2020 ජනවාරි 18 වන සෙනසුරාදා

කියැවීමෙන් සම්පූර්ණ වන බව නොසිතන පරපුරක්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

කියැවීමෙන් මිනිසා සම්පූර්ණ වන බව පැරණි සමාජය විශ්වාස කළ දෙයකි. අතට ලැබෙන ඕනෑම දෙයක් නොකියවා ඉවත නොදමන සේ වැඩිහිටියෝ අවවාද කළහ. පුස්තකාලයට ඉහළ තැනක් ලැබුණ අතර පොතපත පරිහරණය හොඳ බුද්ධිමතෙකු බවට පත්වන පළමු පියවර සේ සලකන ලදහ. කියැවීම ගැන තිබුණ සංකල්ප වෙනස් වෙමින් තිබේ. අලුත් පරම්පරාවේ දරුවෝ කියවන්නේ නැත. ඔවුහු තාක්ෂණික යුගයක ජීවත් වෙති. පත්තරයක් හෝ පොතක් අතින් අල්ලා කියවන්නට සූදානමක් නැති ඔවුන්ගේ අතැඟිලි අග දැනුම දෙන මෙවලම තිබේ. ස්මාට් දුරකතනයෙන් තොරතුරු පිපාසය සංසිඳුවා ගන්නා බව පළවෙයි. 

කියවන උනන්දුව අඩුවන තරම
අද යුගයේ දරැ දැරියෝ කියැවීමට දක්වන අඩු උනන්දුව බලවත් ප‍්‍රශ්නයක් බව අන්තර්ජාතිකව බලවත් අවධානයට ලක්වූ කරුණකි. එල් සැල්වදෝර් ජනාධිපතිවරයා මෑතකදී මෙම පැත්ත ගැන අදහසක් පළකර තිබුණි. හෙතෙම එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී කතාවක් කර එය ඔහුගේ සමාජ මාධ්‍ය මගින් බෙදාහැරියේය. එහෙත් මෙම දේශනය නොකියවූ බොහෝදෙනා ඔහු මෙම සැසිවාරයේදී ලබාගත් සෙල්ෆි ඡායාරෑපය ගැන අවධානය දක්වන ලද බව අනාවණය විය. ජනාධිපති නයිබ් එය ගැන අදහස් දක්වන්නේ කනස්සල්ලෙන්ය. එක්සත් ජාතීන්ගේ සංවිධාන සැසිවාරයට සහභාගී වූ බව දන්නා නමුත් එහිදී කතාකළේ මොනවාදැයි නොතකන සමාජයක් බිහිවී ඇති බව හෙතෙම ප‍්‍රකාශ කර ඇත. ඉතාමත් වැදගත් කරුණු සාකච්ඡා වන නමුත් තරුණයන් එය ගැන දක්වන අවධානය අඩුය. ලෝකයේ වෙන්නේ මොනවාදැයි කල්පනා නොකරන අලුත් පරම්පරාව තමන්ට උවමනා දේ තෝරාගෙන හදාරන්නට පෙළැඹී සිටිති. සමාජ මාධ්‍යයෙන් එවන අති විශාල පණිවුඩ ප‍්‍රමාණයෙන් තමන්ට කැමති දේ පමණක් සොයා ගන්නා තරුණ පෙළ ඒවා කියවති. නරඹති. එය දැනුම අවබෝධය ඇති කරන කාර්යයක්ද නැත්නම් තාවකාලිකව සතුටු විය හැකි විනෝදයක්ද යන්න සාකච්ඡා වෙමින් තිබේ.

