2019 ජුලි 13 වන සෙනසුරාදා

ගුරු ඔවදන් නොතැකීමේ විපාකය

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 268

ශීල සමාධි කරුණා වැනි බොහෝ ගුණපිරි තථාගතයන් වහන්සේ නසන්න දේව දත්තයෝ නිතරම වෑයම් කළා. මේ නිසා භික්ෂූන් දේවදත්ත ගැන කම්පාවෙන් සිටියේ. ඒ අතර දිනක් ඒ ගැන දම් සබාවේදී ද කතා වුණා. 

මේ දේව දත්ත ස්ථවීර කිසිම දයාවක් නැත්තෙක්. අප සම්බුදුරජාණන් වහන්සේට කොපමණ වෛර කරනවාද ඒකනම් පුදුමයි. යනුවෙන් කතා බහක් වුණා. එවිට බුදුරජාණන්වහන්සේ මහණෙනි! දැන් මතු නොව පෙරත් ඔය වගේම දේවදත්ත මට වෛර කළා යැයි පවසමින් මේ කතාව වදාළා.

හිමාල වනයේ එදා අසූ දහසක් පමණ වඳුරෝ උන්නා. උන්ට නායකයෙක් ද හිටියා. ඌ නන්ද නමින් හැඳින් වුණා. මේ නායකයාට සහෝදරයෙක් ද උන්නා. ඒ වඳුරා චුල්ලනන්ද. මේ දෙන්නාගේ මව් වැඳිරියගේ ඇස් පෙන්නේ නෑ. ඒනිසා වඳුරෝ දෙන්නා මව හොඳින් රැකබලා ගත්තා.

මේ වඳුරෝ කෑම සොයා කැලේ දුර ඈත ගියා. නන්ද වඳුරු නායකයා තම කෑම කන්න පෙර සිය මවට කෑම අනෙක් වඳුරන් අතඑව්වා. ඒ කෑම ගෙන ආ වඳුරෝ එතරම් අවංක නෑ. ඉතා ටිකක් මව් වැඳිරියට දුන්නා. වැඩි හරියක් උන් කෑවා. එය නායක වඳුරා නොදැන සිටියා. හරියට කෑම නැති නිසා මව් වැඳිරිය කෙසඟවුණා. දුබල වුණා. රෝගී වුණා. මවගේ මේ වෙනස් වීම රෝගී වීම නායක වඳුරාට ඉවසුම් නොදෙන්නක් වුණා. ඌ මවට ආදරයෙන් කතා කළා. 

ඇයි අම්මේ ඔබට මේ මොකද වුණේ මල්ලියි මමයි කොපමණ කෑම ඔබට එවනවද? එහෙත් ඔබ දවසින් දවස දුබල වෙනවා. මොකක්ද හේතුව.

පුතා ඔබ කෑම එවන්න ඇති. එහෙත් මට කුස පිරෙන්න ඒවා ලැබුණේ නෑ. මම වැඩි හරියක් උන්නේ කුසගින්නේ.

නායක වඳුරාට කාරණය තේරුම් ගියා. ඌට වඳුරන් ගැන කළකිරුණා. මුන් වගේ වංක එවුන්ට නායකයා වෙනවාට වඩා හොඳ මගේ මවට උවැටැන් කරගෙන ඉන්න එකයැයි සිතුණා. වඳුරු නායකයා නායකකමින් අස්වෙන බව වඳුරු රැළට කිව්වා. උන් ඊට අකැමැති වුණා.

නන්ද වඳුරා එය ගණන් ගත්තේ නෑ. ගත් තීරණය වෙනස් කළෙත් නෑ. තනතුරින් අස්වුණා.

එවිට වඳුරෝ නායක කමට චුල්ලනන්ද හොඳයැයි යෝජනා කළා.

ඌ ඊට කොහොමටවත් කැමැති වුණේ නෑ.

වඳුරෝ බලකළා.

අයියට එපාදේ මට කොහොමටවත් එපා කිව්වා.

අවසානයේ වඳුරෝ වෙනත් නායකයකු තෝරාගත්තා. නන්ද සහ චුල්ල නන්ද මවත් රැගෙන වෙනත් පළාතකට ගියා. බොහෝ දුර ගෙවා බරණැස අසලට ආවා. එයත් හිමාලයේ එක් කෙළවරක්. එහි විශාල නුගරුකක් තිබුණා. උන් එය වාසයට තෝරාගත්තා. සතුටින් මවත් බලාගෙන හිටියා.

මේ කාලයේම තක්සලාවේ දිසාපාමොක් ඇදුරුතුමාගේ හොඳ ගෝලයෙක් උන්නා. ඔහු වෙන විෂයයන් වලට මෙන්ම අවි ශිල්පයටත් හපනෙක්. වෙසෙසින්ම දුනු ශිල්පයට බොහෝ දස්කම් පෑවා.

ශිල්ප කාලය නිමා වුණා. ඇදුරුතුමාගෙන් ගම රට බලායෑමට අවසර පැතුවා. එතුමා අවවාදයක් දුන්නා.

පුත ඔබ සැබෑ දක්ෂයෙක්. ඒ වුණාට ඉගෙන ගත් ශිල්පය සතා සර්පයකුටවත් හිංසාවක් වන විලසට යොදාගන්න එපා. එය සියලු සත්වගටම යහපතක් සඳහාම පාවිච්චි කරන්න. ඒ ගැන මට ඔබ පොරොන්දුවක් වෙන්න ඕනෑ.

ඇදුරුතුමනි! දිවි හිමියෙන්ම ඔබතුමා ඉදිරියේ එම අවවාදය රකින බව පොරොන්දු වෙනවා. කියා ඔහු දිවුරා පොරොන්දු වුණා. ගමරට බලාආවා. ඒ බරණැස කලක් ගෙවුණා. රැකියාවක් කළේ නෑ. ඒ අතර විවාහයක් ද කරගත්තා. පියා නැතිවුණා. අතමිට හිඟ වුණා. අගහිඟ ඇති වුණා. රැකියාවක් සෙව්වා හමුවුණේ නෑ. ප්‍රශ්න වැඩි වුණා. ඇදුරුතුමාගේ ඔවදන් අමතක කළා. හිමාලයට ගියා. සතුන් දඩයම් කළා. උන්ගේ මස් බරණැසට ගෙනත් වික්කා. හොඳ ආදායමක් ලැබුණා. එතැන් සිට ඔහු මස් වැද්දෙක් වුණා.

එසේ කාලය ගෙවී ගියා. ඔහු දිනක් දඩයම් සොයා වනය පුරා ඇවිද්දා. සතකු හමුවුණේ නෑ. මහත් කලකිරීමට පත්වුණා. ආපසු ආවා. ඉහත කී නුගගස යටට වී විඩා හැරියා. නිකමට මෙන් ගස උඩ බැලුවා. උඩ උන් මව්වැඳිරිය දැක්කා. මේ වැඳිරිය මරාගෙන ගියොත් කීයක් හරි සොයාගත හැකියැයි සිතුවා. දුනු හී ගත්තා. විඳින්න සැරුසුණා. නන්ද වඳුරා එය දැක්කා. එපා.. එපා.. කියා කෑ ගැසුවා.

මස් වැද්දා ඔහු දෙස බැලුවා.

අනේ මගේ මව මරන්න එපා. එයාගේ ඇස් දෙක පේන්නේ නෑ. හරි අහිංසකයි කිව්වා.

ඒකට කමක් නෑ. මට ඕනෑ ඇස් නොවේ. මස් පමණයි.

එවිට නන්ද වඳුරා අනේ මගේ මව මරන්න එපා. යළි කිව්වා.

මස් වැද්දා එය ගණන් ගත්තේ නෑ.

හිතවත ඔබට මස් ඕනෑ නම්. මා මරාගෙන යන්න. මව අතහරින්න. කියා පහළ අත්තකට ආවා.

මස්වැද්දා ඌට විද්දා. ඌ මැරී වැටුණා. යළි කල්පනා කළා. මූගේ මස් මම කාටහරි විකුණනවා වැඳිරිය මරාගෙන ගොස් දරුවන්ට කන්න දෙනවා. යැයි සිතුණා. යළි දුන්න ගෙන අඳ වැඳිරියට එල්ල කළා. චුල්ල නන්ද එය දැක්කා. වහා ගහේ පහළට ආවා.

නවත්තන්න.. නවත්තන්න.. ඔබ දැන් අයියාට වුණු පොරොන්දුව අමතක කළා. හරිම නරකයි. මගේ මව මරන්න එපා කිව්වා.

මට අද දවසට දඩයමක් ලැබුණේ නෑ. මුගේ මස් විකුණන්නයි. දරුවන්ට දෙන්නයි මදි. ඒ නිසා වැඳිරිය මරන්න ඕනෑ. කිව්වා. දුන්න ඉලක්ක කළා.
අනේ එපා.. එපා... මා මරාගෙන යන්න මවට ඉන්න දෙන්න.

ඒ වදන පිට වුණා විතරයි. මේ කුරිරු වැද්දා චුල්ල නන්දට විද්දා. ඌ කෙඳිරි ගාගෙන මැරී වැටුණා.

දැන් වැද්දට වඳුරෝ දෙන්නකුගේ මස් තියනවා. එහෙත් තණ්හාව අඩු වුණේ නැහැ. මුන්ගේ මස් විකුණනවා. වැඳිරිය මරා කෑමට ගන්නවා සිතුවා. වැඳිරියට විද්දා අඳ වැඳිරිය මැරී වැටුණා. මස් වැද්දා උන් කඳබැඳගෙන බරණැසට එන්න පිටත්වුණා. මේ අතර අකුණු ගසමින් වැස්සා. එක් අකුණක් වැද්දාගේ ගෙදරට වැදුණා. ඉන් වැද්දාගේ මව සහ අඹු දරැවෝ මිය ගියා. වැද්දාට මගදී එය ආරංචි වුණා. මස් කඳ දුනු ඊ බිම දැමුවා. දුව ගියා. යනකොට නිවෙස ගිනි ගොඩක්. ගෙට ඇතුළු වුණා. පරාලයක් කඩාගෙන හිසට වැටුණා. ඔහු බිම වැටුණා. අවසානය ළඟ බව ඔහුට දැනුණා. 

ඇදුරිඳු මැවී පෙනුණා. එතුමා දුන් ඔවදන් මතක් වුණා. කළ සියලු පාප කර්ම මතක් වුණා. මේ සියල්ල ගුරු ඔවා නොපිළිගත් නිසා යැයි මතක් වුණා. තවත් මොහොතක් ගත වුණා. වේගයෙන් ගින්න පැතිරුණා. මස් වැද්දා ගින්නට අසුවුණා. වේදනා විඳ මිය ගියා. බුදුන් වදාළා. 

චුල්ලනන්දිය ජාතකය ඇසුරින්
පී.බී.කේ. තිලක