපත ඉන්ටෙල් සමාගමට අයත්ය. එය ඇමරිකානු බහුජාතික සමාගමකි. ලෝකයේ වඩාත්ම වටිනාකමක් සහිත වෙළඳ නාම අතර දෙවැනි තැන සිටින ඉන්ටෙල් සමාගමේ 2018 වසරේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 70 ඉක්මවයි. ඉන්ටෙල් තොරතුරු තාක්ෂණ ආයතන අතර ඉදිරියෙන්ම සිටින අතර හුවාවේ සමාගම සපයන තාක්ෂණයට අවශ්‍ය මෙමරිපත සැපයීමෙන් යම් ආකාරයකට එහි චීන අත පෙවීම පාලනය වී ඇති බව දැක්වේ. අනෙක් වාර්තාවකට අනුව මෙම සන්නිවේදනය වෙනුවෙන් මෘදුකාංග සපයන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයයි. වොෂිංටන්හි මූලස්ථානය පිහිටි මයික්‍රොසොෆ්ට් ආයතනයද ඇමරිකානු එකකි. සුප‍්‍රකට නව නිර්මාපකයන් වන බිල් ගේට්ස් හා පාවුල් ඇලන් නිර්මාතෘවරැන් වශයෙන් අද එය ඉහළම තාක්ෂණය සහිත දැවැන්ත සමාගමක් බවට පත්කර තිබේ. 

හුවාවේ ආයතනය පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය සම්පාදනය කරන නමුත්  ඉන්ටෙල් හා මයික්‍රොසොෆ්ට් සමග එකතුවීමට සිදුවෙයි. බ්‍රිතාන්‍යයට පහසුකම් සැලසීම සඳහා චීන ආණ්ඩුවේ ප‍්‍රධාන සන්නිවේදකයා ඉදිරිපත්වන විට ඇමරිකානු බලවත් සමාගම් දෙකක් අවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් පෙනී සිටීම විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම සමාගම් අතර කොටස් බෙදී යන ආකාරය ගැන තවමත් නිගමනයකට එළැඹී නැත.

• සන්නිවේදනයේ පහසුව සහතික වෙන ලකුණු
පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය සමග මෙහෙයුම් පිරිවැය අඩුවෙයි. නඩත්තුව සීමා සහිතය. එහෙත් ඒ වෙනුවෙන් කළයුතු ආයෝජනය දැවැන්ත බව අනාවරණය වෙයි. නිෂ්පාදන හා සේවා අංශ අතර එකිනෙක සම්බන්ධ වන වේගය හා එයින් ඉතිරි කරන කාලය රටකට ඉතාම වැදගත්ය. එය සෑහෙන ආර්ථික වාසි ඇති කරනු නිසැකය. 

“නොකියා” සමාගම, පින්ලන්තයේ පිහිටි සිය නවතම නිෂ්පාදන අංශය ගැන මෑතකදී අනාවරණය කළ තොරතුරු අනුව එහි මෙහෙයුම් වලින් සියයට අනූනමයක් ස්වයංක්‍රියව සිදුකෙරේ. මිනිස් ශ‍්‍රමය භාවිතා කිරීම සියයට එකකි. සියලුම යන්ත‍්‍ර රොබෝ තාක්ෂණයෙන් යුක්තය. රොබෝ යන්ත‍්‍රවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගෙන වාතයේ ආර්ද්‍රතාවය හා උෂ්ණත්වය පවා ස්වයංක‍්‍රීවය පාලනය කෙරේ. ඉතාම ඉහළ ගුණාත්මක භාවයක් සහිත පස්වැනි පරම්පරාවේ රුහැන් රහිත සන්නිවේදනය ඇමරිකාව හා කොරියාව දැනට භාවිතා කරයි. චීනය, ජපානය, පින්ලන්තය හා ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් ගණනාවක් එම තාක්ෂණයට ඇතුළුවීමට ප‍්‍රයත්න දරමින් සිටී. පින්ලන්තයේ විශ්වවිද්‍යාලයක රැහැන් රහිත සන්නිවේදනයේ පස්වැනි පරම්පරාව ක‍්‍රියාත්මක අතර නොකියා සමාගම මෙහෙයැවෙන්නේ ඒ ආශ‍්‍රිතවය.