පැය ගණන් ජංගම දුරකතනයේ තිරය දෙස බලා සිටින තරුණ තරුණියන්ගෙන් ලෝකයේ සිදුවන දේ ගැන බුද්ධිමත් අවධානයක් යොමුකරනු ඇතැයි අපේක්ෂා කළ හැකිද? සරල සංසිද්ධි බෙදාහරින සමාජ මාධ්‍ය ජාලා ඒවායේ ග‍්‍රහණයට නතුකර ගැනීමෙන් විශාල වෙළඳපොළක් සකස් කරගෙන ඇති බව පැහැදිලිව පෙනෙන අතර එය වළක්වා ගත නොහැකි විපතක තැනට පත්ව ඇත.

පුවත්පත ගැන කරන සඳහනක තරම
දියුණු රටවල තරුණ තරුණියන් 2009 සිට 2018 කාලය තුළ පුවත්පත් කියැවීම සියයට හැටක සිට සියයට විස්ස දක්වා අඩුවී ඇති බව අන්තර්ජාතික ශිෂ්‍ය වැඩසටහන සිය පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. වයස අවුරුදු 15-16 අතර පිරිස මෙහිදී සලකාබලා ඇත. ඉන්දියාවෙන් අනාවරණය වන පරිදි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවියට එන තරුණ ප‍්‍රතිශතය වැඩිහිටි ජනගහනයෙන් අඩක් බවට පත්ව ඇති බව හෙළිදරව් වන තවත් කරුණකි. එය ඉන්දියාවේ විශාලතම ඉංග‍්‍රීසි භාෂාවෙන් පළවන පුවත්පතක වෙබ් අඩවියයි. පුවත්පත පමණක් නොව පුවත්පතක අන්තර්ජාල පළකිරීම පවා කියවන්නට නැඹුරුවක් නැත. කියවන තරුණ පිරිස පවා වඩා නැඹුරු වීඩියෝ හා බොලිවුඩ් තොරතුරුවලට බව සනාථ වී තිබේ. යූ ටියුබ් හා නෙට් ෆිලික්ස් යන ඉතා මෑතකදී ඉදිරියට පැමිණි සන්නාමවලට බ්‍රිතාන්‍ය තරුණයෝ නැඹුරුය. ලෝක ඉතිහාසයේ කැපී පෙනෙන සන්නාමයක් වන බී.බී.සී. එපමණකට අවධානයට නොගැනේ. මෙම ස්වභාවය අනුව විශේෂයෙන් ප‍්‍රජා හිතකාමී සන්නිවේදනය අනතුරකට මුහුණ පා ඇති බව දැක්වේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමන අංශ වැඩිදුරටත් දක්වන අන්දමට තරුණ ප‍්‍රජාවගේ අවධානය ලබාගැනීමට මාධ්‍ය අංශ යුහුසුළු නොවුණහොත් අනාගතය තීරණාත්මක තැනකට යොමුවන බවද දක්වා තිබේ.

මැදපෙරදිග රටවල වයස අවුරුදු 18-24 අතර පිරිස අතරින් සියයට අසූවක් තමන්ට අවශ්‍ය තොරතුරු ලබාගන්නේ සමාජ මාධ්‍යවලින් බව දැක්වෙයි. දකුණු කොරියාවේ තරුණයන්ගෙන් තුනෙන් දෙකක් අන්තර්ජාලයේ සැරිසරන අතර පුවත්පත් කියවන්නේ නැත. මෙයින් සියයට 97ක ප‍්‍රතිශතයක් සෙවුම් යන්ත‍්‍ර භාවිතා කරන අතර එයින් තහවුරු කරන කාරණය ගැනද අවධානයක් යොමුකිරීම සුදුසුය. එනම් තමන් බලන්නට, කියවන්නට කැමැති දේ සෙවුම් යන්ත‍්‍රවලින් සොයාගනී. වාර්තා කරන දෙයට වඩා තමන්ට අවශ්‍ය දෙය කියවන නැඹුරැවක් පවතී. ඇමරිකානු තරැණන්ගෙන් සියයට අනූපහක් ස්මාට් දුරකතන භාවිතා කරන අතර එයින් හරි අඩක් නිරතුරුව අන්තර්ජාලයේ සිටී. තොරතුරු ගන්නේ අන්තර්ජාලයෙන්ය. පත්තරය ගැන හිතන්නේ නැත. පොත කියවන අදහසක නැති බවද සනාථ වී තිබේ.

