2020 ජනවාරි 25 වන සෙනසුරාදා

රුධිර නාලිකා ඔස්සේ ගමන් කරන දොස්තර

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 93

හදවත් රෝග බහුලව වාර්තාවන කාල වකවානුවක් උදා වී තිබේ. අතිශය කාර්යබහුල, පීඩනයක් සහිත ජීවිතයක් ගත කරන ජනයා බෝ නොවෙන රෝගවලට ගොදුරු වන අවදානම වැඩි බව වෛද්‍ය වාර්තා පෙන්වා දී ඇත. දියවැඩියාව, පිළිකා, වකුගඩු හා විශේෂයෙන් හදවත් ආශ‍්‍රිත රෝග එයින් ප‍්‍රධාන තැනක් ගෙන ඇති බව වැඩිදුරටත් දක්වයි. සුවපත්වීම අපේක්ෂාවෙන් එන රෝගීන්ට කරන ප‍්‍රතිකාර විධි දිනෙන් දින දියුණුවෙමින් තිබේ. නිතිපතා අලුත් ආරංචි ලැබේ. හදවත ආරක්ෂා කරගෙන දීර්ඝ කාලයක් මනුෂ්‍යයා ජීවත්කරවීම අරමුණු කරගෙන නොයෙක් පර්යේෂණ සිදුවෙයි.

වොච්මෑන් උපාංගය භාවිතාවට

ඇමරිකාවේ හාට් ඇසෝෂියේෂන්හි පළ කරන ලද වාර්තාවකට අනුව ශරීරයේ නහර තුළ ගමන් කළ හැකි විශේෂ මෙවලමක් නිපදවන්නට සමත්ව තිබේ. බොස්ටන් විද්‍යාත්මක පර්යේෂණ ආයතනය එය හඳුන්වා දී ඇත. ‘‘වොච්මෑන්’’ යනුවෙන් එය හැඳින්වෙයි. එන්නතක් වැනි උත්සාහයකින් එය සිරුරට ඇතුළු කළ හැකිය. එයින් පසු ක‍්‍රියාත්මක වන අතර නහර පුරා ඇවිදිමින් ගමන් කරමින් ක‍්‍රියාත්මක වෙයි. රුධිර සංසරණයේ තත්ත්වය නිරීක්ෂණයට සමත් වන අතර පිටතින් පාලනය කර තොරතුරු නිරීක්ෂණයට ද අවස්ථාව තිබේ. සම්පූර්ණයෙන්ම ස්වයං තීරණ ගත හැකි මට්ටමක නැති නමුත් යම් බාධාවක් සහිත අවස්ථාවකදී යුහුසුළු වන බව ද දැක්වෙයි. රුධිරයේ ඝනකම හෝ කොලෙස්ටරෝල් තැන්පත්වීම වැනි අවස්ථාවල දී වහා විසඳුමක් සැපයේ.

වොච්මෑන් නිෂ්පාදකයන් දක්වන අන්දමට අනෙක් වැදගත් කරුණක් ද තිබේ. දැනට භාවිතා කරන විවෘත හෘද සැත්කම් හෝ අවහිරතා මග හැරීමට ස්ටෙන්ස් වෙනුවට කදිම ආදර්ශකයක් බව ඔවුහු කියා තිබේ. විවෘත හදවත් සැත්කම අධික පිරිවැයක් දරන්නට සිදුවන අතර රෝගියාට ප‍්‍රවේශම් වන්නට සිදුවෙයි. සෑහෙන කාලයක් බෙහෙත් වර්ග ගණනාවක් පාවිච්චි කරන්නට නියම කෙරේ. ස්ටෙන්ස්වල පවා නැවත නැවතත් කොලෙස්ටරෝල් තැන්පත් වන අවදානමක් ඇත. එවැනි අවස්ථාවකදී නැවතත් ප‍්‍රතිකාර ගැනීමට සිදුවෙයි. ස්ටෙන්ස්වලදී පවා ආහාරයට ගත හැකි දේ පාලනය නියම කරයි. වොච්මෑන් එවැනි පැතිවලින් නිදහස්ය.

වසරක් ඇතුළත රෝගීන්ට භාවිතා කළ හැක

වොච්මෑන් මෙවලම නිෂ්පාදනය කරන බෝස්ටන් පර්යේෂකයන් දැනට ලක්ෂ වතාවක් උපකරණය අත්හදා බලා තිබේ. වෙනත් අවදානම ඉතාම අඩු අතර ප‍්‍රති කි‍්‍රයාකාරීත්වයෙන් හානියක් නොවන බව තහවුරු කර ඇත. අමෙරිකානු ඖෂධ අධිකාරිය ද එයට අනුමැතිය පළ කර තිබේ. ඉදිරි වසර හෝ වසර එකහමාර ඇතුළත වොච්මෑන් ප‍්‍රතිකාරයක් සේ නියම කරනු ඇති අතර විශේෂඥ වෛද්‍යවරයකු එම මෙවලම සිරුරට ඇතුළු කරනු ඇත. එතැන් සිට කොලෙස්ටරෝල් තැන්පත් වන ස්ථාන පිරිසිදු කරන කාර්යයට මැදිහත් වන බව නිෂ්පාදකයෝ දක්වති. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් හදිසි හෘදයාබාධ අවදානම ඉතාම අවම වනු ඇත. රුධිරය කැටි ගැසීම, අභ්‍යන්තර රැධිර කාන්දුවක් ඇතිවන සේ නහර හිරවීම හෘදයාබාධයක් වැළඳෙන රෝගියකුට ඇති අතිශය අවදානමකි. වොච්මෑන් කැටි ගැසීම ගැන අවධානයෙන් සිටින අතර රුධිර කාන්දුවක් සිදුවන අවස්ථාවකදී බැලුමක් සේ විස්තාරනය වී අදාළ ස්ථානය වහා ආවරණය කරන බව දක්වා ඇත.