• හතරවැනි හා පස්වැනි පරම්පරා වෙනස
සන්නිවේදනයේ පස්වැනි පරම්පරාව සතු සුවිශේෂීතා හඳුනාගැනීම වැදගත්ය. හතරවැනි පරම්පරාවේ රැහැන් රහිත සන්නිවේදනයට වඩා දහගුණයක් වේගවත් බවක් පෙන්වයි. වර්ග කිලෝමීටරයක් තුළ එකිනෙකට වෙනස් මෙවලම් මිලියනයක් එකිනෙකට සම්බන්ධ කළ හැකි බව දැක්වෙයි. දැනට භාවිතාවන සියලුම ගණන් ගැනීම් පරාජය කර ඉතා වේගයෙන් හා නිවැරදිව සන්නිවේදනයෙහි නිරත වනු ඇත. මෙය අද පවතින ජනතාව අතර සන්නිවේදනය අභිබවා සමස්ත සංහතිකය සමග කරන සන්නිවේදනයෙහි සමත්වන ගුණාත්මක පරිවර්තනයකි. එමඟින් යන්ත‍්‍ර හා යන්ත‍්‍ර අතර කරන සන්නිවේදන ව්‍යුහයක් බිහිකර ඇත. අවසානයේදී එය ඉතාම බුද්ධිමත් රොබෝ තාක්ෂණ යුගයක් කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කෙරේ. පස්වැනි පරම්පරාවේ රුහැන් රහිත සන්නිවේදනය සමග කෘත්‍රිම බුද්ධි පරිනාමනය අතිශය සංකීර්ණ ක‍්‍රියාවලියක් වනු ඇති අතර එය පාලනය කරන්නේ කෙසේද යන්න ගැනද ජාත්‍යන්තරය තුළ සෑහෙන බරපතල විවාදයක් තිබේ. මානව පැවැත්මට තර්ජනයක් වන තත්ත්වයට පත්විය හැකිද යන ප‍්‍රශ්නයද ගැඹුරෙන් සාකච්ඡා කරමින් සිටී. 

• විකාශන ස්වභාවය වෙනස් විය හැකිය
පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය සමග සියලු තොරතුරු විකාශන ජාලාවල ස්වභාවය වෙනස් වෙයි. හුදෙක් එක සන්නිවේදන පරාසයක් ලබාගන්නා ව්‍යවසායකයකුට ගුවන් විදුලිය, රූපවාහිනී හෝ වෙනත් ඕනෑම සමාජ මාධ්‍ය විකාශයක් පවත්වාගෙන යා හැකි වනු ඇති අතර මෙතෙක් වෙන් වෙන්ව තිබුණ ආයතනික රාමු එකට එකතු වී සංකීර්ණ තත්ත්වයට පත්වෙයි. එහිදී සන්නිවේදන බලපත‍්‍ර ක‍්‍රමය අනෙක් පැත්තකට හැරෙන අතර බලපත‍්‍ර නිකුත් කිරීම වෙන්දේසි ක‍්‍රමයකට යොමුවනු ඇතැයි සැලකේ. ඉහළම වෙන්දේසියෙන් ලබාගන්නා ව්‍යවසායකයකුට එයින් නොයෙක් අලුත් පැතිවල සන්නිවේදන අවශ්‍යතා සපුරන්නට හැකිවන අතර එය ගෝලීය වෙළඳාමක් දක්වා පුළුල් කළ හැකිවෙයි. ඇමරිකාව මුලින් බ්‍රිතාන්‍යයේ තීරණයට එරෙහිව සිටියේය. තෙරේසා මේ අගමැතිනිය බලයේ සිටින කාලයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් බ්‍රිතාන්‍යයට පැමිණි අතර එහිදී චීන හුවාවේ ආයතනයට පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය පැවරීම ගැන කෙලින්ම අසතුට පළකර තිබුණ බව මාධ්‍ය වාර්තා කර ඇත. බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් පියවරක් ඉදිරියට එහෙත් උපායශීලීව ගෙන යන්නේ එවැනි පසුබිමකදී බව අමතක කළ යුතු නැත.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
► මිලින්ද මොරගොඩ

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00