2019 මාර්තු 23 වන සෙනසුරාදා

කසාවතට රැවටුණු ඇත් රැළ

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 60

සැරියුත් මහ රහතන් වහන්සේ ටික දිනක් වේළුවනාරාමයේ වැඩ විසුවා. දේවදත්ත හිමියෝත් වැඩ සිටියේ එ ගම ආරාමයක. මේ දෙනමටම එ ගම උපාසකවරු දානය දුන්නා.

එ ගම එක් ධනවත් උපාසකයෙක් බොහෝ වටිනා සළුවක් ගෙනැවිත් පූජා කර දනක් දෙන්න හිතුවා. අනෙක් උපාසකවරුන් සමඟ ඒ ගැන කතාබහ කළා. ඒ අයත් බොහෝම සතුටු වුණා. දනට සහභාගි වුණා. සැරියුත් හිමියොත් දේවදත්ත හිමියොත් දානයේ ප්‍රධාන භික්ෂූන් වුණා. දානය අවසානයේදී සළුව පූජා කරන්නේ මේ දෙනමගෙන් කාටදැයි ධනවත් උපාසක අනෙක් අයගෙන් ඇසුවා.

සමහරැ සැරියුත් මහ රහතන් වහන්සේට පූජා කරමු කිව්වා. එපා එපා. ඔය සළුව දේවදත්ත හිමියන්ට පූජා කරමු. තවත් අය කිව්වා.

ඒ ඇයි? සැරියුත් හිමියෝ බුදුන්ගේ අගසව්නේ. ඒ නිසා අපි උන්වහන්සේට පූජා කරමු. මුලින්ම කී අය කිව්වා.

එහෙම කියන්න එපා. දේවදත්ත හිමියෝ මේ ගමේ නිදානයක් වගේ වැඩ වසනවා. අපගේ දුකට සැපට පිහිට වෙනවා. සැරියුත් හිමියෝ මෙහි වැඩවසන්නේ තාවකාලිකව. ටික දිනකින් වෙන දිහාවකට වඩිනවා. එසේ හෙයින් දේවදත්ත උන්වහන්සේට සළුව පුදමු. වැඩි දෙනෙක් කිව්වා. එය පිළිගත් උපාසක වටිනා සළුව දේවදත්ත ස්ථවිරට පූජා කළා.

දේවදත්ත හිමියෝ එම සළුව අලංකාර කර පෙරවූවා. මේ අතර වේළුවනාරාමයේ වැඩසිටි භික්ෂූන් තිස් දෙදෙනෙක් බුදුන් වඳින්න ජේතවනාරාමයට වැඩියා. බුදුන් වැඳ එකස්පස් වුණා. ආ ගිය තොරතුරැ බුදුන් වහන්සේට ප්‍රකාශ කළා. ඒ අතර එක් භික්ෂුවක් ස්වාමිනී! දේවදත්ත හිමියෝ තමන්ට නුසුදුසු රහතන් වහන්සේලාට සුදුසු සිවුරක් පෙරවී යැයි පැවැසුවා.

ඒ කෙසේදැයි බුදුන් වහන්සේ විචාළා..
ඒ හිමියෝ සියලු විස්තර ප්‍රකාශ කළා.

මහණෙනි! දේවදත්ත දැන් මතු නොව පෙරත් තමන්ට නුසුදුසු අරහත් ධජය පෙරවී යැයි පවසා මේ කතාව වදාළා.

බරණැස් නුවරට අයත් මහ වනාන්තරයක් තිබුණා. එහි ඇත්තු අසූ දහසක් පමණ එදා උන්නා. උන්ට නායකයෙක්ද උන්නා. ඒ නායක ඇතා හරිම නැණවත්. නායකත්වයට සුදුස්සෙක්. ඇත් රංචුව පණ වගේ රුකබලා ගත්තා. ඒ ඇත්තුද නායකයාට කීකරු වුණා. උගේ අණට උඩින් කිසිවක් කළේ නෑ. එබැවින් මේ ඇත් රැළට කිසිදු අතුරු ආන්තරාවක් වුණේ නෑ. සතුටින් උන්නා.

එක් දිනක් බරණැස මිනිසෙක් කිසියම් වුවමනාවකට වනාන්තරයට ආවා. ඔහු මේ ඇත් රංචුව දුටුවා. උන්ගේ දිගු විසල් ඇත්දළ දැක ලෝභ හිතුණා. ඒවා ලබාගතහොත් විකුණා පොහොසත් වෙන්න හිතුවා. ඔහු වහා ආපසු ගියා. ඇත්දළ කර්මාන්තයේ යෙදෙන අය හමුවුණා. ඇත්දළවලට ලැබෙන මිල ගණන් දැනගත්තා. එය ලොකු මිලක්. ඒ ගැන හිත හිතා ගෙදර ආවා.

මේ පාපී මිනිසා ඇතුන් මරාගන්නේ කෙසේදැයි කල්පනා කළා. එය හරිම අපහසුයි. භයානකයි. පරිස්සමින් කළ යුතුයි. ඔහුට අදහසක් ආවා. ඇත්තු තාපසයන්ට හිරිහැර කරන්නේ නෑ. ගරු කරනවා. ඔහු තාපස වෙස් ගත්තා. ඇඳගත් කසාවත යට තෙබක් (අනින ආයුධයක්) සඟවා ගත්තා. වනාන්තරයට ගියා. ඇතුන් යන එන මඟ අයිනේ ඉඳ තාපස විලාසයෙන් හිටියා. ඇත් රැළ ආවා. නායකයා ඉස්සරහින් ගියා. අනෙක් ඇත්තු පස්සෙන් ආවා.

තාපසයා නිසොල්මනේය. බිම බලාගෙනය. ඇත්තු ඔහු දෙස බැලුවා. පසේ බුදුවරයකුයැයි සිතුවා. නමස්කාර කළා. ආ ලෙස පේළියට ගියා. උන් ඔහු පසුකර යනවාත් සමඟ නැඟිට්ටා. අන්තිමට ගිය ඇතාට තෙබකෙන් ගැසුවා. එම අවිය දරුණුයි. වැදුණු හැටියෙම ඒ ඇතා බිම වැටුණා. එය නොදුටු ඇත්තු සුපුරුදු පරිදි යන්න ගියා. තාපසයා ඉක්මන් වුණා. දළ කපා ගත්තා. සිරුරට ගිනි තැබුවා. බරණැසට ගියා. ඇත්දළ කර්මාන්තකරැවන් හමුවුණා. ගෙනා දළ විකිණුවා. මුදල් ගත්තා. සතුටින් ගෙදර ගියා. 

ඒ මුදලින් ඔහුගේ තණ්හාව දුරු වුණේ නෑ. පසු දිනත් කසාවත ඇඳගෙන ගොස් ඇතකු මැරුවා. දළ ගෙනත් විකුණා මුදල් ගත්තා. එයින්ද කෑදරකම නැවතුණේ නෑ. ඔහු දිගටම ඇත් දඩයම කරගෙන ගියා. ටික දිනක් යනවිට ඇත් රංචුව කුඩා වුණා. ඒ බව ඇතුන්ට වැටහුණා. උන් ඒ ගැන කතාබහ කළා. නායක ඇතාට කිව්වා. ඌ පුදුම වුණා. සොයා බැලුවා. කාරණය ඇත්ත. කල්පනා කළා කුමක්ද වුණේ කියා. ඔහුට මතක් වුණා මෑතක සිට තපස් රකින තවුසා. මූ වෙස් වලාගත් වැද්දෙක්යැයි සිතුවා. ඒ ගැන පරීක්ෂා කරන්න හිතුවා.

නායකයා අනෙක් ඇතුන්ට කිව්වා අද ඔබ හැමෝම ඉස්සරවෙලා යන්න, මම පිටිපස්සෙන් එනවා කියා. ඒ ලෙසට ඇත්තු ගියා.

තවුසා පුදුම වුණා. අද පස්සෙන් එන්නේ හොඳ ඇතා. දළ දිගුයි. පොහොනිව හැදිලා. මුදල් වැඩිය හම්බ කළ හැකියි හිතුවා. ඇත් රැළ ඔහු පසුකර යන තුරු සුපුරුදු ඉරියව්වෙන් උන්නා. නායක ඇතා පසුකරනවාත් සමඟම නැඟිට්ටා. තෙබෙකෙන් ගැසුවා. කල්පනාවෙන් ගිය නායකයා සැණින් අහකට පැන්නා. අවි පහරින් බේරුණා. හොඬ උස්සා ගත්තා. ඔහු වෙත පැන්නා. තවුසා වෙව්ලන්න වුණා. ඇතා තවත් ළං වුණා. මෙසේ කිව්වා.

වංචාකාරයා, කසාවත ඇඳ පසේ බුදුවරයකු සේ අප රැවටුවා. වැඳුම් පිදුම් ලැබුවා. රහසිගතව අපේ රුළේ උන් මරා දළ ගත්තා. සිරුරු පවා විනාශ කළා. තොප විනාශ කළ යුතුයි. එහෙත් පව්කාරයා අපි තොපට වඩා යහපත්. සිල්වතුන්ගේ සිරුරට පමණක් නොවේ පාරිභෝගික වස්තුවලටත් වඳිනවා. ගරු කරනවා. එබැවින් තොප වංචාකාරයකු වුවත් ඇඳ සිටින කසාවත සිල්වතුන් දරන්නා වූ එකක්. ඒ නිසා මම තොපට ජීවිත දානය දෙනවා. දැන් පල. යළි කිසි දිනක මේ වනාන්තරයට එන්න එපා. ආවොත් පාගා මරා දමනවා. නායක ඇතා කිව්වා. දුන් නිදහසින් එ මිනිසා ප්‍රයෝජන ගත්තා. ඉන් පසු ඔහු එම වනාන්තරයට ආවේ නෑ. බුදුන් වහන්සේ වදාළා.

(කසාව ජාතකය ඇසුරින්)
පී.බී.කේ. තිලක

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00