2019 මාර්තු 02 වන සෙනසුරාදා

මහලු වියට පත් අයට සැලැකීම සත්පුරුෂ ක්‍රියාවක්

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 161

උදේනී රජතුමාට “භද්‍රවතී” නමින් ඇතින්නක් උන්නා. ඒ ඇතින්න ප්‍රියමනාපයි. ඒ නිසා රජතුමා ඈට ලෙන්ගතු වුණා. ඇතින්නත් රජතුමා දකින විට නටනවා. කෑ ගහනවා. මේ නිසා ඇතින්නට රසකැවිලි වගේම ඉහළම ආහාර දෙන්න එතුමා සැලැස්සුවා. නිතර දුක සැප සොයාබැලුවා. අගබිසවද ඇවිත් ඇතින්න සමඟ විනෝද වුණා.

කාලය එසේ ගෙවී ගියා. ඇතින්න මහලු වුණා. දුබල වුණා. පෙරසේ රජතුමා දකින විට නටන්න බැරිව ගියා. පැත්තකට වෙලා උන්නා. රජතුමාත් ඇතින්න බලන්න නිතර ආවේ නෑ. කෙමෙන් එතුමාට ඇතින්න අමතක වුණා. අගබිසවගේ ඒමත් නතර වුණා. ඇත්ගොව්වෝ ඇයට දැක්වූ සැලැකිලි අඩු කළා. එසේ කාලය ගෙවී යනකොට රසකැවිලි තබා කොළ අත්තක්වත් දුන්නේ නෑ. ඇතින්න අන්ත අසරණ තත්ත්වයට පත්වුණා. කරගන්න දෙයක් නැති විට ඇතින්න ඇත්ගාලෙන් එළියට ආවා. මඟදිගේ ඇති කොළ අතු කඩාගෙන කෑවා. එය ජනතාවට කරදරයක් වුණා. ඔවුන් ඇතින්න එළවා දැම්මා. මහලු ඇතින්න වනලැහැබකට ගියා. එහි අතු කඩාගෙන කා මඩවතුර ටිකක් බී පණ රුකගත්තා. මෙසේ ඉන්නකොට ඇතින්න කල්පනා කරන්න වුණා. එදා කොතරම් රස කැවිලි කා උක්පැණි බිව්ව මම අද හරියට කෑමක් නැතිව මඩවතුර බොනවා. එදා මා සමඟ විනෝද වුණ අයට අද මම අමතක වෙලා. මට වී ඇති දුක බුදුන්වහන්සේට කියන්නඩ නෑ කියා හිතුණා. දෙව්වරම් වෙහෙරට බුදුන් සොයාගියා. වෙහෙර බිමට ඇතුළු වී ගඳකිළිය දෙස බලා හිටියා.

බුදුන් වහන්සේ ඇතින්න දැක ළඟට වැඩියා.

ඇතින්න දණනමා ගෞරව දැක්වූවා.

ඇයි ඔබ මා සොයා ආවේ. බුදුන් විචාලා.

ස්වාමීනී! මා අද අසරණයි. හරියට කෑමක් බීමක් නෑ. ඉන්න හිටින්න තැනක් නෑ.

ඇයි රජතුමා සලකන්නේ නැද්ද?

අනේ නෑ. ස්වාමීනී! එදා මට තරම් ඇත්ගාලේ කිසිවකුට සැලැකුවේ නෑ. මා හස්ත්‍යාලංකාරයෙන් නිතර සැරුසුවා. කන්න දුන්නේ රසමසවුලු සියලු ඉසුරු දුන්නා. දැන් උන්නාද මළාද බලන්නේ නෑ. 

ඉතින් ඔබ ජීවත් වන්නේ කෙසේද?

වනලැහැබේ. කොළ අත්තක් කා මඩවතුර බීලා. ස්වාමීනී මට නැතිවී ගිය ඉසුරු යළි ලබාදෙන්න හැකි ඔබවහන්සේට පමණයි.

හොඳයි ඔබ ලැහැබට යන්න. බුදුන් වදාළා. පසුව බුදුන් වහන්සේ රජගෙදරට පිඬුසිඟා වැඩියා. උදේනී රජතුමා බුදුන්ට දානය පිළියෙල කරදුන්නා. බුදුන් වහන්සේ අනුමෝදනාව දේශනාවෙන් පසු රජතුමනි! ඔබතුමාගේ භද්‍රාවතී ඇතින්න දැන් කෙහේද ඉන්නේ.

ස්වාමීනී! ඒ ඇතින්න දැන් මහලුයි. දුබලයි. අතහැර දැමුවා. 

රජතුමනි! එය සත්පුරුෂ ක්‍රියාවක් නොවේ. තරුණ වයසේදී සියලු කාර්යයන් ඉටුකරවාගෙන හොඳින් රැකබලා මහලු වූ විට අතහැරදැමීම කොතරම් දුර්ජන ක්‍රියාවක්ද? වෙසෙසින් ඔබ වැනි දැහැමි රජකෙනකුට කිසිසේත්ම සුදුසු නෑ. ඔබේ යසස පිරිහීමක් වශයෙන් යැයි කරුණු කාරණා පහදා දුන්නා. රජතුමා බුදුවදන් පිළිගත්තා. ඇත්ගොව්වන්ට අණකළා ඇතින්න සොයාගෙන එන්න. ඔවුන් ඇතින්න ගෙන ආවා. පෙර පරිදි සලකන්න සැලැස්සුවා. මේ ඇතින්නගේ කතාව දම්සබාවේ කතාබහට පත්වුණා. 