තාක්ෂණය ගැන ඇති අවබෝධය හේතුවකි
ලෝකයෙන් හරි අඩක් අන්තර් ජාලය හා සම්බන්ධ බව තොරතුරු වාර්තා පෙන්වයි. එය ක‍්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. ලෝක ජනගහනයෙන් තුනෙන් එකක කොටසක් වයස අවුරුදු විස්සට අඩු පිරිසකි. මෙම පිරිස තොරතරු තාක්ෂණ යුගයේ උපත ලැබූ අය වන අතර දුරකතනය, පරිගණකය හෝ ටැබ් යන මෙවලම් ඉතාම හුරුය. මෙම පැති සලකනවිට අනාගතයේදී මාධ්‍ය වෙළඳාම සම්පූර්ණයෙන්ම වෙස් මුහුණුවරකට පත්වනු ඇතැයි සැලකේ. 2012 වසරේදී ඉන්ටග‍්‍රෑම් සමාජ මාධ්‍ය පැත්ත තමන්ගේ අයිතියට මිලදී ගන්නට ෆේස්බුක් ව්‍යාපාරය සමත් වූ අතර එයට පසු වසරේදී ස්නැප් චැට් යන සමාජ මාධ්‍ය අඩවිය මිලදී ගන්නට තැත් දැරීය. බටහිර පමණක් නොව චීනය වැනි රටවලද මෙයට සමාන තත්ත්වයක් මතු වී තිබේ. වී චැට් එහි ඉතා ජනප‍්‍රිය අංශයකි. බටහිර ප‍්‍රචලිත ගූගල් සෙවුම් යන්ත‍්‍රයට දොරටු වසා ඇති අතර ජීමේල් අවහිර කර තිබේ. එහෙත් චීන ආකෘතිය අනුව සකස් වූ වී චැට් මගින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටද ඉඩකඩ සකස් කරගෙන ඇත. ලෝකයේ නොයෙක් රටවල් මුදල් හුවමාරුව සීමාකරන ක්‍රමයක් වශයෙන් ස්මාට් දුරකතනයෙන් කරන ගනුදෙනුවලට අවසර දී ඇත.

තාක්ෂණය කර ඇති පෙරුළිය ඉතාම සියුම්ය. තමන්ට අවශ්‍ය දේ තෝරා බේරාගෙන අධ්‍යයනය කරති. සම්ප‍්‍රදායික මාධ්‍ය මගින් ඇමේසන් වනාන්තරයේ පැතිරෙන ගින්න ගැන වාර්තා කරනවිට ලෝකයේ නොයෙක් රටවල තරුණ පිරිස ඒවා කියවන්නටත් කලින් සිදුවීම් දැනගෙන තිබුණි. සම්ප‍්‍රදායික මාධ්‍යවලින් එක්සත් ජාතීන්ගේ සංවිධාන සැසිවාර කතාව අවධානයට නොගැණුන හේතුව එල්සැල්වදෝරයේ ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇති බව නිසැකය. ඔහුගේ කතාව නොකියවන පිරිස ඇමේසන් සිද්ධිය ගැන සම්ප‍්‍රදායික මාධ්‍ය අවදි වෙන්නට කලින් දැනගෙන ඇත. එය සිදුවන අවස්ථාවේ ලැබුණ වීඩියෝ අපි බෙදාගත්තා යැයි තරුණයෝ කියා තිබේ. මෙය වටහා ගැනීමට අපහසු මාධ්‍ය පරිවර්තනයක් සිදුවන යුගයකි. අනාගතයේදී තවත් තීරණාත්මක තැනකට පත්වනු නොඅනුමානය.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.

► මිලින්ද මොරගොඩ