2019 මැයි 18 වන සෙනසුරාදා

තවුසාගේ උපාය

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 98

සැවැත් නුවර තිසරණ සරණ ගිය උපාසකයෙක් උන්නා. මේ සිල්වත් උපාසකයාට කිසියම් කටයුත්තක් සඳහා වෙනත් නුවරකට යන්න සිදු වුණා. ඔහු එ නුවරට යන වෙළෙඳ ගැල් කණ්ඩායමක් සමඟ පිටත් වුණා.

ඔවුන් සෑහෙන දුරක් ගියා. ඒ වනාන්තරය මැදින්. රෑ බෝ වීගෙන ආවා. වනය මැද ගැල් නවතා විවේක ගන්න තැනක් තිබුණා. මේ ගැල්කරුවෝ එතැන රාත්‍රිය ගත කරන්න කතාබහ කර ගත්තා. එතැන දී ගැල් ලිහා ගොනුන්ට කෑම කන්න සැලැස්සුවා. සමහරෙක් රාත්‍රී කෑම පිළියෙල කළා.

උපාසක විසල් ගසක් යටට වී සක්මන් කරන්න වුණා. ඒ අතර ඔහු දැක්කා සොරුන් පිරිසක් ළඟ වනපෙතේ සැඟවී ඉන්නවා. උපාසක අවබෝධ කර ගත්තා මේ සොරුන් ඉන්නේ ගැල්වලින් බඩු සොරකම් කරන්න බව. එබැවින් නිදි නොලබා සිටිය යුතු යැයි තීරණය කළා. දිගටම සක්මන් කළා. අනෙක් පිරිසට කිව්වේ නෑ. ඒ අය කෑම කා බී නිදාගත්තා. උපාසක නිදිවර්ජිතව සක්මන් කළා

සොරුන් මේ මිනිසා කුමන මොහොතක හරි නිදාගනීවි යැයි බල බලා උන්නා.

උපාසකත් නිදි නොලබා අරුණලු වැටෙන තුරු සක්මන් කළා.

සොරුන් බලාපොරොත්තු බිඳවැටී යන්න ගියා. හිරු උදා වූ පසු උපාසකත් අනිත් ගැල්කරුවන් සමඟ ගමන පිටත් වුණා.

ඒ ගමන ගොස් සැවැත් නුවරට ආපසු උපාසක බුදුරජාණන් වහන්සේ හමුවට ගියා. සිරිපද නමැඳ එකත්පස් වුණා. මෙසේ විමසා සිටියා.

ස්වාමිනී! තමා රක්නා කෙනෙක් අනුන් රක්නාහුද?

එසේය. උපාසක තමා රක්නා කෙනෙක් අනුන් රක්නේය. අනුන් රක්නා කෙනෙක් තමා රක්නේය. ඇයි උපාසක එසේ ඇසුවේ?

එවිට උපාසක වනාන්තරේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට කිව්වා.

උපාසක දැන් මතු නොව පෙර ද නුවණැත්තෝ තමා රක්නෝ අනුන් රැක්කෝම වේ යැයි පවසා මෙම කතාව වදාළා.

බරණැස එදා බමුණු තරුණයකුට ගිහිගෙය එපා වුණා. ඒ ආශාවට ලොල් වී මිනිසුන් විඳින දුක් කම්කටොලු දැකලා ඒ තරුණයා හිමාල වනයට ගියා. පැවිදි වුණා. කුඩා කුටියක් හදාගෙන පිළිවෙත් පිරුවා. ඒ වුණත් ආහාර සොයා අසල් ජනපදවලට ඉඳහිට ගියා. ඒ තාපසතුමාට බොහෝ උදව් කළේ ගැල්කරුවන්. ඔවුන් දුර ඈත දනව්වලින් පැමිණෙන අය. වෙළෙන්දෝ.

මේ තාපසතුමා ද ප්‍රියමනාප කෙනෙක්. එතුමා දුටු කෙනෙක් මඟහැර යන්නේ නෑ. මොනවා හරි පූජා කරනවා.