අමෙරිකාවේ පමණක් වසරකට හෘදයාබාධ ඇතිව අවස්ථා ගණන අට ලක්ෂය ඉක්මවයි. ඊ.සී.ජී. මගින් පවා කලින් හඳුනාගන්නේ පහෙන් එකකි. වොච්මෑන් උපාංගය කලින් වළක්වා ගැනීමට පියවර ගන්නා හෙයින් අවදානම අවම තැනකට පත්වෙයි. කලින් හෘදයාබාධ ලකුණු මතු වී ප‍්‍රතිකාර ගත් රෝගීන්ට සහ දියවැඩියාව වැනි රෝග තත්ත්ව නිසා සැත්කම් ප‍්‍රමාද වන රෝගීන්ට වොච්මෑන් කදිම ආදර්ශකයක් වනු ඇති බව ද දැක්වෙයි.

හෘදයාබාධ අවදානම ගැන සූදානමක්

හෘදයාබාධයක් වැළඳෙන අවස්ථාව ගැන පූර්ව නිගමනයකට යා නොහැකිය. බොහෝ දුරට කාන්තාවන් වයමම අවුරුදු 55 පසු කරන විට හා පිරිමින් වයස අවුරුදු 45 ඉක්මවන විට අවදානමක සිටින බව ප‍්‍රකාශ වී තිබේ. හෘද පේශීවලට රුධිරය සැපයුම අඩාල වන අතර එයට හේතුව නාල අවහිර වන පරිදි රුධිර කැටි සිරවීම බව වෛද්‍ය වාර්තා දක්වයි. අධික වේදනාවක් සමඟ එන එම මාරාන්තික අවස්ථාවට මුහුණ දී ජීවිතය ගලවා ගැනීමට සෑහෙන සූදානමක සිටිය යුතුය. නිතිපතා කරන වෛද්‍ය පරීක්ෂණ හා රුධිරය කැටිගැසීම වළක්වන පිළිවෙත් එහි ලා වැදගත්ය. රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් සිදුවන අවහිරතා ද බලවත් අවදානමකි. අධික දුම්පානය අයහපතට හේතු වනු ඇතැයි පර්යේෂකයෝ දක්වති.

හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වා ගනිමින් පුරවැසියන් දිග ආයු කාලයක් විඳින පිරිසක් බවට පත්කරනු සඳහා ලෝකයේ නොයෙක් රටවල පර්යේෂකයේ අලුතින් පියවර ගනිමින් සිටිති. හෘදය දුර්වල වුවහොත් අලුත් කෘතිම හෘදයක් සවිකළ හැකි තැන දක්වා වෛද්‍ය විද්‍යාව දියුණු වෙමින් තිබේ. ජාන පරීක්ෂා කිරීමේ තාක්ෂණය අනුව අනාගතයේදී ඇතිවිය හැකි ආබාධ කලින් අනාවරණය කර ගැනීමට පවා සමත්ය. ලෝකයේ ජනගහන වාර්තා දක්වන අන්දමට වසර 2050 වනවිට ජනගහනයෙන් බිලියන 2.1 ක පමණ පිරිසක් අවුරුදු හැට ඉක්මවූවෝ වනු ඇත. මෙම පිරිස හෘද අවදානම වැඩි ජන කොටසකි.

ශ‍්‍රී ලංකාවට ගැලපෙන්නේ කෙසේ විය හැකිද?

ධනය හා බලය ඇති සමාජය තුළ නවතම විද්‍යාත්මක පර්යේෂණවලින් ඉහළ ප‍්‍රතිඵල අත්පත් කරගන්නා අවස්ථා අනාවරණය වෙයි. වොච්මෑන් ගැන ඉතා උනන්දුවක් දක්වන අතරවාරයේ පිලිපීනයේ වෛද්‍යවරු එය එපමණ සාර්ථක ක‍්‍රමයක් නොවන බව හුවා දක්වන්නට ද ඉදිරිපත් වී සිටිති. සමහර තැනෙක සම්ප‍්‍රදාය අභිබවා අලුත් දේ පැන නැගීමට එරෙහිව මත ඇති වෙයි. දුප්පත් ජන සමාජ සහිත රටවලට සිදුවන්නේ කුමක්ද? එය විශේෂයෙන් සාකච්ඡා කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ පවතින සෞඛ්‍ය පහසුකම් ගැන අවබෝධයක් අප සියලු දෙනාටම තිබේ. සාමාන්‍ය රෝහලකට ඇතුළු වුවහොත් නිසි ප‍්‍රතිකාර නොමිලේ ලැබෙන්නේ වාසනාවට බව බහුතරයක් දෙනා විශ්වාස කෙරේ. එය සුදුසු නැත. රෝහල්වල පවතින තදබදය හා ප‍්‍රමාණවත් පහසුකම් රහිතභාවය ඉදිරියේ මෙරට ජනගහනයෙන් වැඩි කොටසක් බෝ නොවෙන රෝගවලට ගොදුරු වීමේ අවදානමක සිටීම අවධානයට ගත යුතුව ඇත. ජන සමාජයේ වයස්ගත ජන කොටස වැඩිවන බව ප‍්‍රකාශයට පත්වීම ද ගැටලුවකි. අලුත් ප‍්‍රවනතා අනුව සමාජයට යහපත ඇති කරන්නේ කෙසේ ද යන්න ගැන අවධානය යොමු කිරීම මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මඟින් සංවාදයට යොමු කළ හැකිය.

► මිලින්ද මොරගොඩ