ඔය භද්‍රාවතී ඇතින්නට පෙරත් ඔය ලෙසම සිදුවී ඇතැයි බුදුන්වහන්සේ පෙන්නා දී මේ කථාව වදාළා.

පෙර බරණැස දල්ල ධම්ම නම් රජ කෙනෙක් උන්නා. ඒ රජතුමාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන නැණවත් ඇමැතියෙක් උන්නා. එතුමාගේ අනුශාසනා රජතුමා නිතර පිළිපැද්දා.

මේ රජතුමාට සතුරු රජවරුන් සමඟ දිගු කාලක් සටන් කරන්න සිදුවුණා. ඒ සටන්වලට ආයුධ පිටේ තබාගෙන ගිය ඔටුදෙනක් උන්නා. ඒ දෙන බිය නැතිව සටන් බිම්වල ගියා. රාජකාරිය නිසි ලෙස කළා. රජතුමාගෙ සිත දිනාගත්තා. එතුමාද මඟුල් ඇතුට වගේම ඔටු දෙනට සැලැකුවා. බලාගන්න සේවකයන් පත්කළා.

කාලය ගෙවී ගියා. සතුරු උවදුරු සම්පූර්ණයෙන් දුරැවුණා. සටන් ද ඉබේ නැවතුණා. ඔටුදෙන ද වයසට ගියා. රාජ්‍ය සේවයට අවශ්‍ය නොවූවා. ඒ සමඟ සැලැකිලි අඩු වුණා. ඔටුදෙන කනස්සලට පත්වුණේ නෑ. කෑම සොයාගෙන කන්න පුරුදු වුණා කිසිවෙක් ඒ දෙනට හිරිහැරකළේ නෑ.

මේ අතර රජගෙදරට වළන් සපයන කුඹලා දින කීපයක් මාලිගාවට ආවේ නෑ. ඉන් මුළුතැන්ගෙට වළන් හිඟ වුණා. සේවකයෝ ඒ බව රජතුමාට කිව්වා. කුඹලා කැඳවූවා. වළන් සපයන්නෝ නැත්තේ ඇයිදැයි ඇසුවා.
දේවයන්වහන්ස! වළන් පිළිස්සීමට ගොමරිටි අවැසියි. මට ඒවා ඇඳගන්න ගොනකු සොයාගන්න බැරිවුණා. ඒකයි පමා වුණේ.

තොපට තවම ගොනකු සොයාගන්න බැරිවුණාද?

එසේය! දේවයන්වහන්ස.

රජතුමා කල්පනා කළා. ඔටුදෙන මතක් වුණා. රාජපුරුෂයකුට කතා කළා. ඔටුදෙන කුඹලාට ගෙනයන්න දෙන්න කිව්වා.

සේවකයා එය ඉටු කළා. කුඹලා මහලු ඔටුදෙන ගෙන ගියා. ගෙනියන්න බැරි තරම් ගොමරිටි අද්දවාගත්තා. හරියට කෑමක් බීමක් දුන්නේ නෑ. ඔටුදෙන දුකට පත්වුණා. රජතුමා ගැන කලකිරුණා. එක් දිනක් නැණවත් ඇමැතිතුමා ඔටුදෙන දුටුවා. ඒ වෙලාවේ ගොමරිටි හරි ගොඩක් ඔටුදෙනගේ පිටේ. අපහසුවෙන් ගෙන ගියේ. ඇමැතිතුමා ඔටුදෙන ළඟට ගියා. ඔටුදෙනගේ නෙත් කඳුළින් පිරුණා. ඇමැතිතුමාට සිදුව ඇති දේ කිව්වා. ඇමැතිතුමනි පාලකයන් පුදුමයි නේද? සේවකයන් වයසට ගිහින් බැරි වුණාම සලකන්නේ මෙසේද? ඇසුවා ඇමැතිතුමා රජතුමා කළ දේ ගැන කම්පා වුණා. ආපසු හැරුණා. රජ හමුවට ගියා. දේවයන්වහන්ස සේවකයන්ට සැලැකීම සත්පුරුෂ ක්‍රියාවක්. එසේම මහලු වී දුබල වූ විට නොසලකා හැරීම අසත්පුරුෂ ක්‍රියාවක්.

ඇයි ඔබ එසේ කියන්නේ. රජතුමා ඇසුවා.

දේවයන්වහන්ස එදා යුද බිමට අවිආයුධ ගෙනගිය ඔටුදෙන කෝ? දුබල නිසා කුඹලාට ගොමරිටි අදින්න දුන්නා නේද? ඒ මිනිසා බර වැඩ ගන්නවා ඔටුදෙනට හරියට කෑම බීමක්වත් නෑ. දහදුක් විඳනවා. හරිම අවසනාවන්තයි. කියා බොහෝ කරුණු කාරණා කිව්වා.

දල්හධම්ම රජතුමාට කාරණා අවබෝධ වුණා. කුඹලාගෙන් ඔටුදෙන අරන් ආවා. පෙර පරිදි සැලකිලිකරන්න නියෝග කළා. ඉන්පසු ඔටුදෙන මිය යන තෙක්ම සුවසේ උන්නා.

දල්හධම්ම ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00