2020 ජනවාරි 11 වන සෙනසුරාදා

විශ්වවිද්‍යාල උපාධියට වඩා දක්ෂතාවය උඩින්

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 29

මානව සම්පත ගැන පවතින ආකල්ප තීරණාත්මක අන්දමට වෙනස් වෙමින් තිබේ. ජාත්‍යන්තරය හැසිරෙන ආකාරය නවතම මුහුණුවරක් ගෙන ඇත. අනාගතයේදී ඇතිවන රැකියා අවස්ථාවලදී විශ්ව විද්‍යාලයක උපාධි සහතිකය තරමට සමහරවිට එයටත් වඩා වටිනාකමක් කුසලතාවයට ලැබෙනු ඇති බව පළවෙයි. ඇමරිකාවේ ස්වාධීන පර් යේෂණ ආයතනයක් ශ‍්‍රම වෙළඳපොළ හැසිරීම ගැන කරුණු සොයාබලා ඇති අතර සමීක්ෂණයට කරුණු දක්වා ඇති නියැදියට අනුව ප‍්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් හැකියාව ගැන වැඩි විශ්වාසයක් තබා තිබේ.

අතීතයෙන් ලබාගත හැකි පාඩමක්
ඈත අතීතයේ විශ්වකර්ම මිනිස්සු ජීවත් වූහ. ලෝකයේ මහා පුදුම නිර්මාණය කළේ නිසඟ හැකියාවෙන් බව පැහැදිලිය. මිසරයේ පිරමීඩ හෝ ශ‍්‍රී ලංකාවේ සීගිරිය නිර්මාණය කරන්නේ දක්ෂතම ශිල්පීහුය. ඒවායෙහි නිරතවූවෝ සහජ කුසලතා පෙන්නුම් කළහ. වැවක සොරොව්ව තබන තැන, ඇල මාර්ගයක බැස්ම ගැන ගණන් බලන ඉගෙනීම ශාස්ත‍්‍රාලයකින් ලැබුණ එකක් නොවේ. අධ්‍යාපන ක‍්‍රම සකස් වනවිට පැරණි ශිල්පවල ක‍්‍රමවේද විද්‍යාත්මකව හසුරුවා අලුතින් පුහුණු කරන විෂය පද්ධති නිර්මාණය කරන ලද විය හැකිය. නමුත් එම අධ්‍යාපනයෙන් හැබෑ දක්ෂයන් තැනීම පහසු නැත. කඩදාසිවලින් අධ්‍යාපනය ගැන තහවුරු කළ හැකි නමුත් ප‍්‍රායෝගිකව සමත්කමක් දක්වන ප‍්‍රතිශතය සීමාසහිත බව පිළිගත යුතුය.

මෑතකාලය තුළ අධ්‍යාපනය වෙනුවෙන් පවතින අවධානය දියුණු තියුණු විය. ඉතාම තරඟකාරී තැනකට පත්විය. මුලික අධ්‍යාපනයට පසු උසස් අධ්‍යාපනයට සුදුසුකම් ඇති ප‍්‍රතිශතය ඉහළ ගියේය. අවසානයේදී තව තවත් උසස් අධ්‍යාපන අංශ බිහි වූ අතර එය ආණ්ඩු පමණක් නොව පෞද්ගලික අංශයේද ආයෝජන අවස්ථා බවට පත්ව තිබේ. අනාගතයේදී තැනෙන ව්‍යුහය තුළ තාක්ෂණය බහුලය. කෘත්‍රිම බුද්ධිය භාවිතා වෙයි. අලුතින් යමක් නිර්මාණය කිරීම මනුෂ්‍ය ප‍්‍රජාව තරමටම පරිගණක යන්ත‍්‍රවලටද හැකියාව ලැබෙන විට මෙහෙයවන දැනුම හැර අලුත් දැනුම සහිත සමාජය එපමණ අවශ්‍ය විය නොහැකිය. ඇමරිකාවේ නිදහස් ශ‍්‍රම වෙළඳපොළ සහ එහි ප‍්‍රවනතා ගැන සොයා බලන ලද සමීක්ෂණය අනාවරණය කරන්නේ එම පැතිකඩ බව පෙනේ.

කුසලතාවට වඩා වැදගත් බව ප‍්‍රකාශ වෙයි
ෆ්‍රීලාන්ස් ඇමරිකා 2018 නමැති පර්යේෂණය අනුව විශ්ව විද්‍යාලයෙන් ලැබූ උපාධි සහතිකයට වඩා කුසලතාවය හා කුසලතා පුහුණු වැඩසටහන් වැදගත් බව සියයට 93ක ප‍්‍රතිශතයක් කියා තිබේ. සියයට 79ක් දක්වන්නේ දැනට කරගෙන යන වෘත්තියට උපාධි අධ්‍යාපනය ප‍්‍රයෝජනවත් වී ඇති බවය. සලකා බලන ලද මාස හයක කාලසීමාව තුළ වෘත්තීය කුසලතා පුහුණු වැඩසටහන්වලට නිදහස් වෘත්තිකයන්ගෙන් සියයට 70ක් සහභාගී වී ඇති අතර ස්ථිර සේවකයෝ සහභාගී වී ඇත්තේ සියයට 49ක් පමණක් බව අනාවරණය වී තිබේ.