ගැල්කරැවන් එක් ජනපදයක් පසුකර යනවිට වනපෙතක් අසල නවාතැන් ගන්නා පෙදෙසක් තිබුණා. එක් දිනක් තාපසතුමා එතැනට ගියා. ඒ සවස් කාලයේ. එදින එහි උන් ගැල්කරැවන් රාත්‍රී ආහාර සකස් කරමින් උන්නා. තාපසතුමාට එදින එහි නතර වීමට හිතුණා. ඒ බව ගැල්කරුවන්ට කිව්වා. ඔවුන් බෙහෙවින් ඊට මනාප වුණා. ඒ දහම් අසා සිත් සනසා ගැනීමට. තාපසතුමා රාත්‍රී කෑම හැදෙනතුරු ගසක් යට සක්මන් කළා. අඳුර වැටුණා. එහෙත් තාපසයාගේ සක්මන් කිරීම නතර වුණේ නෑ.

එකල වනයේ සොරුන් පන්සියයක් පමණ හිටියා. මේ සොරු වෙළෙඳ ගැල්කරුවන් දුටුවා. ඔවුන් නිදාගත් පසු ඔවුන්ගේ බඩු බාහිරාදිය සොරාගන්න හිතුවා. ගැල්කරුවන් වාඩිලා සිටින තැනට ආවා. සැඟවී සිටියා. තාපස උතුමා ඒ සොරුන් දුටුවා. එය කාටවත් කිව්වේ නෑ. මුළු රැය පුරාම සක්මන් කිරීමට තීරණය කළා. ගැල්කරුවෝ තාපසතුමාට වුවමනා දේවල් පිළියෙල කර දුන්නා. ගමන් වෙහෙස නිසා නිදාගත්තා. එහෙත් තාපසතුමා ගස මුල. සක්මනේ. සොර එතුමා නින්ද යනතුරු බලා සිටියා. ඔවුන් සොරු වුණත් තවුසන්ට හිරිහැර කළේ නෑ. ගරු කළා. තාපසතුමා ද වෙන්නට යන වින්නැහිය නැවැත්වීමට නොනවත්වාම සක්මන් කළා. සොරු ද නිදිමරාගෙන තාපසතුමාගේ සක්මන නතර වනතුරු බලා හිටියා.

එතුමා එය නතර කළේ නෑ.

වටින් ගොඩින් එළිය වැටෙන්න ආවා.

සොරුන්ගේ බලාපොරොත්තු සුන් වුණා. මේ වනවිට ගැල්කරුවෝ ද අවදිවෙලා.

සොරු ගෙන ආ කැටපොලු එතැන දැමුවා. තාපසතුමා නිසා තොප අද බේරුණා කියා සොර නායකයා මහා හඬින් කෑ ගැසුවා. ගැල්කරුවන්ට පෙනි පෙනී ඔවුන් පැන දිව්වා.

ඒ වනවිටත් තාපසතුමා සක්මනේ. කිසිවක් නොඇසුණා සේ නොදන්නා සේ සක්මනේ.

ගැල්කරුවෝ තාපසතුමා ළඟට ගියා. ගැල් නායකයා මෙසේ ඇසුවා.

උතුමාණෙනි! ඔබවහන්සේ සොරුන් දුටුවාද?

එසේය පින්වතුනි!

බියක් ඇතිවුණේ නැද්ද?

නැත පින්වතුනි!

ඒ කුමක් නිසාද?

සොරුන් දැක බිය ඇතිවන්නේ වස්තු සම්පත් ඇති අයට. මම නිර්ධනයෙක්. ඉතින් මම බිය විය යුතු නෑ. තව ද පින්වත මට මිනිසුන් වෙසෙන ගමත් ඔවුන් නොයන සිංහ කොටි කොටි වග වලසුන් වෙසෙන මහ වනයත් එකයි. මට බියක් තැතිගැන්මක් ඒ දෙතැනදීම ඇතිවන්නේ නෑ. අනෙක පින්වත මම පිරිසුදු සිල් ඇත්තෙක්. මනෝවංක විරහිත වූවෙක්. බඹලොවට යන මඟ සොයන්නෙක්. යනුවෙන් තාපසතුමා ගැල්කරැවන්ට කරැණු කාරණා පහදා දී දහම් දෙසුමක් ද කළා.
ඒ ගැල්කරුවෝ එම දහම් අසා සිත් පහන් කර ගත්තා. තාපසතුමාට බොහෝ පිදිවිලි කළා. ගම රට බලා පිටත් වුණා.

උපාසක යහපත් මඟ යන්නෝ එදත් සොර සතුරන්ට බිය නෑ. යැයි පවසා බුදුන් වහන්සේ ඔහුට දහම් දෙසුමක් ද පැවැත්වූවා.

අසංකිත ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක