2019 ජුනි 15 වන සෙනසුරාදා

තමන් වැරැද්ද කරමින් අනුන්ට අවවාද දෙන්නෝ

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

සැවැත් නුවර එක් කුල ස්ත්‍රියක් බුදුන් වහන්සේගෙන් දහම් අසා පහන් සිත් ඇතිකර ගත්තා. පැවිදි වුණා. මෙහෙණි අසපුවක වැඩ විසුවා. මෙම මෙහෙණිය දැඩි සේ ආහාර ගැනීමට ගිජු වුණා. අනෙක් මෙහෙණින් වහන්සේලා සමඟ පිඬුසිඟා ගියේ නෑ. ඒ අය නොවඩින වීදිවල තනියම වැඩියා. එවිට බොහෝ පිඬු ලැබුණා. ඒ මිහිරි පිඬු මග සිට කෑදරකමින් කෑවා. මෙහෙණි අසපුවට ආවා.

මෙහෙණින් වහන්සේලා විවේකීව සතුටු සාමීචියේ සිටින විට පිඬුසිඟා යෑම සහ ඒ යන වීදි ගැන කතාබහ වුණා. සමහර වීදි ගැන කතා කරමින් ඔවුන් කීවේ ඒ වීදිවල ඉන්නේ දුප්පත් අය. ඒ නිසා ලැබෙන පිඬුත් එතරම් හොඳ නෑ. නීරසයි කියා.

එක් මෙහෙණින් වහන්සේ කෙනෙක් සැවැත් නුවර මෙහෙණින් වහන්සේගෙන් ඇසුවා ඔබවහන්සේ අපිත් එක්ක යන්නේ නෑ. තනියම වඩින්නේ කොහොමද? 

ඒ වීදිවල ලැබෙන පිඬු වැඩක් නෑ. ඔබවහන්සේලාට ලැබෙන පිඬු වගේමයි. අමිහිරියි. සැවැත් නුවර මෙහෙණින් වහන්සේ කිව්වා.

දවසක අපිත් යන්න ඕනෑ ඔබ යන වීදිවල. එක් මෙහෙණින් වහන්සේ නමක් පැවැසුවා.

අපෝ වඩින්න එපා.

ඒ ඇයි?

ඒවා බොහෝ අනතුරු සහිතයි.

මොනවද තිබෙන අනතුරු?

දරුණු ඇත්තු අශ්වයෝ වාගෙම කඩා පනින වස බල්ලන් ඉන්නවා.

එතකොට ඔබවහන්සේ වඩින්නේ කොහොමද? 

මම පරිස්සමින් මඳ දුරක් ගොස් ලැබෙන සුළු පිඬු ප්‍රමාණය වළඳනවා. සමහරදාට ඒ ටික ලැබෙන්නෙත් නෑ.
සතුටු සාමීචියේ උන් මෙහෙණින් වහන්සේලා එතුමියගේ බස් විශ්වාස කළා. එහෙම නම් ඒ වීදිවල පිඬුසිඟා යෑමෙන් පලක් නෑ කිව්වා. ඒ වීදිවල වැඩියේ නෑ.

සැවැත් නුවර මෙහෙණිය ඉන් සතුටට පත් වුණා. එසේම එතුමිය රහසෙන් එම වීදිවල පිඬුසිඟා ගොස් ලැබෙන මිහිරි ආහාර වැළඳුවා.

සුපුරුදු ලෙස එක් වීදියක වඩින මේ මෙහෙණින් වහන්සේට දිනක් කුලප්පු වූ බැටළුවෙක් පන්නාගෙනවිත් ඇන්නා. කලව පෙදෙසේ ඇට බිඳුණා. එතුමිය බිම වැටුණා. ඒ දුටු උපාසකවරු දුව ආවා. එතුමියට වෙද හෙදකම් කළා. ඇඳක තබාගෙන ඇවිත් මෙහෙණි අසපුවට බාර දුන්නා.

දම් සභාවට රැස්වුණු භික්ෂූන් වහන්සේලා මේ මෙහෙණින් වහන්සේට වුණු ඇබැද්දිය ගැන කතාබහ වුණා. එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි! ඔය මෙහෙණිය දැන් මතුනොව පෙරත් අනුන්ට බොරැවට අවවාද දී තමා එය කරන්න ගිහින් මරණයට පත් වුණා.

ස්වාමිනී! එම කතාව අපට දැනගන්න වදාළ මැනවි. භික්ෂූන් ඉල්ලා සිටියා.

එවිට බුදුන් වහන්සේ මෙම කතාව වදාළා.

බරණැස් නුවර කුඩා වනරොදක් තිබුණා. එහි බොහෝ කුරුල්ලෝ උන්නා. උන්ට නායකයෙක්ද සිටියා. ඌ යහපත් ලෙස අන් අයගේ හිත් දිනාගෙන උන්නා. කුරුලු රැනේ පාලනය ද නියමෙට කළා.