එකම තැනක අඛණ්ඩව සේවය කිරීම, පසුගිය කාලයේ මූලික ලක්ෂණයක් වූ අතර දැන් ජීවත්වන පරම්පරාව වෙනස් වෙනස් අලුත් අවස්ථා සොයමින් ආයතන ගණනාවක වරින්වර රැකියාවල නිරතවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. ඉදිරි දශක දෙක තුන ඇතුලත ස්ථිර රැකියා යනුවෙන් පවතින අදහස තුරන් වනු ඇතැයි සැලකේ. ස්ථිරව රැකියාවක් නොකරන හෙයින් එකම අවස්ථාවේ ආයතන දෙක තුනකට අර්ධකාලීනව සේවය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇතැයි සැලකේ. ප‍්‍රධාන පෙළේ සමාගමක ඉහළ නිලධාරියෙකු කරුණු දක්වා ඇති අන්දමට කවර ගනයේ තොරතුරු තාක්ෂණික උපාධියක් තිබේද යන්න අනාගතයේදී වැදගත් නැත. පරිගණකය හසුරුවන සහ වේගයෙන් ක‍්‍රියාත්මක වීම ප‍්‍රමාණවත්ය. දැනට ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වන රැකියා විස්සකට විශ්වවිද්‍යාල උපාධිය අවශ්‍ය නොවන බව පෙන්වා දී ඇත. ඇපල්, අයි.බී.එම්. සහ ගූගල් ඇතුළු ලෝකයේ දැවැන්ත සමාගම් පහළොවක් හෝ එයට වඩා වැඩි ප‍්‍රමාණයක් සිය ඇබෑර්තුවලට බඳවා ගැනීමේදී උපාධිය ගැන සැලකිල්ලක් නොදක්වන බව අනාවරණය වෙන වැදගත් කරුණකි.

ලෝක ආර්ථික සංසදයෙන්ද අනාවරණයක්
ලෝක ආර්ථික සංසදය අනාවරණය කරගෙන ඇති සුවිශේෂී කාරණයක්ද පෙන්වාදීම  සුදුසුය. වසර පහකට හෝ දහයකට කලින් ලෝකයේ කර්මාන්ත හෝ සේවා අංශවල නොතිබුණ අලුත්ම වෘත්තීය අවස්ථා මෑත කාලය තුළ පැනනැගී තිබේ. එම රැකියාවලට ඉහළ ඉල්ලුමක් ලැබී ඇත. වර්තමානයේ පාසලක ප‍්‍රාථමික අධ්‍යාපනයට ඇතුළුවන සිසු සිසුවියන් තම අධ්‍යාපනය අවසන් කරන දිනය වනවිට අද ලෝකයේ නොපවතින අලුත්ම රැකියා අවස්ථා සෑහෙන ප‍්‍රමාණයක් බිහිවනු ඇති බවද පළවේ. ඔවුන් ගේ ගණන් ගැනීම අනුව වෘත්තීය අවස්ථා සියයක් අතරින් හැට පහක් දැන් භාවිතයේ නොපවතින ඒවා විය හැකිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පවතින රැකීරක්ෂාවලට සුදුසුකමක් සේ සලකා අධ්‍යාපනයට යොමු වන සෑම දරු දැරියකටම බලවත් අභියෝගයක් එල්ල වී ඇති අතර තමන් කිසිසේත් නොදන්නා අලුත්ම මුහුණුවරක රැකියාවක් කරන්නට අනාගතයේදී සිදුවිය හැකිය. අනාගතයේ ඇතිවිය හැකි වෘත්තිය අවස්ථාවලට දැන් පාසලේදී හෝ විශ්වවිද්‍යාලයේදී ඉගෙනගන්නා දේ  සුදුසුකමක් නොවෙනු ඇති බව අනාවරණය වන තවත් පැත්තකි. එයට හේතුව දැනුම වෙනුවට කුසලතාව පදනමක් බවට පත්වීම බව පෙනේ. සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයෙන් බැහැර විය යුතුය යන අදහසක් මෙහි නැති අතර ඉතාම උපාධිය හෝ එයට වඩා අධ්‍යාපනයෙන් ලැබිය හැකි වන අවස්ථා ගැන අලුත් නිරීක්ෂණ පහළ වී තිබේ.

අධ්‍යාපනය ලබන රටාවද වෙනස් වන පිළිවෙළක
මෙම කරුණු පමණක් නොව අධ්‍යාපනය ලබන ආකාරයද අනාගතයේ දී වෙනස් වන බව පර් යේෂකයෝ අනාවරණය කරති. ඉගෙනුම ලබන තැන හෝ කාලසීමාව වැදගත් එකක් නොවෙනු ඇත. ඕනෑම කාලවකවානුවකදී තමන් කැමැති තැනකදී නොදන්නා දෙයක් ඉගෙන ගත හැකිය. පුද්ගලයා අනුව අධ්‍යාපනය වෙනස් කරගත හැකි පද්ධති බිහිවෙයි. පතපොත අධ්‍යයනයට වඩා ප‍්‍රායෝගිත පැති වලට යොමු වනු ඇති අතර විභාග ක‍්‍රමය ද බලවත් වෙනසකට යොමු වනු ඇතැයි අනාවරණය වී තිබේ. එයට අනුව අධ්‍යාපනය ලැබීම ස`දහා දේශන වලට සහභාගී වන පිරිස විභාගයක දී කරැණු අමතක වන ප‍්‍රමාණය වැඩි හෙයින් කටපාඩමට හුරු වී සිටී. කටපාඩම වැඩබිමේදී නොගැලපෙන එකකි. එහෙයින් කුසලතා වර්ධනය ගැන අවධානය යොමු කෙරේ. නුතන අධ්‍යාපන වෙනස්කම් ගැන අවධානය යොමුකරන ප‍්‍රතිපත්ති සම්පාදකයෝ මෙම අංශ ගැන අවධානය යොමු කිරීම වැදගත්ය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමුකළ හැකිය.
I මිලින්ද මොරගොඩ