මේ කුරුල්ලන්ට මෙන්ම කිරිල්ලියන්ටද නායකයෙක් උන්නා. ඈ කිරිල්ලියක්. කපටියි. හොඳ හිත පෙන්නා කරන තරම් කළේ පහත් වැඩ. කෑම සොයා ගියේ තනියම. එක් දිනක් මේ කිරිල්ලිය කෑම සොයා යනවිට අස්රිය යන එන මාවතක් දුටුවා. ඕ ඒ මාවතට බැස්සා. එහි ගොදුරු බහුලව තිබුණා. කුස පිරෙනතුරු ඒවා කෑවා. පියාඹා ආපසු ආවා.

සෑහෙන වෙලාවක් කිරිල්ලිය රෑනෙන් ඈත්වී සිටි නිසා කුරුලු නායකයා ඔබ කොහේද ගියේ යැයි ඇසුවා.

මම මේ ළඟ මාවතකට ගියා. ඒ මාවතේ අපට උවදුරු වැඩියි. බොහොම අමාරුවෙන් දිවි බේරාගෙන ආවා. කිසිවකුට ඒ පැත්තට යන්න එපා කියන්න. ඈ කිව්වා.

කුරුලු නායකයා ඇගේ බස් විශ්වාස කළා. කිසිම කුරුල්ලකුට එම පළාතට යෑම තහනම් කළා. කුරුල්ලෝ එය පිළිගත්තා. ඒ මාවතට ගියේ නෑ. ඉන් කිරිල්ලිය උපරිම ප්‍රයෝජන ගත්තා. දිනපතාම ගොදුරු සොයා ඒ මාවතටම ගියා. අනෙක් කුරුල්ලෝ මේ කිරිල්ලිය රෑනෙන් පිටවී යෑම ගැන නොසොයා උන්නා. කුරුලු නායකයාද කිරිල්ලිය රහස් ගමනක් යන වග දැනගත්තා. එහෙත් ඒ ගැන විමසුවේ නෑ. ඒ එම කිරිල්ලියද රෑනේ පාලිකාවක් නිසා.

මේ කිරිල්ලිය දිනක් සුපුරුදු පරිදි එම මාවතේ ගොදුරු කමින් හිටියා. දුර ඈත පවනට බඳු වේගයෙන් අස්රියක් ආවා. ඒ රිය දෙස ඕ බැලුවා. එය එන්නේ දුර ඈත යැයි හිතුවා. ළඟට ආ විට ඉගිල යන්න පුළුවන් යැයි සිතාගෙන ගොදුරු කෑවා.
එහෙත් කිරිල්ලියට වැරැදුණා. නොදැනුවත්වම අස්රිය ළඟට ආවා. කිරිල්ලියට ඉගිලීමට පමා වුණා.

ඇය ඒ අස්රියට යට වුණා. වේදනා විඳ මියගියා.

සවස් කල කුරුල්ලෝ කැදැලි සොයා ආවා. උන් කිරිල්ලිය නැති බව දැනගත්තා. ඒ බව නායකයාට කිව්වා.
නායකයා කල්පනා කළා. දැන් අපට කිරිල්ලිය සොයා යන්න බෑ. ඒ නිසා හෙට උදෙන්ම සොයමු යැයි කිව්වා. ඒ කුරුල්ලෝ කැදලිවලට වී රැය පහන් කළා.

පසුදා කුරුලු නායකයා අනෙක් කුරුල්ලන් සමඟ කිරිල්ලිය සොයන්න වුණා. උන් යන හැමතැනම බැලුවා. හමුවුණේ නෑ. එය නායකයාට වද දෙන ප්‍රශ්නයක් වුණා. කල්පනා කරන්න වුණා. ඌට කිරිල්ලිය යන්න එපා කිව්ව මාවත මතක් වුණා. අනෙක් කුරුල්ලන්ට ඒ බව කිව්වා. අපි එහි ගොස් බලමු කිව්වා. කුරුල්ලෝ ඔක්කෝම එම මාවතට පියඹා ගියා.
ඒ මාවත පුරා සොයා බැලුවා. පුදුමයි. කිරිල්ලියගේ මළසිරුර කාණුවකට වැටී තිබුණා. නායකයා සහ කුරුල්ලෝ දුකින් ඒ දෙස බැලුවා. ටික වෙලාවකට පසු කුරුලු නායකයා සිය පිරිසට කිව්වා මේ කිරිල්ලිය අනෙක් අයට අවවාද දුන්නා. එහෙත් ඇය නොපිළිපැද්දා. ඉන් විනාශ වුණා කියා. ඒ කිරිල්ලිය තමයි ඔය මෙහෙණිය. බුදුන් වදාළා.

(සකුණා ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක